Day: December 29, 2024

  • මිලිටරියද ඇතුළත්  ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජනවාරි මුල ඇරඹෙයි

    මිලිටරියද ඇතුළත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජනවාරි මුල ඇරඹෙයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ලබන ජනවාරි 01දා පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව ඇත.

    උත්සව ශ්‍රීයෙන් විදෙස් තානාපතිවරුන් ඇතුළු විශේෂිත පිරිසකගේ සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම වැඩසටහන ආරම්භ කෙරේ.

    නව වසරේ ජනවාරි පළමු වන දා රාජකාරි ආරම්භ කිරීමේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන ප්‍රතිඥාව මෙවර වෙනස් වනු ඇති බවත් එය රජය විසින් එදින අරඹනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙල සමග බද්ධ වූ එම වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කරවීමේ ප්‍රතිඥාවක්වනු ඇති බවත් ආරංචිමාර්ග පවසයි.

    නිසි සනීපාරක්ෂාවක් සහිත වටපිටාවක් නිර්මාණය කිරීම, අල්ලස් දූෂණ රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයෙන් තුරන් කිරීම, ඩිජිටල්කරණය කිරීම ඇතුළු නව්‍ය වැඩපිළිවෙල සහිත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය බහුවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවත් එම වැඩපිළිවෙල නිල වශයෙන් දියත් වීම ලබන ජනවාරි පළමු වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවත් වාර්තා වේ.

    මූලික අදියරේදී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙල ගැන දැනුවත් කිරීමේ සහ මෙය වඩාත් අර්ථාන්විත කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමක් සිදුවනු ඇති බව එම වැඩසටහන දිගුකාලීනව ක්‍රියාත්මක වනු ඇති බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

    ‘ක්ලීන් ශ්‍රී ලංකා’ බලකායේ සාමාජිකයන්

    ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් ද මේ වනවිට නම් කර තිබේ. එම සාමාජිකයින් මෙසේය.

    01- ආචාර්ය එන්. එස්. කුමානායක – ජනාධිපති ලේකම්
    02.⁠ ⁠යුද හමුදාපති
    03.⁠ ⁠නාවික හමුදාපති
    04.⁠ ⁠ගුවන් හමුදාපති
    05.⁠ ⁠ඩබ්ලිව්. එල්. ඒ. සමන් ප්‍රියන්ත – වැඩ බලන පොලිස්පති
    06.⁠ ⁠ඉංජිනේරු කුමුදු ලාල් ද සිල්වා -සභාපති, නාගරික සංවර්ධන අධිකාරිය
    07.⁠ ⁠අයි. එස්. ජයරත්න
    08.⁠ ⁠ගිහාන් ද සිල්වා
    09.⁠ ⁠සන්ධ්‍යා සල්ගාදු
    10.⁠ ⁠ආචාර්ය ගාමිණි බටුවිටගේ
    11.⁠ ⁠ආචාර්ය අනුරුද්ධ ගමගේ
    12.⁠ ⁠දිල්රුක් වනසිංහ
    13.⁠ ⁠දීපාල් සූරියාරච්චි
    14.⁠ ⁠සිසිර අමර බන්දු
    15.⁠ ⁠ක්‍රිෂාන්ත කුරේ
    16.⁠ ⁠ජයතු පෙරේරා
    17. රුවන් වීරසුරිය
    18. දයාන් කරුණාරත්න

    සමාජයීය පාරසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම අරමුණු කර ගැනීමට සඳහා ”ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සාමාලෝචනය සහ නියමිත කාල රාමුවක අවසන් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබේ.

    ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කරනු ලැබීය.

  • මේ වසර තුළ අලි මරණ 350 ක් !

    මේ වසර තුළ අලි මරණ 350 ක් !

    මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇතැයි, වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
    ඉන්, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලිනි. එම සංඛ්‍යාව, 70 කට ආසන්නයි.

    විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් තිබේ.

    හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 කට ආසන්න පිරිසක් මියගොස් තිබිණි.

    දුම්රියේ ගැටී මියගොස් ඇති වන අලි සංඛ්‍යාව, 10 කි.

    පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද, වන ජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

    මේ අතර ගම්වදින වන අලි පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ, හම්බන්තොට, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමිනි.

  • ඒ හොරු වගේම මේ හොරුත් අල්ලයිද?

    ඒ හොරු වගේම මේ හොරුත් අල්ලයිද?

    ආණ්ඩුව විවිධ වංචා දූෂණ චෝදනාවලට ලක්වූ දේශපාලන අධිකාරියට අයත් පුද්ගලයන් පිලිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කර තිබේ. එසේම වත්මන් ආණ්ඩුව යහපාලන සමයේ ආරම්භ වූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID ) නැවත පන ගන්වා ශක්තිමත් ව්‍යුහයක් ලෙස පවත්වාගෙන යාමටද කටයුතු කරන බව පවසා තිබේ.

    යෝෂිත රාජපක්ෂව CID කැඳවීම, මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි මේජර් නෙවිල් වන්නිආරච්චි කැඳවා ප්‍රශ්න කිරීම, මනුෂගේ සහෝදරයෙක් අත්අඩංගුවට ගැනීම, සලෝචන ගමගේ අත්අඩංගුවට ගැනීම, අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම වැනි සිදුවීම් මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙවැනි උත්සාහයන් රැසක් යහපාලන ආණ්ඩුව පත්වූ වහාම අපිට දැකගන්නට ලැබුණි. ජනතාවගෙන් බොහෝ පිරිසකගේ බලපොර්ත්තුව වන්නේ යහපාලන සමයේ මෙම චෝදනා සම්බන්ධයෙන් අවසානයේ සිදුවූ දේ නැවත සිදුනොවෙනු ඇති බවයි. වත්මන් ආණ්ඩුවට මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම අවශ්‍යනම් නීති සැකසීමට පවා අවශ්‍ය වූ බලයක් ජනතාව ලබාදී තිබේ.

    අනෙක් අතින් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් වූවේ වංචා දූෂණ තුරන් කරන බව සහ වංචා දුෂන කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

    ඒ අනුව මෙමෙ දේශපාලන අධිකාරියට සම්බන්ධ හොරුන් මෙන්ම වෙළඳ අධිකාරියට සම්බන්ධ හොරුන්ද අල්ලා දඬුවම් ලබාදීමට ආණ්ඩුවට හැකිවිය යුතුය.

    උදාහරණයට ඩොලර් බිලියන 56ක් පමණ වන මේ රටේ ධනය පිටරට නීතිවිරෝධී ලෙස තැන්පත් කර ඇති සමාගම් හොරුන්, රුපියල් බිලියන 1090ක පමණ ආදායම් බදු නොගෙවා පැහැර හැර ඇති හොරුන්, ජනතාවගෙන් වැට් බදු අයකරගෙන ඒවා රජයට නොගෙවා ඇති සමාගම් හොරුන්, බදු අඩුකිරීම හරහා විශාල ලෙස අනිසි ලාභ ලැබූ සමාගම් හොරුන්

    මෙවැනි හොරුන් රැසක් වෙළඳ අධිකාරියට සම්බන්ධව සිටියි. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය නීති ප්‍රමාණවත් නොවේනම් ඒ සඳහා නීති ප්‍රතිපාදන හඳුන්වා දීමේ අවස්ථාවද පවතියි. මන්ද එය අනාගතයේ රටේ මෙවැනි වංචාවන් සිදුවීම වැලක්වීමට ද වැදගත් වෙනු ඇති.