Breaking News

කොවිඩ් ආසාදිත සංචාරකයන් සංඛ්‍යාව ඉහළට – ව්‍යාපෘතිය නවත්වන්න බලාපොරොත්තුවක් නැතැයි රජය කියයි

ආණ්ඩුවේ ට්‍රැවල් බබල් ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයන් පස් දෙනෙකුට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බව අදදින අනාවරණය වී තිබේ. ඒ සමඟ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුලු පොදු මහජනතාවගේ විරෝධය මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ලවෙමින් තිබෙණු දැකිය හැක. ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර පවසා ඇත්තේ මෙම සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ දිනකට ඩොලර් 120ක් වැනි මුදලක් වියදම් කිරීමේ පොරොන්දුව පිට බවයි.

එසේම තවමත් කොවිඩ් ආසාදිත සංචාරකයන් සමඟ පැමිණි අනෙකුත් සංචාරකයන් සහ ගුවන් කාර්ය මණ්ඩලය දින 14ක් නිරෝධායනයට යොමු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇතත් එළෙස වැඩිපුර දින 14ක් නිරෝධායනය වෙමින් සිටීමට එම සංචාරකයන් කැමැත්තක් දක්වයිද යන ප්‍රශ්නය මතුවේ . පසුගිය 28 වැනිදා යුක්රේනයේ සිට මෙරටට පැමිණි මුළු සංචාරකයන් ගණන 186 දෙනෙකි.

අනෙක් අතින් විදේශයක සිට පැමිණෙන යම් පුද්ගලයෙක් ගුවන් ගතවීමට ප්‍රථම පීසීආර් පරීක්ෂණ කළ යුතුව තිබුණද මෙම සංචාරකයන්ට එය අනිවාර්ය කර නොතිබූ බව මාධ්‍ය වාර්තා පලවෙමින් පවතියි. එළෙස අනිවාර්ය කර තිබුණා නම් ඔවුන්ට කොවිඩ් ආසාදිත බව මෙරටට පැමිණීමට පෙර දැනගැනීමට තිබූ ඉඩකඩ වැඩිය. ආණ්ඩුව යම්කිසි ආකාරයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මෙහිදී කඩ කර තිබේ. එසේම මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ගැන සාකච්ඡා වෙමින් තිබූ මුල් අවදියේදීම මෙම සංචාරකයන්ගේ නිරෝධායන කාල සීමාව දින 07 දක්වා අඩු කිරීම ආණ්ඩුව තීරණය කර තිබුණි. එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ අනුව වෙනස් කිරීමටත් දැන් සැලසුම් සකස් වෙමින් තිබේ. එවැනි තත්ත්වයකදී ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වූ පිරිස් සහ ආසාදිතයන් සම්බන්ධයෙන් කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ කුමනාකාරයෙන් ක්‍රියාත්මක වෙයිද යන්න සැක සහිතය.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

මෙළෙස කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් පැවතියද එම ව්‍යාපෘතිය නොනවත්වා ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ පිලිබඳව ද මෝර්නින් පුවත්පත හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මේ ආකාරයට සංචාරකයන්ගෙන් යම් පිරිසකට කොවිඩ් වැළදෙනු ඇති බව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කළ බලධාරීන් බලාපොරොත්තු වූ බවයි.

මෙළෙස පැමිණෙන සංචාරකයන් 100 දෙනෙකුගෙන් 90කට පමණ කොවිඩ් වෛරසය වැළඳුනු බව අනාවරණය වූවේ නම් එය වෙනස් තත්ත්වයක් වුවත් දැනට කොවිඩ් වැළඳී ඇත්තේ තිදෙනෙකුට පමණක් බැවින් එය ගැටලුවක් නොවන බවත් ඒ අනුව සංචාරකයන් ගෙන ඒමේ ව්‍යපෘතිය නතර නොකරනු ඇති බවද හමුදාපතිවරයා පවසා ඇත. මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ උදයංග වීරතුංග ද මෙම කාරණයම පවසා ඇත.

යුක්රේන සංචාරකයන් පිරිස ළඟාවීමට ප්‍රථම මත්තල ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ, ජනවාරි 24 දින දක්වා මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවය. ඒ අනුව යුක්‍රේනය , රුසියාව ඇතුලු රටවලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිතව බවද ඔහු පැවසීය.

දින දෙකක් තුළ යුක්‍රේන සංචාරකයන් 399ක්
තවද පසුගිය 29 වැනිදා ද දෙවැනි සංචාරක කණ්ඩායම ලෙස යුක්රේනයේ සිට සංචාරකයන් 204 දෙනකු මෙරටට පැමිණ ඇත. ඒ අනුව යුක්රේන සංචාරකයන් තුන්සිය අසූනව දෙනකු මෙරටට පැමිණ තිබේ. එම සංචාරකයන් යළි යුක්රේනයට යාමට ඉල්ලා සිටියහොත් ‘ට්‍රැවල් බබල්’ ක්‍රමය යටතේම මත්තල ගුවන්තොටුපළෙන් එරටට යැවීමට කටයුතු කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

එමෙන්ම නිරෝධායන දින 14 අවසන් වූ පසු එම සංචාරකයන්ට මෙරට සංචාරය කිරීමටද හැකියාව පවතියි. මිට අමතරව මෙම යුක්‍රේන සංචාරකයන් පිළිගත් නර්තන කණ්ඩායම් ඇතුළු සේවකයන් නිරෝධායනය කිරීමට අවශ්‍ය බවට මත්තල ගුවන්තොටුපොළෙහි වෛද්‍ය නිලධාරි තීරණය කරන්නේ නම් ඔවුන් සහ එම සංචාරකයන්ගේ පළමු ආශ්‍රිතයන් බවට හඳුනා ගන්නා පිරිස නිරෝධායනය කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසා ඇත.

රුසියානු, යුක්‍රේනය, කසකස්ථානයෙන් සංචාරකයන්

ට්‍රැවල් බබල් සංචාරක ව්‍යපෘතිය යටතේ රුසියාව , යුක්‍රේනය, කසකස්ථානය යන රටවලින් සංචාරකයන් මෙරටට ගෙන්වීමට නියමිත බව උදයංග වීරතුංග පවසයි. මේ වනවිට යුක්රේනයේ කොවිඩ් වැලඳී ඇති රෝගීන් සංඛ්‍යාව දසලක්ෂ තිස්දහස් තුන්සිය හැට දෙදෙනකු (1,037,362) වන අතර ඉන් මියගිය සංඛ්‍යාව දහඅට දහස් අසූ එකක් (18,081) බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මීට අමතරව කොවිඩ් රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවෙන රටවල් අතරින් රුසියාව හතරවන ස්ථානයේ පසුවෙයි. යම් තරමකට හෝ අඩු කොවිඩ් රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ කසකස්ථානයෙන් පමණි. එම ගණන ලක්ෂ දෙකකි.

මේ මොහොත වනවිට බ්‍රිතාන්‍ය තුළ වෛරස් සාන්ද්‍රණය වැඩි කොවිඩ් වෛරස් ප්‍රබේදයක් පැතිරෙමින් පවත්නා බව අපි සියලු දෙනාම දන්නා කරුණකි. මෙය බොහෝ යුරෝපා රටවල් වෙත සංක්‍රමණය වී හමාරය. එසේ තිබියදී මෙවැනි තත්ත්වයදී සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා නොතකමින් සංචාරකයන් මෙරටට ගෙන්වීම යනු එම ප්‍රබේදය ලංකාවට ගෙන්වා ගැනීමක් පමණක් නොවේ තවත් කොවිඩ් රැල්ලකට අතවැනීමකි. එවිට එම සංචාරකයන් මෙරටට පැමිණීමෙන් පසු වියදම් කරනු ලැබූ ඩොලර් ප්‍රමාණයටත් වඩා වැඩි මුදලක් අපිට රටක් ලෙස වියදම් කිරීමට සිදුවෙනු ඇත.

leave a reply