Breaking News

Astrozeneca එන්නතේ අතුරු ආබාධ ගැන කරුණු රැසක් එළියට

Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධ ඇතිවිය හැකි බව ඔප්පු වීම සම්බන්ධයෙන් මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ. මෙම වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුගියදා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ලිඛිත ව ඉල්ලීමක් කර තිබුණි.

එම සංගමය විසින් කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී. දෙහිදෙණිය වෙත පසුගිය 01දා යවන ලද ලිපියක දැක්වෙන්නේ මේ එන්නත් ලංකාවට ගෙනඒම සහ එහිදී පර්යේෂණ සිදුවූයේ ද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී දැඩි අවධානයක් යොමුකරන ලෙසයි. මේ හේතුවෙන් අතුරු ආබාධ ඇතිවූ බවට සැකකෙරෙන පුද්ගලයන් පිළිබඳ එන්නත භාවිත කළ මුල් කාලයේදී දැඩි කතාබහට ලක්විය.

මේ එන්නතෙන් ඇති විය හැකියැයි පර්යේෂණ මගින් අනාවරණය වී ඇති බරපතළ අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබාගන්නා ලෙසට බලපෑම් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත හරහා ඉතා දුර්ලභ අතුරු ආබාධයක් ඇති කළ හැකි බව අධිකරණ ලේඛනවලින් පළමු වරට පිළිගෙන ගෙන ඇති බව BBC පුවත් සේවය වාර්තා කර තිබේ.

එම ඖෂධ සමාගම දිගින් දිගට කොවිඩ් එන්නත සම්බන්ධයෙන් චෝදනා ගණනාවකට මුහුණ දෙමින් සිටී.

ඇතැම් පැමිණිලිකරුවන් පවසන්නේ, එන්නත හේතුවෙන් සිය ඥාතීන් මිය ගිය බව ය. එමෙන් ම, තවත් පිරිසක් එන්නත නිසා බරපතළ ආබාධවලට ලක්වූ බවට චෝදනා කරති.

ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු කොවිඩ් එන්නත්වලින් මිලියන ගණනකගේ ජීවිත බේරුණු බව අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ.

පළමු පැමිණිල්ල පසුගිය වසරේ සිදු කරන ලද්දේ, 2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමකින් මොළයට හානි වීම නිසා වැඩ කළ නොහැකි තත්ත්වයට පත් වූ දෙදරු පියෙකු වන ජැමී ස්කොට් විසිනි.

එක්සත් රාජධානියේ පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ ගන්නා ලද ක්‍රියාමාර්ගය අනුව, එන්නත “දෝෂ සහිත” බවට චෝදනා කර ඇත්තේ, ඉන් ජනතාව අපේක්ෂා කළ තත්ත්වයට වඩා අඩු ආරක්ෂිත බවක් පැවති හෙයිනි.

මෙම චෝදනාවලට එරෙහිව ඇස්ට්‍රාසෙනෙකා නඩු විභාගයට පෙනී සිටිය ද, සිය කොවිඩ් එන්නත මගින් “රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ (TTS) ඇති විය හැකි” බව පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍ය මහාධිකරණයට ලේඛනයක් ඉදිරිපත් කරමින් පිළිගෙන තිබේ.

නඩුවේ නීතීඥයින් පවසන්නේ, TTS යනු Thrombosis Thrombocytopenia Syndrome යන රෝගී තත්ත්වය වන අතර, එන්නත් කිරීමෙන් පසුව එම තත්ත්වය ඇති වූ විට VITT (Vaccine-induced Immune Thrombosis with Thrombocytopenia) ලෙස හඳුන්වන බව ය.

TTS හෝ VITT යනු රුධිරය කැටි ගැසීම සහ රුධිර පට්ටිකා අඩුවීම යන තත්ත්වයන් එකතු වීමෙන් ඇති වන දුර්ලභ සංකූලතාවකි.

TTS හෝ VITT සංකූලතා හේතුවෙන් ආඝාතය, මොළයට හානි වීම, හෘදයාබාධ, පෙනහලු ආබාධ, ශරීරාංග ඉවත් කිරීම වැනි ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව නීතිඥයෝ පවසති.

එන්නත් ලබා නොගත් අයට ද විවිධ ආකාරවලින් ත්‍රොම්බොසිස් සංකූලතා ඇති විය හැකිය. TTS හෝ VITT නමැති දුර්ලභ සහලක්ෂණය ත්‍රොම්බොසිස් සංකූලතාවට බලපාන්නේ එන්නත් කිරීමෙන් පසුව පමණකි.

leave a reply