Breaking News

සිසුන් අතරමං නොකර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය නිශ්චිතව දන්වන්න – අන්තරේ

අ.පො.ස. උසස් පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. ⁣සැප්තැම්බර් මස 07 දින විභාගය ආරම්භ කරන බව රජය විසින් නිවේදනය කළ අතර සිසුන්ට, ගුරුවරුන්ට විභාගයට සූදානම් වන්නට ප්‍රමාණවත් කලයක් නොමැති බැවින් එයට ගුරුවරුන්, සිසුන් විරෝධය දක්වන ලදී. දැන් නැවතත් විභාගය දින නියමයකින් තොරව කල් දැමීමෙන් සිසුන් අර්බූදයෙන් තවත් අර්බූදයකට ඇද දමා තිබේ.

වරින් වර විභාගය මෙලෙස කල් දැමීම සහ දින නිශ්චිත නොවීම විසින් සිසුන් ඇද දමන්නේ මහත් වියවුලකටය. මෙය පළමු වතාව නොවේ. මින් පෙරද උසස් පෙළ විභාගය නියමිත කාලයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන ලද අතර නැවතත් දින නියම කිරීමකින් තොරව කල් දමන්නේ ඉන් සති කිහිපයකට පසුවය. මෙලෙස වගකීම් විරහිතව වරින් වර විභාගයට දින නියම කිරීමත් නැවත කල් දැමීමත් වරින් වර සිදු කිරීම තුළින් බරපතල අර්බූදයකට ලක් වන්නේ විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ය.

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඩපණ වූ අතර උසස්පෙළ සිසුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය නොතිබිණි. විභාගයට මුහුණ දීමට අවශ්‍ය සූදානමක් වීම සඳහා සිසුන්ට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන අතර විභාගය පැවැත්වෙන දින නිශ්චිත නොවූ තත්ත්වයක් තුළ එවැනි සූදානමක් සිදු කළ නොහැකිය. සැප්තැම්බර් මස විභාගය පැවැත්වෙන බවට නිවේදනය කළ පසු එයට විරෝධයක් එල්ල වූයේ පවතින තත්ත්වයන් කිසිවක් අදාල කර නොගනිමින් සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් සිසුන්ට ලබා නොදීම හේතුවෙනි. මාස තුනකට අධික කාලයක් මඟහැරී ගිය විෂය නිර්දේශ එක් මසකින් ආවරණය කොට විභාගයට මුහුණ දීමට හැකියාවක් සිසුන්ට නැත. අවම වශයෙන් නැවත අධ්‍යාපන කටයුතුවලට අවතීර්ණ වී විභාගයට මුහුණ දීමට සුදුසු අධ්‍යයන මානසිකත්වයක් සිසුන් තුළ ගොඩගැනීමට අවශ්‍ය කාලයක් ලබාදිය යුතුය. නමුත් පාලකයන්⁣ගේ වගකීම් විරහිතභාවය නිසා සිසුන් නැවතත් කබලෙන් ලිපට ඇද දමා ඇත.

උසස්පෙළ විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් සිසුන්ට ලබා දිය යුතුය. එසේම විභාගය පැවැත්වෙන දින දැන් ප්‍රකාශයට පත් කොට තිබිය යුතුය. එසේ නොවීමෙන් සිසුන්ට මුහුණදීමට සිදුවන්නේ බලවත් අසාධාරණයකටය. මේ මොහොතේ අසාධාරණයට පත් උසස් පෙළ සිසුන් වෙනුවෙන් හඬ නැගිය යුත්තේ එබැවිනි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

leave a reply