සැප්තැම්බර් මාසයේ පොතපතට වැඩි අවධානයක් යොමු වෙන මාසය. ඊට බලපාන ප්‍රධාන හේතුව ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන එක. නව පොත් එළි දැක්වීම්, පොත් පිළිබඳව අලුත් කතාබහ නිර්මාණය වීම, විවිධ ආයතන විසින් සාහිත්‍ය සම්මාන පිරිනැමිම් සැප්තැම්බර් මාසයේ ඉලක්ක කරගෙන සිද්ධ වෙනවා.
වටපිටාව මෙසේ පවතිද්දී, බොහෝ පොත් ජන ගත වෙද්දී, අපිට හොඳ සාහිත්‍ය කෘතියක් යැයි කියා අනුමාන කරන්න තියන නිර්ණායක මොනවාද? අලුත් ලේඛකයෙක් නම් අපිට ඔහුගේ මුල් පොත කියවලා ම බලන්න සිද්ධ වෙනවා ඒක හොඳද නරකද කියලා . තවත් අපිට නිර්ණායකයක් තියෙනවා කෙනෙකු අලුතින් පොතක් එලි දක්වන විට ඔහු හෝ ඇය මීට කලින් රචනා කළ කෘතීන් තියෙනවද ඒවාල ගුණේ පිළිබඳව අපට තියෙන දැක්ම. දෙවෙනි කාරණයේදී අපිට වඩාත් ඉක්මන් අදහසක් හදාගන්න පුළුවන් මොකද සාහිත්‍ය කෘති ගණනාවක් ජනගත කරපු කෙනෙක් අලුත් පොතක් ජනතාව අතරට අරගෙන එද්දී ඔහු පිළිබඳව කලින් අපිට දැක්මක් තියෙන නිසා
ඉතින් අපිට ඇයගේ සාහිත්‍යය කෘති පිළිබඳව දැක්මක් තියෙනවා. ඇය මෙතෙක් සමාජගත කර තිබෙන කෘති පිළිබඳව සලකා බලද්දි සාහිත්‍ය පිළිබඳව සමාජය පිළිබඳව පුළුල් දැක්මක් සහිතව තෝරා බේරා ගත් නිර්මාණ ගණනාවක් ම අප වෙත ඉදිරිපත් කර තිබෙනවා. වාණිජ අරමුණු පෙරදැරි කර ගන්නේ නැතිව ඉතා සෙමින්, ඉතා හොඳින්, හොඳම දේ පමණක් තෝරා ජනගත කරන බවට ඇය පිළිබඳව අපට විශ්වාසයක් තියෙනවා. ඇය පිළිබඳව මෙසේ විශ්වාසනීයත්වය ප්‍රකාශ කිරීමට බලපාන ප්‍රධානම කරුණ තමයි ඇය මෙතෙක් කර තිබෙන නිර්මාණ රසවිඳ පුළුල් අදහසක සිටීම. ඇය නමින් සුභාෂිණි චතුරිකා.
ඇය මේ සාහිත්‍ය මාසයේදී අලුත්ම කෘතියක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. “Skylight by José Saramago” පියැසි කවුළුව නමින්.
අද විවර කලා සාහිත්‍ය කතාබහට අප එකතු කරගන්නේ “Skylight by José Saramago” පියැසි කවුළුව නමින් පරිවර්තනය කළ සුභාෂිණි චතුරිකා ලේඛිකාවයි.
ඔබ පරිවර්තන කෘති ගණනාවක් අප අතරට ගෙනත් තියෙනවා. හෙමින් ආපු ගමනක්. හැබැයි දිගු ගමනක්. මේ සාහිත්‍යය දොර විවර වෙන්නේ කොතැනද?
ඔව් හෙමින් ආපු ගමනක්. ඒක දිගු ගමනක්ය කියන එකේ තක්සේරුව කෙසේවෙතත් ඒක ලොකු කාලයක්. මම මුලින්ම පරිවර්තිත කෘතියක් කලේ 2005 වසරෙදි. ඔලෙග් තිකොමිරොව් කියන රුසියානු ලේඛකයා විසින් රචනා කරපු The grasshopper නම් කෘතිය, තණකොළපෙත්තා නමින් විදර්ශන ප්‍රකාශන ආයතනය යටතේ තිබුණු Baby Bee Publishers වෙතින් ප්‍රකාශයට පත් කළා. කවුරුත්ම නොදන්න, ඒ වෙද්දි කෙටිකතා කිහිපයක් විතරක් සති අන්ත පුවත්පළ පළ වෙලා තිබුණු, ලියන්න ආසාවෙන් හිටපු කෙනෙකුට අවස්ථාවක් ලබා දීමේ අභියෝගය ජනක (ඉණිමංකඩ) අයියා ඒ මොහොතෙදි බාර ගත්තාය කියන එක මම මතක් කරන්න ඕනෙ.
මම උසස් පෙළට සූදානම් වෙන කාලෙදි තමයි මුලින්ම විනෝදයට වගේ පරිවර්තන කරන්න පටන් ගත්තෙ. ගෙදර හැමතැනම විසිවෙවී තිබුනු Sputnik සඟරාවල තියෙන කුඩා කෙටි කතා මම ආසාවට වගේ පරිවර්තනය කරලා ඉස්කෝලෙ යාළුවන්ට කියවන්න දෙනවා. ඉන් පස්සෙ මම විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂයන් හැදෑරුවත් මම නිතරම රිංගගෙන හිටියෙ කලා විෂයන්ට අදාළ පුස්තකාලෙ. එහිදි මම කියවපු ඉංග්‍රීසි කෙටි කතා පොත්වල මම ආසා කරන කතා පුරුද්දක් විදියට ෆොටෝ කොපි කරලා අරන් තියාගන්නවා. ඒවා අධ්‍යයන කටයුතු අතර විවේක වෙලාවල පරිවර්තනය කරන එක මම දිගටම කරගෙන ගියා. එවැනි කෙටි කතාවක මට නොතේරෙන තැනක්, මට මතක විදියට -ඒක ඉන්දියානු කෙටි කතාවක්- අහගන්න ජනක අයියාගේම ඔත්තුවකට අනුව මම ජයතිලක කම්මැල්ලවීර මහතා මුණ ගැහෙන්න යනවා. එතුමා මට බොහොම උවමනාවෙන් අදාළ කාරණය පැහැදිලි කරලා දීලා මට අවසානයේදී කීවේ කැමති නම් කෙටි කතාව පරිවර්තනය කරලා එතුමාට ගෙනත් පෙන්නන්නය කියලා.
මමත් ඉතින් ඉක්මනින් ඒක පරිවර්තනය කරලා ගෙනිහින් පෙන්නුවා. ඒ මොහොතේ ඉතින් ඒ මහතා පරිවර්තනය ගැන බොහොම පැහැදිලා, කිව්වා “අපෙන් හැම තිස්සෙම පත්තරවලින් කෙටි කතා එවන්න කියලා ඉල්ලනවා, මම මේක පත්තරේකට අරින්නම් කියලා.” ඉතින් එහෙම තමයි මුලින්ම මම පරිවර්තනය කරපු කෙටි කතාවක් ලක්බිම පත්තරේ පළ වුනේ. ඊට පස්සෙ කෙටි කතා (පරිවර්තිත) කිහිපයක්ම ලක්බිම, දිවයින ඇතුළු පත්තර කිිහිපයකම පළ වුණා. ඔහොම ඉන්නැද්දී මගේ පියා(මැනුවෙල් ජයසේකර) ජනක අයියාට කතා කරලා එක මොහොතක කියනවා මට මතකයි ” දැන් කෙල්ල කෙටි කතා ලිය ලිය සෑහෙන කාලයක් හිටියා, මේකිට කරන්න ගැලපෙන පොතක් දීපන්කො” කියලා. ඊට පස්සෙ ජනක අයියා The grasshopper ඇතුළු පොත් කිහිපයක් එව්වා කැමති එකක් තෝර ගන්න කියලා.
ඉතින් මම ඒ පොත් අතරින් මට වඩාත්ම හිත ගිය, මට වඩාත්ම විඳින්න පුළුවන් පොත මම තෝරා ගත්තා. එහෙම තමයි මම පොත් පරිවර්තනය කරන්න පටන් ගත්තෙ.
මුල් කාලවකවානුවේ සිංහලට පරිවර්තනය වුණේ සෝවියට් සාහිත්‍යය කෘති. පසුකාලීනව ඒක වෙනස් වෙනවා .වෙනත් භාෂාවලින් ලියැවුණු පොත් පරිවර්තනය වෙන්න පටන් ගන්නවා .ඒ අතර අපි දකිනවා ඔබගේ පරිවර්තන කෘති තුළ විවිධත්වයක් .විවිධ භාෂාවලින් ලියැවුණු කෘති පරිවර්තනය කර තියෙනවා විවිධ කතෘ වරුන්ගේ . ඉතින් මේ තෝරාගැනීමට විශේෂත්වයක් තිබෙනවාද?
තණකොළපෙත්තා ගෙන් පස්සෙ තව පොත් දෙකක් යාකොව් ස්වෙර්ද්ලොව් – සැබෑ මිනිසෙක් අසාමාන්‍ය නායකයෙක් (2008), අරුණැල්ල – ලෙනින් ගැන කතා (2010) යන රුසියානු පරිවර්තන කෘති දෙකක් සහ ඊට කලින් රුසියානු කෙටි කතා වැඩිපුර ඇතුළත් පරිවර්තන කෙටි කතා එකතුවක් දෙවියන් මැවීම (2007) නමින් එළිදක්වන්න මට අවස්ථාව ලැබුණා. යාකොව් ස්වෙර්ද්ලොව් කෘතිය කළේ එවකට සමාජවාදී තරුණ සංගමයේ ආරාධනයක් අනුව. දෙවියන් මැවීම කෙටිකතා පොත මුල්වරට එළිදැක්වුනේ සමාජවාදි ශිෂ්‍ය සංගමය මුලික වෙලා. ඒ අතරවාරේ මම ඉතාමත් ආසාවෙන් කියවපු පොතක් වුණු සර්ගෙයි ඇන්ටනොව් නම් රුසියානු ලේඛකයා විසින් රචිත A light in the distance – stories about Lenin නම් කෘතිය පරිවර්තනය කරන්න පටන් අරගෙන තිබුනෙ, මේ මේ නිශ්චිත ප්‍රකාශයාට බාර දෙනවා කියන අදහසකින් නෙමෙයි. ඒත් කෘතිය පරිවර්තනය කරලා අවසන් වුණාම මේ පොත, මම එ් කාලෙ ඉතා ලඟින් ඇසුරු කළ, එක්තරා දේශපාලන භාවිතාවක යෙදුනු පිරිසක්, වැඩි වශයෙන් ඒ පොත කියවනවා නම් හොඳයි වගේ අදහසක් මට තිබුනු නිසා එය සමාජවාදි කලා සංගමය මූලිකත්වයෙන් මාලිමා ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණා. ඉතින් බොහොම කෙටියෙන් කියනවා නම් ඒ පොත් තුනම එළි දැක්වුනේ එවකට මම ඉතා ලඟින් ඇසුරු කළ ජනතා විමුක්ති පෙරමුණේ විවිධ සංවිධානවල මූලිකත්වයෙන්.
අනික් කාරණය තමයි අපි මූලිකව වැඩුනේ රුසියානු පොත් එක්ක. හීන හැදුනේ සෝවියට්දේශයත් එක්ක. වසීලිස්සා, බබයිගා යකින්න ගේ ඉඳලා සමොවාරය, ස්‍ටේපස් තණබිම, විතරක් නෙමෙයි පාවෙල්ලා, ඉවන්ලා, අල්තිනායි ලා අපේ ගෙදර සාලේ දි නිතරම මුණගැහෙනවා වගේ තමයි අපට දැනුනේ. කුඩා කාලේ කතන්දර පොත් කියලා අපි කියෙව්වෙත්, නව යොවුන් වියේ සුන්දරත්වය විඳ ගත්තේත් රුසියානු පරිවර්තන තුළින්.
ඒ නිසා දැදිගම රුද්‍රගු, සිරිල් සී පෙරේරා වැනි දැවැන්තයින්ගේ ගේ භාෂා ශෛලිය අපට කොච්චර හොඳට පත්තියම් වෙලා තිබුණද කියනවා නම්, ඒ කාලේ කුමක් හෝ ලියන විට දන්නේම නැතිව ඒ භාෂාව අනුකරණය කරන්න මම පෙළඹිලා හිටියා. මට තාමත් දැනෙන්නේ විශේෂයෙන් දැදිගම රුද්‍රිගුගේ භාෂාව කියන්නේ මොකක්දෝ ලතෙත් බවක් දායාර්ද ගුණයක් රැඳුණු භාෂා විලාසයක් කියලා. රුසියානු පොත් එක්ක හැදුනු වැඩුණු ගොඩක් අය මෙතනදි මාත් එක්ක එකඟ වෙනවා ඇති. ඉතින් ඒ නිසා මුල් කාලයේ රුසියානු පරිවර්තනයක් කරන එක එච්චර අමාරු නැහැ, මොකද ඒ රටේ ජන ජීවිතය, ඉතිහාසය, සංස්කෘතිය අපට එච්චර දුරස් නැහැ. ඇත්තම කිව්වොත් රුසියානු පොත් නිසාම අපි අපේ රටේ සාහිත්‍යයෙන් කුඩා කාලයේදි ඈත් වුණා කියලා කිව්වොත් නිවැරදියි. ඒ වැරුද්ද හදාගත්තේ අපි වැඩිහිටියෝ උනාට පස්සේ. ඉතින් මමත් පරිවර්තනය කරන්න මුලින්ම රුසියානු පොත් වලට නැඹුරු වීම එතරම් අරුමයක් නෙමෙයි.
ඒත් ඊට පස්සෙ ලංකාවේ පරිවර්තන සාහිත්‍ය කෙත වඩාත් පුළුල් වෙන්න ගත්තා. විවිධ රටවල සාහිත්‍ය කෘති පරිවර්තනය වීම ඇරඹුනා. ඒ අතරතුර මටත් තවත් භාෂාවක් හරහා එනම් ප්‍රංශ භාෂාව හරහා වෙනත් ලෝකයක් හෙමින් විවෘත වෙමින් තිබුණා. ඉතින් සිංහල පොත් වලට අමතරව ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙනුත් මම ගොඩක් කියවන්න ඇබ්බැහි වුණ නිසා මම ගොඩාක් වින්ඳ, පරිවර්තනය කළ යුතුයි යන අදහසින් මිදෙන්න බැරි පොත් කිහිපයක් ඉන් පස්සෙ මම හෙමිහිට පරිවර්තනය කළා.
පරිවර්තන කලාව බොහොම බැරෑරුම් වැඩක් .මොකද අපි පරිවර්තනය කරන්න තෝරාගන්නා කෘතිය බිහි වූ වටපිටාව පිළිබඳව අපිට අදහසක් නැත්නම් මුල් කෘතිය ලබාදෙන හැඟීම් දැනීම් පරිවර්තනය තුළට ගන්න බැරි වෙනවා .විවිධ රටවල විවිධ ලේඛකයන්ගේ කෘති පරිවර්තනය කරන්න යෑමේදී මේ කාරණය අභියෝගයක්. ඔබ ඒ අබියෝගයට මුහුණ දුන්නේ කොහොමද ?
පරිවර්තන කලාව බරූරුම් වෙන නොවෙන එක කෙසේ වෙතත්, පරිවර්තකයාට පුළුවනි ඒක ඉතාමත් බැරූරුම් කාර්යයක් බවට පත් කර ගන්න. පෞද්ගලිකව මගේ අත්දැකීම නම්, මම පරිවර්තනයක් කරද්දි මම ඒකෙ ඇතුළෙ නිතරම ජිවත් වෙන්න පටන් ගන්නවා. ඒ චරිත මමත් හිතින් මවා ගන්නවා. කොච්චර හිතින් මවා ගන්නවාද කිව්වොත් සමහර දවස්වලට මට ඒ චරිත හීනෙනුත් පේන්න ගන්නවා. උදාහරණයක් විදියට යාකොව් ස්වෙර්ද්ලොව් කෘතිය කරන්න මට ඒ අය දුන්නෙ මාස තුනක් වගේ කෙටි කාලයක්. ඒක කෙටි කාලයක් වුණත් ඒ මොහොතේ තිබුණ අවශ්‍යතාව අනුව මම ඒ කාලය දැනගෙන තමයි ඒ කාර්යය වෙලාවට අවසන් කරන්න බාර ගත්තෙ.මම ඒ කාලෙ වෙන දෙයක් ගැන හිතුවෙ කෙරුවෙ නැති තරම්. ඒ සිද්ධි මට හීනෙන් පෙනුනා ගොඩාක් වාරයක්. මම හිතන්නෙ ස්වතන්ත්‍ර කෘතියක් නිම කරන්න එහි මුල් නිර්මාණකරුවා විඳින නිර්මාණාත්මක වේදනාවේ බර පරිවර්තකයාත් දශයමකින් හරි විඳ ගැනීම එතනින් සිද්ධ වෙනවා කියලයි මම හිතන්නෙ.
අනික ඔබ කිව්වා වගේම මමත් විශ්වාස කරනවා, පරිවර්තකයෙක් කිසියම් කෘතියක් පරිවර්තනය කරන්න කලින් ඊට අවශ්‍ය වටපිටාව දැනගන්න අමතර කියවීම් කළ යුතුයි කියලා. මොකද සාහිත්‍ය පරිවර්තන කියන්නෙ එක් වැකියකින් තවත් වැකියකට කරන හුදු යාන්ත්‍රික පරිවර්තනයක් නෙමෙයි. තමන්ට නුහුරු රටක ජීවන විලාසය, සංස්කෘතිය සිතුම් පැතුම්, ඉතිහාසය වැනි දේවල් ගැන කිසියම් අවබෝධයක් ලැබුණාම තමයි පරිවර්තකයාට හැකි වෙන්නෙ ඒ කතාව සමඟ හොඳින් බද්ධ වෙන්න. ඒකෙ ඇතුළෙ ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා මම පරිවර්තනයක් කරද්දි ඒ මුල් කෘතිය ගැන, මුල් ලේඛකයා ගැන, ඒ කාලවකවානුව, අපිට නුහුරු සංස්කෘතික සාමාජීය කාරණා ගැන මම කියවන්න පෙළඹෙනවා. ඒ නිසා මම හිතනවා පරිවර්තකයෙක් විදියට මම ඒ මුල් කෘතියට තවත් සමීප වෙනවා කියලා.
ඔබගේ ලේඛන ඉතිහාසය දසක එකහමාරක් පමණ දිගු එකක් . නමුත් ඔබ අතින් පරිවර්තනය වෙලා තිබෙන්නේ කෘති හතයි .ඉන් දෙකක් ළමා පරිවර්තන . වර්තමාන පරිවර්තකයෝ අවුරුද්දකට කෘති දෙක තුනක් පරිවර්තනය කරනවා . එහෙම බලපුහාම ඔබගේ ගමන ඉතාම හිමින් . ඒකට හේතුව ?
ඔව් ආපස්සට හැරිලා බැලුවාම අවුරුදු 10ක් ම, ඒ කියන්නෙ 2010 වසරේ අරුණැල්ල -ලෙනින් ගැන කතා පරිවර්තන කෘතිය කළාට පස්සෙ මම කිසිම අලුත් පරිවර්තනයක් කලේ නැහැ තමයි. ඒ අතරවාරේ සිදුවුනේ මුලින් කරපු කෘති වල නැවත මුද්‍රණ සහ ගොඩාක් කාලයකට කලින් පරිවර්තනය කරලා ප්‍රකාශකයෙක් පස්සෙන් යන්න තියෙන අකමැත්ත නිසා හමස් පෙට්ටියට දාලා වහලා, අමතකර කරලා තිබුණ පරිවර්තන අහම්බෙන් එළියට ඇවිල්ලා පොත් බවට පත් වුණු එක.
උදාහරණයක් විදියට, ගිය අවුරුද්දේ අහස ප්‍රකාශන එක්ක මුල්වරට මුද්‍රණය කරපු ප්‍රංශ යොවුන් කතාව ‘මගේ තැන ඉඳන් හිතලා බලන්න’ කෘතිය එළියට ආවේ එහෙම. මම ඒක පරිවර්තනය කළේ අවුරුදු දොළහකට විතර කළින්. එක ප්‍රකාශකයෙක්ගෙන් ඒ පරිවර්තනය ප්‍රතික්ෂේප වුණා. ඉතින් ආයෙ මම ඒ පොතට ප්‍රකාශයෙක් හොයා ගන්න උත්සාහ කලේත් නැහැ. එහෙම එකක් මම කළා කියලා අමතක කරලා දාලා ඉන්න කාලෙක තමයි මට අහම්බෙන් අසංක සායක්කාරව මුණ ගැහෙන්නෙ. ඉතින් මම මුලින්ම කරපු තණකොළපෙත්තා කෘතිය කියවලා තියෙන මතකයත් එක්ක ඔහු මාව නිතරම උනන්දු කලා අහස ප්‍රකාශන එක්ක පරිවර්තන කෘතියක් කරන්න. ඉතින් ඒ මොහොතෙ අලුතින් පරිවර්තන කෘතියක් කරන්න තරම් මට මානසික සූදානමක් නොතිබුණු නිසා එච්චර කල් මටත් අමතක වෙලා තිබුණු ඒ ප්‍රංශ ළමා කතාව සායක්කරට මම දුන්නා. ඉතින් එහෙමයි ඒ කෘතිය අහසත් එක්ක එළි දක්වන්න මට පුළුවන් වුනේ.ඒ අතුරු කතාවක්.
ඔබගේ ප්‍රශ්නයට මම ආයෙත් ආවොත්, ඒ හෙමින් ගමනට සෘජුවම කාරණා දෙකක් බලපානවා. පළවැනි එක.
මම 2011 දි විදේශගත වෙනවා වැඩි දුර අධ්‍යාපනයට. ඊට ටික කාලෙකට පස්සෙ මගේ පෞද්ගලික ජිවිතය වගේම දේශපාලන ජිවිතය හරහා චණ්ඩ කුණාටවුක් හමා ගෙන යනවා. ඒ දෙකම සිද්ධ වෙන්නෙ එකම කාලෙකදි. ඒ දෙකම එකිනෙක ගැටගැහිච්ච කරණා කිව්වොත් නිවැරදියි. මගේ ජිවිතයේ එතෙක් මම ආදරය කළ, මම විශ්වසය තැබූ පරමාදර්ශ සියල්ල බිමට සමතලා වෙනවා, දේශපාලනිකව වගේම, පෞද්ගලිකවමත් අායේ එතෙක් විශ්වාසය තැබූ සියලු දේ දෙස, ඒ මිනිස වටිනාකම් දෙස යන්තමින් හෝ නැවත හැරී බැලීමක් කරන්නවත් මට ඉඩක් නොතබමින්. මොකද මම පුද්ගලයෙක් විදියට පුංචිකාලයේ ඉඳන් ගොඩ නැඟුණෙ ඒ පුරුෂාර්ථ, පරමාදර්ශ සහ මිනිස් වටිනාකම් එක්ක. ඒවා ඇතුළෙ තමයි ජීවිතේ හීන හැදුණේ, ඒවා ඇතුළෙ තමයි ජිවිතේ පරමාර්ථ හැදුනෙ. ඒ සියල්ල ඇස් ඉදිරියේ ඇතුළතින්ම පුපුරා හැලෙද්දි, අනෙක් පැත්තෙන් පෞද්ගලිකව මහෝඝයක් යැයි සිතූ දේවල් ජීවිතයට සාපයක් වෙද්දි, මමත් ජිවිතය ඇතුළෙන් කඩා වැටුණා. ඒක ඇස් පණා පිට සිදුවුණු මගේ ජිවිතයේ මහා රැවටිල්ලක්. ආයේ කොතැනද, කාවද මම විශ්වාස කරගෙන මම ජීවිතේ කලින් වගේ බය නැතුව අඩිය තියන්නෙ කියන සම්බන්ධයෙන් මම හොඳටම අතරමං වුණා.
ඒක ඇත්තටම ගත්තොත් මගේ ජිවිත කාලය පුරාම තවමත් දෝංකාරය දෙන, මට තවමත් බොහොම සද්දෙන් පාඩම් කියා දෙන සිදුවීම් ගොන්නක්. ඉතින් ඒ නිසා විදේශ අධ්‍යාපනය සාර්ථකව නිමා කරලා මම ලංකාවට ඇවිත් මම නොවෙන මම කෙනෙක් එක්ක හැපෙමින් ගැටෙමින්, යැපෙන්න ඕනෙ නිසා රස්සාවක් විතරක් කරමින් ඉතා පුංචි කෝෂයක් ඇතුළෙ මම ජීවත් වුණා.
ඒ අතරවාරේ සුන්බුන් ගොඩේ විසිරිලා තිබුණු මාව මම තනිවම සොයා ගනිමින් සිටියා. ඒ කාලෙ උඹට ජීවිතේ කොයිතරම් බරදැයි අහන්නවත් හිටියේ මම ගැන දන්න මිත්‍රයෝ එක්කෙනෙක් දෙන‍්නෙක් විතරයි. ඉතින් ඒක එහෙමයි. ඒ කාලෙ දැන් පහුවෙලා. මට දැන් මාව මුණ ගැහිලා වෙන්න ඇති. ජීවිතයෙන් මට හිමි අහිමි මොනවාද යන්න පිළිබඳ මම දැන් සන්සුන්. තවත් චණ්ඩ කුණාටු වලට මගේ ජිවිතයේ ආයෙත් ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා මම පොත් කියවනවාට අමතරව මගේ ජිවිතයේ ආසම අනෙක් දේ වුණු, ලියන්නත් මම දැන් සන්සුන්.
දෙවැනි කාරණය තමයි, ස්වභාවයෙන්ම මම අරමුණු හඹා යන කෙනෙක් නෙමෙයි. පරිවර්තන කෘති සම්බන්ධයෙනුත් වෙන්න ඇත්තෙ ඒක වෙන්න ඇති. පොතක් කියවලා පරිවර්තනය කරන්න ලොකූ පෙළඹවීමක් දැනුනොත් ඇරෙන්න මම පොතක් පරිවර්තනය කරන්න පටන් ගන්නෙ නැහැ. ඉතින් තව අය මොනවා කළත් මම මට ඕනෙ දේම කර කර උන්නෙ ඒක නිසා වෙන්න ඇති. මේ තරම් මම හෙමින් වැඩ කරන්නෙත් ඒ නිසා වෙන්න ඇති.
“Skylight by José Saramago” පියැසි කවුළුව නමින් පරිවර්තනය කිරීමට බලපෑ විශේෂ හේතුවක් තියෙනවාද?
ඔව් ඒකට හේතුවක් තිබුණා. සුභාවි ප්‍රකාශන එකේ නිශාන්ත පරණගම මට අවුරුදු හතරකට විතර කළින් පොත් කීපයක් ගෙනැවිත් දුන්නා කැමති පොතක් තියෙනවද කියලා බලන්න කියලා. ඉතින් ඒ පොත් අතරින් ජොසේ සරමාගෝ ගේ Skylight කෘතියට ටිකක් හිත ගිහින් හෙමිහිට කියවන්න පටන් ගත්තා. ඒ පොත කියවලා ඉවර කරන්න මට සෑහෙන කාලයක් ගියා. ඒ මොකද කියනවානම් පාඨකයා මාර විදියට ඇද බැද ගන්න ලස්සන කතාවක් ඒකෙ නැති නිසා. කුතුහලයකුත් නැහැ. ඒත් කියවලා අවසාන උනාම, මට ඒ කෘතිය පුදුමාකාර විදියට දැනෙන්න ගත්තා. මට මතක් වුනේම ප්යදෝර් දොස්තොව්ස්කි විසින් ලියපු පී.එස්.බී සේනානායක විසින් පරිවර්තනය කරපු ‘අසරණ මිනිස්සු’ කෘතිය.
මට අසරණ මිනිස්සු කෘතිය කියවලා ඉවර වෙද්දි දැණුන බර ගතිය, නැතිනම් කටුක තිත්ත රසය මේ පොත කියවද්දිත් වරින් වර මට දැනුනා. ඒ කෘති දෙකේදිම ඒ ඒ කතුවරුන් කියන්න උත්සාහ කරන්නෙ සමාජයේ පහළ මැද පංතියේ මිනිසුන්ගේ ජිවන අරගලය ගැන. ඒ කෘති කියවද්දි ඔවුන්ගේ ජිවිත මොනතරම් දුංඛිත ද කියන එක අපිට දැනෙනවා. සමහර විට ඒ අපේ ජීවිතයම තමයි. දොස්තොව්ස්කි ගේ අසරණ මිනිස්සු කෘතියට වඩා, ජොසේ සරමාගෝ ගේ skylight කෘතිය යන්තමින් වෙනස් වෙන්නෙ, ජීවිතය ඒතරම්ම දුංඛිත වුනත්, වඩාත් යහපත් ජීවිතයක් වෙනුවෙන් අපට තවමත් බලාපොරොත්තු තබා ගත හැකියි යන ඉඟිය අපට එම කෘතිය තුළින් වරින් වර මතක් කර දෙන නිසා. කුඩා කාලයේ සිටම මම ලැබූ දේශපාලන අභාෂයත් සමඟ මම ජීවත් වූයේද ජිවත් වන්නේද ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ සිහිනය දකිමින්. ඉතින් ඒ නිසා මට මේ කෘතිය පරිවර්තනය කරන්න ආසා හිතුනා.