පසුගිය ජනවාරි පළමුවනදා Clean Sri Lanka නමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු මාලිමා ආණ්ඩුව විසින් දියත් කරන ලද වැඩපිළිවෙලේ පළමු කර්තbuව්‍යය ලෙස පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය විධිමත් කිරීමට උත්සාහ ගැනීම අප ප්‍රගතිශීලී පියවරක් ලෙස දකින්නෙමු. මන්දයත් මෙරට සාතිශය බහුතරයක් ජනතාව තම එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අර්බුදය විසඳීමට මුලපිරීම අගය කළයුත්තක් හෙයිනි.
එහෙත් මඟී ජනතාව වශයෙන් අපට ඇති ප්‍රශ්නය නම් ආණ්ඩුව පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අර්බුදයේ වපසරිය හා එහි ප්‍රමුඛතා පිළිබඳව නිවැරදිව ගණන් බලා ඇත්ද යන්නයි. ඒ පිළිබඳව නිවැරදිව තක්සේරුවක් නොකොට පැරණි ආණ්ඩු මෙන්ම නැවතවරක් හුදෙක් ආණ්ඩුවේ වැඩපිළිවෙළට අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරයට පමණක් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අර්බුදය උපයෝගී කරගන්නේ නම් මඟී ජනතාවට ඉන් අත්වන සෙතක් නැත.
බස් හා ත්‍රී රෝද රථවල අමතර (අලංකරණ) උපාංග සවි කිරීමෙන් මඟීන්ට සුවපහසුව ගමනාන්තය කරා ළඟාවීමට ඇති අයිතිය කඩවීමට ලක්විය හැකි වේ. තවද ඒ උපාංග හේතුවෙන් මාර්ග අනතුරකට ලක්වීමේ ඉඩප්‍රස්ථාව වැඩි වේ යැයි පෙනී යන්නේ නම් ඒවා ඉවත් කිරීම ද සිදු කළ යුතුමය. එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේ කිසිඳු වරදක් නැත.
එහෙත් එය සිදුකිරීමට පෙර එම උපාංග ඉවත්කරගැනීමට සැළකියයුතු කාලයක් ලබාදීමෙන් පසුව බස් රියදුරන්ට දඩ නියම කළේ නම් ඔවුන්ද අපහසුතාවයට පත්වීම වළක්වා ගත හැකිව තිබුණි. තවද එමඟින් ඒ කර්මාන්තයේ (නවීකරණ උපාංග) යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවටද වෙනත් ආදේශකයක් වෙත මාරුවිය හැකිව තිබුණි. එහෙත් එලෙස නොකිරීමෙන් බස් රථ රියදුරන් ද බස් කර්මාන්තය හා බැඳී සිටින අනෙකුත් ප්‍රජාවන් ද මේ වනවිටත් ආණ්ඩුව විසින් මෙම වැඩපිළිවෙළෙන් දුරස් කරගෙන හමාරය.
බස් මඟී ප්‍රවාහනයේ කුළුණු හතර වන බස් රථ හිමියා, බස් රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්, මඟී ජනතාව හා රජයේ නියෝජිත ආයතන (පළාත් මාර්ගස්ථ අධිකාරිය, ලංගම හා ජාතික ගමනාගමන කොමිසම වැනි) යන සියළු දෙනා එක සේ දායක කරගැනීමෙන් පමණක් පොදු ප්‍රවාහනයේ අර්බුදයට විසඳුම් ලබාදිය හැකි වනවා මිස මේ එක් පාර්ශවයක් ‘සතුරා’ ලෙස නම් කිරීමෙන් තිරසාර විසඳුමකට එළැඹිය හැකි නොවේ.
👉 පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් වන්නේ කොළඹ හා අනෙකුත් ප්‍රධාන නගරාශ්‍රිතව කාර්‍යාල වේලාවන්හි හා පාසල් කාලසීමාවන්හි ඇතිවන තදබදයයි. මෙය බස් රථ වලට මෙන්ම දුම්රිය සේවාවට ද එක සේ බලපාන ප්‍රශ්නයකි. වැඩි මගීන් පිරිසක් සිටීම හේතුවෙන් බස් හා දුම්රිය ඇතුළත මඟීන් මුහුණදෙන අපහසුතාවය එක් අන්තයකත්, කාර්‍යබහුල කාලසීමාවන් වල නගරවලට පෞද්ගලික වාහන ඇතුල්කිරීම වැඩිවීම හේතුවෙන් ඇතිවන වාහන තදබදය අනෙක් අන්තයෙනුත් සිටිමින් මඟී ජනතාව තෙරපුමට ලක් කරයි.
👉 බොහෝ ගම් මෙන්ම නගරවලටද සවස 6 හෝ 7 න් පසුව බස් ක්‍රියාත්මක නොවේ. කොළඹ දිස්ත්‍රික්කයෙ සමහර නගරවලට ද මේ ප්‍රශ්නය ඇතිවීමෙන් එහි ඇති බරපතල බව වටහාගත හැකි වේ. අවම වශයෙන් රාත්‍රී 10 පමණ වනතෙක් හෝ අඛණ්ඩව ක්‍රියාත්මක වන බස් රථ සේවාවක් පැවතිය යුතු වේ.
👉 හැකි සෑම ගමනාන්තයක් කරා ම ළඟා විය හැකි වන පරිදි බස් රථ සේවාව ව්‍යාප්ත කළ යුතු වේ. වර්තමානය වනවිටත් කිසිඳු පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොවන ගම් පිළිබඳව දිනපතා අසන්නට ලැබේ.
👉 පළාත තුළ ධාවනයේ යෙදෙන බහුතරයක් කෙටිදුර බස් රථ නියමිත කාලසීමාවන්ට ධාවනයේ නොයෙදීමත්, අනවශ්‍ය ලෙස නවත්වාගෙන සිටීමත් හේතුවෙන් මඟී ජනතාවට අහිමි වන කාලසීමාව මෙන්ම එයින් ආර්ථිකයට අහිමි වන ශ්‍රම කාලය ද සුළුපටු නොවේ.
👉 වැඩි ලාභ අපේක්ෂාවෙන් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා සිදුවන මාර්ග අනතුරු දිනෙන් දින වැඩිවෙමින් පවතියි.
👉 අන්තර්පළාත් ධාවනයේ යෙදෙන සාමාන්‍ය ගාස්තුව මෙන් 1.5 ක් අයකරමින් පවත්වාගෙන යන අර්ධ සුඛෝපභෝගි බස් රථ ප්‍රෝඩාව මඟීන් සූරාකෑමට ලක්කරන්නකි.
👉 බහුතරයක් කෙටිදුර ධාවනයේ යෙදෙන බස් රථ වලංගු ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකරනවා මෙන්ම ඒ මුවාවෙන් නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් අයකරන අවස්ථා ද ඉතුරු මුදල් ලබා නොදීම ද සුලබව හිතාමතා සිදුකරන වරදකි.
👉 මඟී අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් රජයේ නියෝජිත ආයතන වලට සිදුකරන පැමිණිලි කාර්‍යක්ෂමව විභාග කළ යුතු වේ. ඒ සඳහා ඇති ප්‍රවේශය ද පුළුල් කළ යුතුය.
මේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ භාවිතා කරන මඟීන් දිනපතා මුහුණදෙන මූලික ම ප්‍රශ්න යි. මෙම ව්‍යුහාත්මක ප්‍රශ්න විසඳීමට වැඩි බරක් තැබිය යුතු වේ. එනිසා වඩා විද්‍යාත්මක ප්‍රවේශයකින් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අර්බුදයට විසඳුම් සෙවීමට ආණ්ඩුව අවතීර්ණ වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. ඒ සඳහා මඟී ජනතාව වශයෙන් අපට ලබාදිය හැකි සහාය ලබාදීමටද අප නොපැකිලව ඉදිරිපත් වෙමු. ඒ තුළින් යම්දුරකට හෝ මෙයට විසඳුම් සොයාගැනීම නිසැක වශයෙන්ම රටේ ආර්ථිකයටත්, ජනතාවගේ යහපැවැත්මටත් මනා පිටිවහලක් වනු ඇත.