Breaking News

මෝදි ආණ්ඩුව අදානි සහ අම්බානිගේ ලාභ වෙනුවෙන් ගොවියන් බිලිදීමට එරෙහි අරගලයට ඉදිරියටම

ඉන්දියාව තුළ කෘෂිකාර්මික පනත්වලට එරෙහි ගොවීන්ගේ විරෝධතා තවදුරටත් ඇවිල යමින් පවතියි. මේවා නිකම්ම නිකන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ලෙස බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණද ඔවුන්ගේ විරෝධය ආණ්ඩුවට අමතරව අදානි සහ අම්බානිට අයත් Reliance Industries ඇතුළු මහා පරිමාණ සමාගම් වෙත එල්ල වී තිබෙනවා. ඔවුන් මේ සමාගම් දෙකේ ප්‍රධානින්ගේ පඹයෝ පවා ගිනි තිබ්බා. මේ වෙනකොට මේ සමාගම් දෙකේ භාණ්ඩ වර්ජනයකත් ඉන්දීය ගොවීන් නියැලෙමින් ඉන්නවා.

සති ගණනක් ගතවූ උද්ඝෝෂණය
මේවනවිට දිල්ලිය වටා ඇති ප්‍රාන්ත වන හර්යානා, රාජස්ථාන්, උත්තර් ප්‍රදේශ්, උත්තරාන්චල් සහ පන්ජාබය යන ප්‍රදේශවල ගොවීන් බහුතරයකින් මෙම දිල්ලිය වටලෑමේ විරෝධතා ව්‍යාපාරය සමන්විත වෙනවා. ඔවුන් දිල්ලියට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් වාඩිලාගෙන ඉන්නවා. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන ගොවි සංවිධානය වෙන ඕල් ඉන්ඩියා කිෂන් සභා වැනි ගොවි සංවිධාන මේ අරගලවල පෙරමුණ ගනිමින් ඉන්නවා.

මේ විරෝධතා අතරතුර මේ වෙනකොට ගොවින් 35ක් විතර මිය ගිහින්. එකට ප්‍රධාන හේතුව අධික ශීතල නිසා ඇතිවූ සංකූලතා සහ හදිසි හෘදයාබාධ. මේ කාලයේදී මේ ප්‍රදේශවල රාත්‍රී කාලයේ අධික ශීතලකින් යුක්තයි. ඒ වගේම මේ වෙලාවේ ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිර යන බව නොරහසක්. නමුත් මේ ගොවින් සටන අතහරින්න සුදානම් නැහැ.

ආණ්ඩුව මේ ගොවි අරගල සික් ජාතිකයන්ගේ අරගලයක් ලෙස පමණක් හුවා දැක්වීමට උත්සාහ කළද විදෙස් මාධ්‍ය ගොවීන් සමඟ සිදුකළ සාකච්ඡාවලන් පෙනී යන්නේ බටහිර බෙංගාලය, දකුනුදිග ඉන්දියානු ප්‍රාන්ත වන මහාරාෂ්ට්‍රය, අන්ද්‍රා ප්‍රදේශය, තමිල්නාඩුව සහ කේරලයෙන් පමනක් නොව කාශ්මීරයෙන් පවා දිල්ලි සීමාවන් වෙත ගොවීන් පැමිණෙමින් සිටින ආකාරයයි.

කළු නීති (Black Law )
පසුගිය සැප්තැම්බර් මාසයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මත වූ කෘෂි පනත් ගොවින් විසින් හඳුන්වන්නේ කළු නීති (Black Law ) කියලයි. මේ හරහා සමාගම්වලට අස්වැන්න මිලදී ගන්න අවස්ථාව දෙනවා. ඉන්දියාවේ බෝග 23කට පනවා තිබූ පාලන මිල අහෝසි කිරීමත්, කෘෂි නිෂ්පාදන මන්ඩි වෙලඳ ක්‍රමයට පිටතින් අලෙවි කිරීමට ඉඩ සලසා දෙනවා. ඒවගේම බෝගයක් නියම කල මිලකට වගා කිරීමේ කොන්ත්‍රාත් වගා ක්‍රමයකුත් හඳුන්වා දෙනු ලැබෙනවා. ඊටත් අමතරව කුඩා ඉඩම් බද්දට ගෙන විශාල ගොවිපළවල් නිර්මාණය කිරීමට මෙම නීති හරහා පහසුකම් සළසනවා.

ගොවීන්ගේ විරෝධය
දිගු කලක් තිස්සේ ගොවීන් තම භෝග රජය විසින් නියාමනය කරන ලද තොග වෙලඳපොලවල් 7,000 ක් හෝ රට පුරා තියෙන මන්ඩි කියන ව්‍යහය හරහා විකුණලා තියෙන්නෙ. ඒවා මෙහෙයවනු ලබන්නේ ගොවීන්, බොහෝ විට විශාල ඉඩම් හිමිකරුවන් සහ වෙළඳුන් යන අයගෙන් සමන්විත කමිටු විසින්.
මේවාට පිටින් සමාගම්වලට කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට ඉඩ සලසාදීම හරහා තමන්ගේ අස්වැන්නට ගෙවන මිල අඩු වෙයි කියලා ගොවින් කියනවා. ඒ කියන්නේ සමාගම් විසින් තමන්ට කැමති කැමති ආකාරයෙන් මිල පාලනය කරයි කියන එකයි ගොවීන්ගේ අදහස. එසේම ඔවුන් පවසන්නේ මෙම නීති මගින් කෘෂිකර්මාන්තය වාණිජකරණයට ලක්කරන්න ආණ්ඩුව උත්සාහ කරන බවයි. මින් වඩාත් පීඩාවට පත් වෙනු ඇත්තේ ඉන්දියාවේ ගොවීන්ගෙන් සියයට 86ක් වන අක්කර පහක් දක්වා වන කුඩා පරිමාන ඉඩම් හිමි ගොවියෝ. තමන්ට තමන්ගේම ඉඩම්වල කුලී කම්කරුවෝ වෙන්න සිද්ධ වෙයි කියන බිය මේ ගොවීන්ට තියෙනවා.

මෝදි ආණ්ඩුව කියන්නෙ මෙම කෘෂිකාර්මික පනත්වල අරමුණ ගොවීන්ට තම නිෂ්පාදන අලෙවිකරණය කිරීමට සහ පුද්ගලික ආයෝජන තුළින් නිෂ්පාදනය ඉහළ නැංවීම බවයි. ලෝකයේ සංවර්ධනය කරා වේගයෙන් ගමන් කරමින් ඉන්න රටක් ලෙස නව තාක්ෂණික ක්‍රම එක්ක ඉදිරියට යා යුතු බව ආණ්ඩුව කියනවා. මේ සඳහා කුඩා පරිමාණ කෘෂිකර්මාන්තය පාඩු බවයි ආණ්ඩුවේ අදහස.

නමුත් ඇත්තටම මේ පනත් හරහා සත්‍ය වශයෙන් ම සිදු කෙරී ඇත්තේ ඉන්දියාවේ කෘෂිකර්මාන්තය දේශීය සහ විදේශීය ප්‍රාග්ධනයට විනිවිදීමට තිබූ බාධක ඉවත් කර දැමීමයි. මෝදි ආණ්ඩුවේ සුරතලුන් වෙන අදානි සහ අම්බානිගේ Reliance Industries ඇතුළු විශාල සමාගම් වෙත ඉන්දීය ගොවියන් බිලිදිමයි. ඒ බව හොදින්ම පෙනෙන්නේ මේ සමාගම් හදිසියේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දක්වන ආයෝජන ඉහළ දමමින් සිටින නිසයි.

අදානි

අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගම යනු කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට (Gautam Shantilal Adani) අයත් අදානි සමූහයේ සමාගමක්. ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී ගේ සමීපතම ව්‍යාපාරික මිතුරා ද වෙනවා. මොදී ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම මුල්‍ය අනුග්‍රාහකයා වීම හේතුවෙන් ගෞතම් අදානිගේ ව්‍යාපාර කටයුතු සඳහා එරට රජයේ පුර්ණ ආශීර්වාදය හිමිව තියෙනවා. කොළඹ වරාය මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුවේ දී අදානි සමාගමේ නම් යෝජනා කරන්නේ ඉන්දියානු රජය විසින් බව ලංකාවේ ආණ්ඩුවේ ඇමතිවරු කියනවා.

ඒ අනුව නැව් හා වරාය ව්‍යාපාරයට අත ගසා ඇති ගෞතම් අදානි ගේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගම මේවනවිට වෙනත් විදේශ රටවල පවා වරාය කිහිපයක්ම මිලදී ගෙන තිබෙනවා.

මේ අදානි සමාඟම ගුවන්තොටුපොළවල්, වරායවල්, කෘෂි නිෂ්පාදන පමණක් නොව තෙල් සහ ඛනිජ ද්‍රව්‍යය සඳහා කැනීම් අංශයේද නිරත වෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ කැනීම් සඳහා සටර් ගඟේ වතුර විශාල වශයෙන් ලබා ගැනීමට ප්‍රාන්ත ආණ්ඩුව අනුමැතිය ලබා දීමට එරෙහිව පරිසර ක්‍රියාකාරීන් සහ ගොවියන් උද්ඝෝෂණය කරමින් සිටින බව පසුගිය කාලයේ වාර්තා වුණා.

අම්බානි

ආසියාවේ ධනවත්ම පුද්ගලයෙක් ලෙස සැළකෙන මුකේෂ් අම්බානි Reliance Industries සමාගම ලඟදී 2017 ඉඳලා තමා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න පටන් ගත්තේ. එහි අලුතෙන්ම ආරම්භ කරපු වැඩසටහන තමයි ගොවීන්ගෙන් කෙළින්ම අස්වනු මිලදී ගැනීමේ වැඩසටහන්.

 

leave a reply