Breaking News

ආණ්ඩුවේ ආදර්ශ පාඨය කැළයක් කපමු පැළයක් හිටවමු – පුබුදු ජයගොඩ

ආණ්ඩුවේ ආදර්ශ පාඨය වී ඇත්තේ කැළයක් කපමු පැළයක් හිටවමු යන්න බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ පැවසුවේ සී. බී. රත්නායක ඇමතිවරයා වනාතවිල්ලුව පරිසර විනාශය සිදුවූ තැනට ගොස් නැවත කැළයක් නිර්මාණය කරන බව පැවසුවත් කාලාන්තරයක් පුරා තිබුණු කැලයක් විනාශ කිරීම බවයි. ජනාධිපතිවරයාත් සිංහරාජ රක්ෂිතය කපන්න කියා ලංකාගම පැළ බෙදූ බව පුබුදු ජයගොඩ පැවසිය. එසේම ආනවිලුන්දාව කඩොලාන පරිසර විනාශයට සම්බන්ධ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ සොහොයුරාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද ඔහු පවසයි. එසේම පසුගිය සමයේ තාප්පවල පෝස්ටර් ඇලවීමෙන් පරිසරය විනාශ වෙනවා පැවසු අය කැළෑ කපමින් සිටින බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවේදී දැක්වූ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.

“මේ වනවිටඉඩම් කොමසාරිස් විසින් සැප්තැම්බර් 10 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

2192/36 අංක දරණ මේ ගැසට් නිවේදනයෙන් දැනට හිමිකම් ලියවිලි නැතිව රජයේ ඉඩම් සංවර්ධනය කරණ හා පදිංචි අයට එම ඉඩමේ අයිතිය පිරිනමන බවත් සැප්තැම්බර් 30 වැනිදාට පෙර අයදුම් කළ යුතු බවටත් ඒහි සඳහන් වෙනවා. මේ ආකාරයට රජයේ වන ඉඩම් හා වෙනත් රාජ්‍ය ඉඩම් කොල්ල කෑමේ කාලයක් ආණ්ඩුව විසින් සැප්තැම්බර් 30 වැනිදා දක්වා ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ නිවේදනයේම ආකෘතියක් ලබා දී තිබෙනවා. ඒහි ඒක් තැනක ඉඩමේ කොච්චර කාලයක් පදිංචිද කියලා විමසා තිබුණත් ඒහි අයිතිය තහවුරු කරගැනීමේ ක්‍රමයක් නෑ. අද වුණත් රජයේ ඉඩමක් අත්පත් කරගෙන කෙනෙකුට එහි අයිතිය ප්‍රකාශ කරන්න කාලය තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබෙනවා රජයේ ඉඩම් සමාගම්වලට පවරන තත්වයක් ඇති කරන්න. ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට කැලෑ ඉඩම් විනාශය මේ වනවිටත් ශීඝ්‍රයෙන් සිදුකරමින් තිබෙනවා. විවිධ ආයෝජන සඳහා කියමින් ව්‍යාපාරිකයන්ට හා දේශපාලන ආධාරකරුවන්ට රජයේ ඉඩම් කොල්ලකෑමේ අවස්ථාව සලසමින් තිබෙනවා. සෝමවාති රක්ෂිතයේ ඉඩම් සමාගම්වලට පවරනු ලැබුවේ එවැනි අවස්ථාවක.

මේ ආණ්ඩුව පත්වූ විගසම සිංහරාජ වනය ආශ්‍රිත පරිසර හානියක් සම්බන්ධ ප්‍රශ්නය මතු වුණා. ඉන්පසුව ආනවිලුන්දාව කඩොලාන විනාශය, වනාතවිල්ලුව රක්ෂිතය ගිනිතැබීම ආදි ස්ථානවල පාරිසරික විනාශය සම්බන්ධ වාර්තා වුණා. එනසාල් වගාව සඳහා නකල්ස් රක්ෂිතය ගිනිතැබීම, රත්මලේ රක්ෂිතයේ අක්කර 105ක්, ආඬියාහින්න රක්ෂිතයේ අක්කර 30ක්, විල්මුල්ල රක්ෂයේ අක්කර 30ක්, උඩවලව රක්ෂිතයේ අක්කර 40ක්, අනුරාධපුර වැව් ප්‍රතිසංස්කරණයකරන මුවාවෙන් අවුරුදු සිය ගණනක් පැරනි ගස් කපා හෙලීම වගේ සිදුවීම් ගණනාවකින් මේ පරිසර විනාශය ඉදිරියට ගෙන යමින් තිබෙනවා. පුවත්පත් වාර්තා අනුව, ආණ්ඩුව බලයට පත්ව මාස දෙකහමාරක කාලය තුළ දිනකට වන රක්ෂිත අක්කර 3ක් බැගින් කපා දමන තත්වයක් උද්ගත වී තිබෙනවා.

මහමැතිවරණයේ බලය හිමිකරගැනීමෙන් පසුව උමතුවෙන්, වියරුවෙන් මේ පරිසර විනාශය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ සියලු තත්වයන්ට ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයන් මැදිහත්වෙමින් තිබෙනවා. ජනාධිපතිවරයා සිංහරාජ රක්ෂිතය කපලා හදන පාර දින 90කින් ඉවර කරන්න නියෝග කළාට පස්සෙ ගුරා හිටගෙන කරන දේ ගෝලයන් දුව දුව කරන තත්වයක් දැන් උදා වෙලා තිබෙනවා. පොදුජන පෙරමුණු ආණුඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොයුරා ආනවිලුන්දාව කඩොලාන කැපීමට සම්බන්ධ බව අනාවරණය වුණත් කිසිදු පියවරක් අරගෙන නෑ. වනාතවිල්ලුව විනාශය සම්බන්ධව සිඩ්නි රත්නායක මන්ත්‍රිවරයා කියන්නෙ අපි ඒතැන වන රෝපණ කරලා කොළපාට කරන බවයි. දුඹුරුපාටට තියෙන තැන කොළපාට කරන ඒක නෙවෙයි ප්‍රශ්නය. කාලාන්තරයක් වැඩුණු ස්වභාවික වනයක් විනාශ කරලා ඇති කළ විනාශය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. වන රෝපණයෙන් ඒ විනාශය ආපස්සට හරවන්න බෑ. ජනාධිපතිවරයා සිංහරාජ වන විනාශය සඳහා උ්තරය ලෙස පැළ හිටුවන්න කිව්වා. මේ ආණ්ඩුවේ වන විනාශක ක්‍රියාදාමයේ ආදර්ශ පාඨය වෙලා තියෙන්නෙ “කැළයක් කපලා පැළයක් හිටවමු!” කියන එක. පාරවල් අයිනේ මල් පෝච්චි තියලා පරිසරය ආරක්ෂා කරන්න යනවා. අපට මතකයි පහුගිය කාලෙ කිව්වා රිසරය විනාශ වෙන්නෙ, අලංකාරය නැති වෙන්නෙ පෝස්ටර් ඇලවුවාම කියලා, පෝස්ටර් අළවන තාප්පවල චිත්‍ර ඇන්දා. මේ වනවිට හන්තාන දුණුමඬලාව රක්ෂිතයේ රාත්‍රියට ඇහෙන සද්දවලින් කියවෙන්නෙ දේශපාලකයන් ගස් කපන තත්වයක් කියලා අනාවරණය වුණා.

ලංකාවේ පහතරට වැසි වනාන්තර ඉතිරිවෙලා තියෙන්නෙ සමස්ත භූමියෙන් 1.9%ක් බව වාර්තා වෙනවා. කඳුකර වැවැසි වනාන්තර හා උප කඳුකර වනාන්නර 1.15ක් ඉතිරිව තිබෙනවා. සමස්තයක් ලෙස වැසි වනාන්තර ලෙස ඉතිරිව තියෙන්නෙ රටේ වර්ග කි.මී 65,610න් 3%ක භූමි ප්‍රමාණයක් පමණයි. දැවැන්ත විනාශයක් වැසි වනාන්තරවලට සිදුවෙමින් තිබෙනවා. රක්ෂිත ලෙස නම්කර තිබෙන්නෙත් එම වනාත්තර ප්‍රමාණයෙන් 65%ක් පමණ ප්‍රමාණයක්. අනෙක් වැසි වනාන්තර ප්‍රදේශ 35%ක් අවශේෂ වන ලෙස හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් භූමි ලෙස පවතිනවා.
දැන්, අවශේෂ වනාන්තර ආරක්ෂා කිරීමට අදාළව 5/2001 ගැසට් නිවේදනය අහෝසි කිරීමට සැප්තැම්බර් 9 වැනිදා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් දෙනු ලැබුවා. ඒ යෝජනාවට කුමක් වුණාද තවමත් අපි දන්නෙ නෑ. ඒ් යෝජනාව අනුව ගැසට් නිවේදනය අහෝසි කෙරුණොත් අවශේෂ වනාන්තර ඉඩම් අක්කර ලක්ෂ 5ක් සමාග්මවලට පැවරීමේ සූදානමක් තිබෙනවා. අන්න ඒ සමාගම්වලට ඉඩම් කොල්ල කෑමට ලබාදීමේ පියවරට අදාළ පූර්වාදර්ශය ලෙස මේ එක දිගටම සිදුවන වන විනාශය හඳුනාගන්න පුළුවන්. ඒ වගේම ඉඩම් කොමිෂන් සභාවට අයත් ඉඩම් නව ගැසට් නිවේදනයෙන් වාණිජ භාවිතයට ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ජනතාවට ඉඩම් දෙන බව පෙන්වන්න ඇත්තටම එහෙම ඉඩම්වල පදිංචි පිරිසකට ඔප්පු දීලා මේ ඉඩම් කොල්ලය සඳහා පසුබිම සකස්කර ගන්න ආණ්ඩුවට පුළුවන්.

ආධාරකරුවන්ටත් ඉඩම් බෙදන්න මේක අවස්ථාවක් කරගන්නවා. නමුත් ඇත්ත අවශ්‍යතාව සමාගම්වලට මහා පරිමාණයෙන් ඉඩම් පැවරීමේ ක්‍රායාදාමය ඉදිරියට ගැනීමයි. සිංහරාජය විනාශ කරමින් ලංකාගමට පාර කපනවා කිව්වම ඇතිවූ විරෝධය හමුවේ අපි එදත් කිව්වා, ප්‍රශ්නය ලංකාගමට පාරකැපීම නෙවෙයි, ඒ හරහා ආණ්ඩුව ඉඩම් කොල්ලයකට පාරකපාගැනීමයි. මෙහෙම විවිධ හේතු හරහා ඉඩම් කොල්ලය සාධාරණිකරණය කරගන්න ආණ්ඩුව විසින් අවස්ථා සකස්කර ගැනීමයි.
රටේ දැනට පවතින නීතිය උල්ලංඝනය කිරීම මේ හරහා සිදුකිරීමට පුළුවන් වෙනවා. වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව, රක්ෂිතයක් ලෙස නම්කර තිබෙන බිමකට ඇතුළු වෙන්න පවා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුයි. ජාතික උරුම වනභූමි පනතට අනුව, එවැනි ජාතික උරුම වනයක සංවර්ධන කටයුත්තකදී ඊට අදාළව මධ්‍යම පරිසර අධිකාරියෙන් පාරිසරික ඇගයුම් වාර්තාවක් ගත යුතුයි. ඒ් නිසා මේ ආකාරයෙන් ආණ්ඩුව ඒ් නීති කැඩුවා. සිංහරාජ ජාතික උරුම වනයක සිදුවූ නිසා යුනෙස්කෝවෙ සම්මුතියත් උල්ලංඝනයකර තිබෙනවා. ඒ් නිසා මේ සිංහරාජය හරහා ලංකාගමට යන පාරක් නෙවෙයි, මේ පාරිසරික නීති ජාත්‍යන්තර සම්මුති පවා නොතකා අත්තනෝමතිකභාවය කරා යන පාරක්.

ජනාධිපතිවරයා දවස් 90 පාරක් කපන්න කියන්නෙ අඩුම ගානෙ පාරිසරික ඇගයුම් වාර්තාවක්වත් ගන්න බැරි කාලයකදි පාර හදන්න කියන එකයි. ඒවා කිසිවක් ජනාධිපතිවරයා සලකන්නෙ නැති බව පැහැදිලියි. පහුගිය කාලෙ ජනාධිපති ගෝඨාභයට සමාජ ජාලවල ‘රෙස්පෙක්ට් සර්’ කියලා ලිව්වෙ. දැන් ලියන්නෙ රෙස්පෙක්ට් ඩෝසර්’ කියලා. වනාන්තර ස්වභාවික සම්පත් සියල්ල ඩෝසර් කරමින් යන තත්වයක් උදා වෙලා.
සැප්තැම්බර් 9 වැනිදා අවශේෂ වනාන්තර සම්බන්ධ වගකීමෙන් නිදහස්වෙමින් ගැසට් නිවේදනය අහෝසි කරනවා. පහුවෙනිදා 10 වැනිදා 2192/36 අංක දරණ මේ ගැසට් නිවේදනයෙන් කරන්නෙ වනාන්තර ඉඩම්වල රාජ්‍ය ඉඩම් අත්පත්කරගෙන ඉන්න අයට ඔප්පු නිකුත් කිරීම සඳහා පසුබිම සකස් කිරීමයි. පහුගිය කාලෙ MCC ගිවිසුම අත්සන් කිරීම නිසා විශාල ඉඩම් කොල්ලයක් සිදුවන්න නියමිත බව අපි කිව්වා. දැන් මේ ගැසට් නිවේදන මගින් එ ගිවිසුම නැතිවම ඉඩම් කොල්ලයට පාර කැපෙනවා. මේ ආකාරයෙන් රජයේ ඉඩම් පෞද්ගලික පරිහරණයට දීලා ඔප්පු දුන්නම සමාගම්වලට ඒ පෞද්ගලික ඉඩම් මිලදී ගැනීමේ පසුබිම ඉබේම ඇති වෙනවා. MCC ගිවිසුම නැතිවම ඉඩම් කොල්ලයට සමාගම්වලට අවශ්‍ය පසුබ්ම මේ ආණ්ඩුව සකස්කර තිබෙනවා. සැප්තැම්බර් 30 දක්වා කාලය දී තිබෙනවා. අවශ්‍ය නම් 29 වැනිදා රජයේ ඉඩමක් අත්පත්කරගෙන පහුවදාට අයිතිය තහවුරුකර ගැනීමට අයදුම්පතක් ඉදිරිපත්කරගත හැකියි.

අනෙක් පැත්තෙන් වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම මගින් සිදුකළ තත්වය. අවුරුදු 100ක් පමණ පැවති මේ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් කැමති විධියට වැලි කැපීමේ අවස්ථා නිර්මාණය වුණා. සිදුවන පාරිසරික හානිය සම්බන්ධයෙන් පරිසරවේදින් ක්‍රියාත්මක වී අධිකරණයේ අවධානය යොමු කිරීමට හැකි වූ නිසා දැන් බලපත්‍ර ක්‍රමය නැවත ඇතිකරන ලෙස නියෝග දී තිබෙනවා. ඒ විධියට බලපත්‍ර ක්‍රමය ඇති කරලා පොලිසියට උපදෙස් දෙනවා බලපත්‍ර නැති වැලි ප්‍රවාහනය අල්ලන්න එපා කියලා.
මනම්පිටියෙ වැලි ප්‍රශ්නය මේ ක්‍රියාදාමයට සම්බන්ධයි. මේ මහවැලි ගංගාවේ වැලි මනම්පිටිය ප්‍රදේශයේ රැස්වුණාම ගංවතුර ගැලීම් තත්වය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව වැලි ඉවත් කිරීමටත් කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් කර්මාන්තයට ඒවා යෙදවීමටත් 2008 රජය විසින් සමාගමක් පිහිටුවනු ලැබුවා. නමුත් වැලි කැණීම දේශපාලන හිතවතුන් විසින් සිදුකරන තත්වයක් තුළ විශාල දූෂිත ගනුදෙනු සිදුවුණා. 2015 දි මේ තත්වය වැලැක්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සේවකයන් බඳවාගෙන රාජ්‍ය සමාගමෙන් වැලි කැණීම ආරම්භ කළා. ඒ සමාගමේ සේවය කරන සේවකයන් 800 දෙනකුට අදාළ ගැටලු රාශියක් තිබෙනවා.

එහෙම තිබියදී මේ ආණ්ඩුව නැවත වරක් සමාගමෙන් වැලි කැණීමේ ක්‍රියාදාමය නැවතවරක් දේශපාලන හිතවතුන්ට පවරාදීමේ උත්සාහයක් ගෙන තිබෙනවා. මනම්පිටියෙ වැලි කැණීම් මංකඩ අත්පත් කරගැනීමට ආණ්ඩුවේ හෙංචයියන් පැමිණ තිබෙනවා. මේ නිසා ආණ්ඩුවේ ආදායම දේශපාලන ජාවාරම්කරුවන්ට හිමිකර දීමේ සහ ඒ් ජාවාරම්කරුවන් කිසිදු ඉවත් බවක් නැතිව ලාභ සෙවීමට වැලි කැණීමේදී මහවැලි ගංගාවේ පාරිසරික විනාශයක් ඇති වීමේ අනතුරක් තිබෙනවා. පහුගිය සිකුරාදා මනම්පිටිය, වැලි මංකඩ සේවකයන් තමන්ගෙ අර්ථසාධක අරමුදල් ගැටලු විසඳා ගැනීමට කොළඹ ඇවිත් ඉල්ලීම් ඉදිරිපත් කළා. පහුවදා සෙනසුරාදා ඒ සම්බන්ධ සාකච්ඡා කිරීමට වෘත්තිය සමිති සාකච්ඡාවක් කැඳවා තිබුණා. මේ වෘත්තිය සමිති රැස්වීම අවස්ථාවෙ දේශපාලන මැරයන් ආවා. ඔවුන් රැස්වීමට බලහත්කාරයෙන් පැමිණි අවස්ථාවෙ සේවකයන් විරෝධය පළ කරද්දි මැර ප්‍රහාරයකුත් එල්ල වෙලා තිබෙනවා. ඒ අවස්ථාවෙ වෘත්තිය සමිති ක්‍රියාකාරින්ට සහ රැස්වීමට සහභාගි වූ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා සහෝදරයා ප්‍රහාරයට ලක්ව රෝහල්ගතකර ප්‍රතිකාර කරනු ලැබුවා. අධිකරණ නියෝගයක් නොසළකා මනම්පිටියෙ වැලි ජාවාරම ආරම්භ කිරීමට සූදානම්ව ඒකට බාධාකාරිවන අයට පහර දෙන තත්වයක් දක්නට ලැබෙනවා.

මේ ආකාරයට පාරිසරික නීති, අධිකරණ නියෝග නොතකා විශාල පාරිසරික කොල්ලයට මාවත විවර කරමින් තිබෙන තතවයක් තුළ ඊට එරෙහිව පුලුල් පෙරමුණක කටයුතු කරන්නට, ඒ ක්‍රියාදාමය නැවැත්වීමට ජනතාව දැනුවත් කිරීමේ, සංවිධානය කිරීමේ අරමුණක අප ඉන්නවා. මේ සම්බන්ධ උනන්දු පරිසරවේදින් සමාජ ක්‍රියාකාරින්, බහුජන සංවිධාන සමග එක්ව වැඩ කිරීමට අපි උත්සාහ කරනවා.”

 

leave a reply