Breaking News

ඉන්දියාවේ ලාබාලතම ‘රතු’ නගරාධිපතිනිය ආර්යා රාජේන්ද්‍රන්

පොදු දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වැඩිකිරීම කියන එක ලංකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම කතා බහවෙන මාතෘකවක්. නමුත් ඒත් එක්කම සාකච්ඡාවෙන කාරණයක් තමයි කාන්තාවන්ට දේශපාලනය ඈතයි කියන එක. ඒ සඳහා හොඳ පිළිතුරක් කේරළය ලබාදෙමින් සිටිනවා. පසුගිය සදුදා ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය ලෙස ආර්යා රාජේන්ද්‍රන් දිවුරුම් දුන්නා. වයස අවුරුදු 21ක් වැනි ඉතා ලාබාල අවධියක සිටින ඇය තවමත් ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරමින් සිටින්නියක්. ආර්යා නගරාධිපතිනිය ලෙස තේරී පත්වුණේ කේරළයේ අගනගර වූ තිරුවානන්තපුරම් සඳහායි. ආර්යාගේ විශේෂත්වය ඇය ලාබාලතම නගරාධිපතිනිය වීම පමණම නෙමෙයි. ඇය ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) නියෝජනය කරමින් තරඟ වැදී මේ තනතුරට පත්වෙන නිසයි. දැනට කේරළ ප්‍රාන්තයේ බලය හොබවන්නේත් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ප්‍රමුඛත්වයෙන් යුතු වාමාංශික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ විසින්.

මේ මාසයේ මුල කේරළයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ඇය නගරාධිපතිධූරය සඳහා තරඟ වැදීමේදී 100 දෙනෙකුගෙන් යුතු නගරසභා සාමාජිකයන්ගෙන් 54කගේ සහය ඇයට ලැබෙනවා.

ආර්යා තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කරලා තියෙන්නෙ කුඩා කාලෙ ඉඳලමයි. ඇය ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ළමා සංවිධානය වූ බාලසංගම් හි (Balasangam) සාමාජිකාවක්. පසුව ඇය බලසංගම්හි ප්‍රාන්ත සභාපතිනියත් වෙනවා. ඊට අමතරව ඇය දැනට ඉන්දීය ශිෂ්‍ය සම්මේලනයේ (SFI) සාමාජිකාවක් ලෙසත් වැඩකටයුතු කරමින් ඉන්නවා. ඇගේ මව පෞද්ගලික රක්ෂණ සමාගමක රැකියාව කරන අතර තාත්තා විදුලි කාර්මිකයෙක්.

කේරළයේ පාලනය හොබවමින් සිටින ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී)කාන්තාවන්ට නිතරම පමුඛතාවය ලබාදෙමින් සිටින ආකාරය කාලයක් තිස්සේ දකින්න ලැබෙන දෙයක්. මීට පෙර ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය වුණෙත් එම පක්ෂයේ අපේක්ෂික්වක් වූ සබීතා බෙගම්. ඇය ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය වීමට අමතරව පළමු වරට නගරාධිපතිනියක් බවට පත්වූ පළමු මුස්ලිම් කාන්තාවද වුණා. ඇය 2000 වසරේදී කේරළයේ කොල්ලම්හි නගරාධිපතිනිය ලෙස පත්වුණේ වයස අවුරුදු 29දී.

කේරළය ප්‍රාන්ත දේශපාලනයේදී කාන්තාවන්ට අවස්ථාව දීම ගැන කොච්චර බැරෑරුම් ලෙස හිතනවද කියලා බැලුවොත් කේරළ ව්‍යවස්ථාදායක සභාව 2009 වසරේදී සියලුම පළාත් පාලන ආයතන සඳහා සියයට 50ක කාන්තාවන් ඇතුලත් විය යුතු බවට කෙටුම්පතක් සම්මත කරනවා. මේ හේතුව නිසා ඉන්දියාවේ පහළම පරිපාලන ව්‍යුහයක් වෙන පංචායත් සභා වෙනුවෙන් පවත්වන මැතිවරණ සඳහා ඉදිරිපත්වෙන අපේක්ෂිකාවන් ප්‍රමාණය වේගයෙන් ඉහළ යමින් සිටිනවා. 2015 වෙනකොට පළාත් පාලන ආයතන වෙනුවෙන් පැවති මැතිවරණ වෙනුවෙන් 13000ක විතර අපේක්ෂිකාවන් පිරිසක් ඉදිරිපත්ව සිටි බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කර තිබෙනවා. මෙම අපේක්ෂ්කාවන්ගෙන් සියයට 56ක් පමණ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. මින් බොහොමයක් ඉතාමත් තරුණ කාන්තවන්.

මෙවර මැතිවරණයේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) ඉදිරිපත් කර අපේක්ෂකයන් අතරින් බහුතරය කාන්තාවන්. ඊට අමතරව ඔවුන් බහුතරය වයස අවුරුදු 30 නොයික්මවූවන්. කේරළයේ වාමාංශික ව්‍යාපාර නියෝජනය කරන කාන්තාවන් දේශපාලන තනතුරුවලට පත්වුණාම එය කොතරම් හොඳින් ඉටුකරනවාද යන්න හොඳම සාක්ෂිය කේරළයේ සෞඛ්‍ය ඇමතිනිය කේ. කේ. ශෛලජා. ඇය පසුගිය මාස කිහිපයේ කේරළය තුළ කොවිඩ් වෛරසය පාලනයට ගෙනගිය සාර්ථක වැඩපිළිවෙල ගැන මුළු ලෝකයම කතා බහට ලක්වුණා. මේ ‘රතු’ කාන්තාවන් ගොන්නට අලුතින්ම එකතුවුණේ ආර්යා රාජේන්ද්‍රන්. මේ නිසා ඇය ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය වීමට අමතරව තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටුකිරීම සම්බන්ධයෙනුත් නමක් තියනු ඇති බව විශ්වාසයි. ඒ වගේම ආර්යාගේ පත්වීම කියන්නෙ මුළු ලෝකයේම වාමාංශික දේශපාලනයේ නිරතවෙලා ඉන්න කාන්තාවන්ට උණුසුම් බලාපොරොත්තු දල්වන කාරණයක් වෙන බව නොඅනුමානයි.

 

leave a reply