මේ වන විට මන්නාරම ප්‍රදේශයේ පරිසරය දූෂණය කරමින් බරපතළ ඛනිජ ජාවාරමක් සිදු වුව ද, වගකිවයුතු ආයතන මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික ළහිරු වීරසේකර පැවසී ය.
නීතිවිරෝධීව මන්නාරම ප්‍රදේශයේ සිදුකරන ඛනිජ කැණීම් සහා ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සිදු වී ඇති බරපතළ අක්‍රමිකතා සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් ජන අරගල සන්ධානය ඊයේ ( 23 ) දින නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසිය.
ළහිරු වීරසේකර වැඩිදුරටත් පැවසුවේ,
” අපි දන්නවා පහුගිය කාලේ ලංකාවේ ඛනිජ සම්පත් කැණීම් සම්බන්ධයෙන් ලොකු සාකච්ඡාවක් ඇති වුනා. විශේෂයෙන් මේ සාකච්ඡාවේ පදනම වුනේ අදාළ කැණීම් සහ ගවේෂණ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව. නමුත් අද වෙද්දි මන්නාරම ප්‍රදේශයේ පරිසරය දූෂණය කරමින් බරපතළ ඛනිජ ජාවාරමක් සිදුවෙනවා. නමුත් වගකිවයුතු ආයතන මේ ගැන කටක් අරින්නේ නෑ. ඒ වගේම තමයි මේ ආයතන අද වෙද්දි මේ ජාවාරම්කාරයින්ට් එරෙහි වන මිනිස්සුන්ට තර්ජනය කරන්නත් පටන් අරගෙන.
ඛනිජ වැලි තියෙන්නේ ස්වාභාවික පරිසරය තුළ. ඒ නිසා ඛනිජ සම්පත් ගවේෂණ සහා කැණීම් කටයුතු වෙන්න ඕන ඒ ප්‍රදේශයේ වනාන්තරයට ජලපෝෂකයන්ට සහා සතා සිවුපාවුන්ට හානියක් නොවෙන අන්දමින්. අනිත් කාරණය තමයි මේ කැණීම් කටයුතුවලින් ජන ජීවිතයට අහිතකර බලපෑමක් නොවිය යුතුයි. ලංකාවේ ඛනිජ කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය තියෙන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශයට. මේ ආයතනය තියෙන්නේ පරිසර අමාත්‍යංශය යටතේ. අදාළ ප්‍රදේශයේ පරිසර පද්ධතියට සහ ජන ජීවතයට වෙන බලපෑම් සලකලා අවශ්‍ය නම් කැණීම් කටයුතු සඳහා අවසර නොදී සිටීමේ බලය මේ ආයතනයට තියනවා. ඊලගට ඛනිජ සම්පත් ලබාගන්නේ ස්වාභාවික පරිසරය තුළින්. ඒ නිසා එහි ආර්ථික ප්‍රතිලාභය සමස්ථ ජනතාවට ලැබෙන්න ඕන. ජාවාරම්කාර සමාගම්වලට එම ප්‍රතිලාභය පැහැරගන්න ඉඩ දියයුතු නෑ.
නමුත් අපිට පේනවා අදවෙද්දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය ක්‍රියාත්මක වෙන්නේ ජාවාරම්කරුවන්ට ඕන විදිහට. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශය සහ පරිසර අමාත්‍යංශය දැන් එකට එකතුවෙලා ලංකාවේ ඛනිජ සම්පත් බහුජාතික සමාගම්වලට කොල්ලකන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. මේක ඉතාම භයානක තත්වයක්.
මේකට එක උදහරණයක් තමයි මන්නාරමේ ඛනිජ නිධිය. මේ ඛනිජ ඉල්මනයිට්, සර්කෝන්, රූටයිල් ඇතුළු වටිනා ඛනිජ ද්‍රව්‍ය අඩංගුයි. ටයිටේනියම් සෑන් ලිමිටඩ් කියන ඕස්ට්‍රේලියානු සමාගමේ වෙබ් අඩවියේ තියනවා මන්නාරමේ ඛනිජ කැණීම් ව්‍යාපෘතියට අදාළ සම්පූර්ණ වාර්තාවක්. හැබැයි මන්නාරමේ ඛනිජ කැණීමට ආයෝජන මණ්ඩලය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියන බවට අපිට තොරතුරු ලැබිලා තියනවා. දැන් මන්නාරමේ ඛනිජ කැණීම් කරන්න සමාගම් දෙකකට TOR නිකුත් කරලා. ඒ මාස් මෙඩ්ල්ස් කියන ඉන්දියානු සමාගමට සහ ඔරායන් කියන ඕස්ට්‍රේලියානු සමාගමට. දැන් අපිට තියන ප්‍රශ්නේ තමයි ටයිටේනියම් සෑන් ලිමිටඩ් ආයතනයේ වෙබ් අඩවියේ තියෙන්නේ මන්නාරමේ ඛනිජ කැණීම් කරන්නේ ඒ සමාගම කියලා. එතකොට කොහොමද වෙනත් සමාගම් දෙකකට ඛනිජ කැණීමට බලපත්‍ර නිකුත් කරන්නේ ? අනිත් එක තමයි ඔරායන් සමාගමේ ඛනිජ කැණීම් බලපත්‍රය 2024 නොවැම්බර් මාසෙදි කල් නිකුත් වෙලා. ඒ කල් නිකුත් වෙච්ච බලපත්‍රයක් සහිත ඔරායන් සමාගමට තමයි 2025 මාර්තු මාසෙදි TOR එක ලබා දීලා තියෙන්නේ. ඛනිජ කැණීම් බලපත්‍රය කල් ඉකුත් වෙච්ච ආයතනයකට ඛනිජ කැණීම් සඳහා අවසර දුන්නේ කොහොමද කියලා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය ජනතාවට කියන්න ඕන. ඊලගට ටයිටේනියම් සෑන් ලිමිටඩ් ආයතනයට ඛනිජ ගවේෂණය සඳහා අවසර ලබාදීලා තියෙන්නේ ජේම්ස් ග්ලෝබල් ආයතමයේ විස්වාසය උඩ. හැබැයි අපිට තියෙන තොරතුරු අනුව මේ ආයතන දෙක අතරත් කිසිඳු සම්බන්ධයක් නෑ.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය සතුව බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිවැරදි වැඩපිළිවෙළක් තවමත් නෑ. ලංකාවෙ තියන ඛනිජ ද්‍රව්‍ය මොනවද, ඒවා මොනතරම් ප්‍රමාණයක් ගවේෂණය සහ කැණීම් කරන්න පුලුවන් ද සහා එයින් කෙතරම් ආර්ථික ප්‍රතිලාභයක් රටට ලබාගන්න පුලුවන් ද කියන කරුණු ගැන නිවැරදි තක්සේරුවක් භූ විද්‍යා හා පතල් කැණිම් කාර්‍යාංශයට තියෙන්න ඕන. එහෙම මූලික අවබෝධයක්වත් නැති ආයතනයක් තමයි අද ඛනිජ කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ. අද වෙද්දි මන්නාරම සහ තලෛමන්නාරම ප්‍රදේශවල ගොඩබිම සහ මුහුදු සීමාවේ ඛනිජ කැණීම් සඳහා බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කරලා ඉවරයි. ඛනිජ කැණීම් බලපත්‍ර ගන්න එන සමාගම් විසින්ම තමයි පරිසරි අමාත්‍යංශයට EIA රිපෝට් එක හදලා දෙන්නෙත්. කිසිඳු හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කම්පැනියක් දෙන තක්සේරු වාර්තාවකට තමයි පරිසර අමාත්‍යංශය අනුමැතිය දෙන්නේ. මේ කියන සමාගම් නිත්‍යානුකූලව තියනවද කියලවත් අවබෝධයක් පරිසර අමාත්‍යංශයට නෑ.
අද වෙද්දි පරිසර අමාත්‍යංශය ජාවාරම්කාර සමාගම් කිහිපයකට සහ ඒවට කත් අදින නිළධාරීන් අතළොස්සකට යට වෙලා. මේකට හොඳම උදහරණයක් තමයි අදටත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂක ධුරයක් දරනවා සජ්ජන ද සිල්වා. මේ කියන සජ්ජන ද සිල්වා තමයි වර්තමාන පරිසර නියෝජ්‍ය ඇමතිවරයාගේ භූ විද්‍යා එකේ වැඩ කරන කාලේ ඔහුගේ වැඩ තහනම් කලේ. එදා අපෙන් කොල්ල කන අපේ ඛනිජ සම්පත කියලා පොතකුත් ලියලා ඛනිජ මංකොල්ලයට විරුද්ධව සටන් කළ ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය ඇමතිවරයා අද ඇස් කන් පියාගෙන ඉන්නවා. එක වෙලාවක භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාශයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වගකිවයුතු සජ්ජන ද සිල්වාගේ වැඩ තහනම් වුණා. අද ඔහුව ඉස්සරහ තියාගෙන තමයි ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය ඇමතිවරයා වංචා දූෂණ නැති කිරීම ගැන කතාකරන්නේ. මේක විහිලුවක්.
මන්නාරම ප්‍රදේශයේ ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ ජනතාවගේ විරෝධය මැද. අද වෙද්දි ඒ ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජලය ධීවර කර්මාන්තයට පවා මේ කැණීම් නිසා බරපතළ අනතුරක් නිර්මාණය වෙලා ඉවරයි. විඩිත්තලතිව් ආශ්‍රිතව තියෙන්නේ ස්වාභාවික රක්ෂිතයක්. ඊලඟට වන්ගාලෛ ප්‍රදේශය කුරුළු අභය භූමියක්. අනිත් එක සංචාරක පක්ෂීන්ගේ පර්‍යටන කොරිඩෝවක් තියනවා මන්නාරමේ. අවුරුද්දකට මිලියනයකට ආසන්න සංචාරක පක්ෂීන් ප්‍රමාණයක් මේ ප්‍රදේශයට එනවා. රටවල් තිහකට අයත් පක්ෂීන් වර්ග 150ක් මීට අයත්. එයින් වර්ග 22ක් වඳවීමේ තර්ජනයට ලක්වෙලා. එතරම් සංවේදී කලාපයක ඛනිජ කැණීම් කරන්න තමයි බලපත්‍ර කල් ඉකුත් වෙච්ච තියනවද නැද්ද කියලවත් දන්නෙනැති සමාගම්වලට ඛනිජ කැණීම් සඳහා අවසර දීලා තියෙන්නේ. EIA රිපෝට් එකට මේ පරිසර පද්ධතියේ සංවේදී බව මඟහැරුණේ කොහොමද ? මේක අපිට බරපතළ ප්‍රශ්නයක්. දැනටමත් මේ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් හදන්න අදානිගේ සමාගමට අවසර දීලා තියෙන්නේ. ඊලගට මහාපරිමාණ ඉස්සෝකොටු මේ ප්‍රදේශයේ පවත්වාගෙන යනවා.
137/2017 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයේ බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ නිශ්චිතවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12වෙනි වගන්තිය උල්ලංඝනය කරමින්. ඒ නිසා අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය නවත්තලා නිවැරදි ක්‍රමවේදයක් සකස් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දීලා තියෙන්නේ. තවමත් ඒ වැඩපිළිවෙළ හදලා ඉවර නෑ. එහෙම තියෙද්දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය කොහොමද ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කලේ ? පරිසර අමාත්‍යාංශය කොහොමද ඒ බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය දුන්නේ ? මේ සියල්ල වෙනකල් ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව පොලීසිය උඩ බලාගෙන හිටිය ද ? ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන.
ආණ්ඩුව සමහරවිට මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැත්තං අපි කියනවා දැන්වත් මේ වෙන මහාපරිමාණ මංකොල්ලය ගැන තොරතුරු හොයලා බලන්න. අවශ්‍ය නම් අපි තොරතුරු දෙන්නම්. එහෙම හොයලා බලලා මේ පරිසර විනාශය සහ ඛනිජ මංකොල්ලය නවත්තන්න වහාම පියවර ගන්න කියලා මේ වෙලාවේ අපි ආණ්ඩුවට මතක් කරනවා. එහෙම නොවුනොත් ජන අරගල සන්ධානය විදිහට මන්නාරම ප්‍රදේශයේ සහ රටේම ජනතාව ඒකරාශි කරගෙන මේ මහාපරිමාණ වංචාවට එරෙහිව සටන් කරන්නත් අපි සූදානම්. "