බාගෙට ඇරුණු දොරක් කියන්නේ බාගෙට වැහුණු දොරකට . ඒ හින්දා එහෙම පිටින්ම ඇරුණු දොරක් කියන්නේ එහෙම පිටින්ම වැහුණු දොරකට.
පිටුවහල් කර සිටිද්දී
අද භාෂා – සාහිත්‍ය – කලා ප්‍රශ්න සාකච්ඡාවට ගැනීම වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ කොතෙක් අර්ථවද්ද? මිනිස්කම් අගුපිලට තල්ලු වූ ජරපත් වූ සමාජයක් තුළ වෙසෙමින් ‘සංස්කෘතිය’ ‘සාරධර්ම’ ‘පුරුෂාර්ථ ‘ ආදිය ගැන කතා කිරීමේ තේරුම මොකක්ද ?
අපේ සමාජ මුහුණුවර අද අපේ සංස්කෘතිය දෙදරා යාම පෙන්නුම් කරන තල දර්පනයක් සේයි. අසත්‍යය සත්‍යය ලෙසත් අද අපේ සිත්වලට කාවද්දා ඉවරයි. අපේ පුරුෂාර්ථ සමුදායේ ගබ්සා වීමත් බලාපොරොත්තු සම්භාරයේ අකල් මරණයත් එක්ක අනාගතය ගැන මැවෙන්නේ බොඳ වූ සිහිනයක් පමණයි.
සංස්කෘතික කාන්තාරයක් කරා…
අජිත් තිලකසේන නම් වූ කෙටිකතා කරුවා, සංයුක්ත කවියා හා සිංහල භාෂාවේ නව අරුත්, නව මංපෙත් සොයා ගිය විශිෂ්ට නූතන සාහිත්‍ය කරුවා ගැන මේ දිනවල මුහුණු පොතේ කතාබහට ලක්වී ඇත. එයට නිමිත්ත වී ඇත්තේ යම්කිසි තරුණයෙක් අජිත්ගේ පොතක් මහරගම සරසවි බුක් ෂොප් එකෙන් මිලදී ගෙන, එම පොතේ අක්ෂරවල මුද්‍රණ දෝෂයක් තියෙනවා යැයි කියා එම පොත මාරුකර දෙන ලෙස ඉල්ලා ඇතිමුත්, බුක් ෂොප් එකෙන් කියා ඇත්තේ එය මුද්‍රණ දෝෂයක් නොව, අජිත් තිලකසේන මහත්තයා ඒ ලියන විදියයි කියායි. මේ ගැන වැටහීමක් නැති තරුණයා අජිත් තිලකසේනට යම් විවේචනයක් එල්ල කරමින් මුහුණු පොතට සටහනක් ලියා ඇත. මේ හේතුවෙන් අර තරුණයාට විරුද්ධව විවේචනයක්‌ද එල්ල කරමින්, අජිත් තිලකසේනගේ සාහිත්‍ය මැදිහත් වීම් ගැන ලිපි කීපයක්ම මුහුණු පොතේ සංසරණය වෙන්නට පටන්ගෙන ඇත.
එක අතකින් අර තරුණයා අජිත්ගේ සාහිත්‍ය භාෂාව ගැන නොදන්නා කමින් එවැනි සටහනක් ලියපු එක ගැන එම තරුණයාට ස්තුතිවන්ත වෙන්න ඕන, මොකද අජිත් ගැන ගොඩාක් දෙනෙක් දන්නේ නැති නිසා මේ සිද්දියෙන් පස්සේ අජිත් කියන සුවිශේෂී නිර්මාණ කරුවෙක් සිටිනවා කියන එක දැනගත් නිසා.
මේ වගේ තරුණයින් අජිත් තිලකසේන හා ඔහුගේ නිර්මාණ නොදන්නා එක මහා අරුමයක් නෙවෙයි. ඔය කැම්පස්වල උගන්වන ආචාර්යවරු, මහාචාර්යවරු බහුතරයක් අජිත් තිලකසේන ගැන තියා සාමාන්‍ය සාහිත්‍ය කරුවන්ගේ පොතක් පතක්වත් කියවලා නැති නිසා. නව පරපුරේ තරුණ තරුණියන්ට දොස් කියල වැඩක් නැහැ යාවත්කාලීන නොවූ මුළු අධ්‍යාපන පද්ධතියම කුණුවෙලා ඕජස් ගලද්දී.
අජිත් තිලකසේන මේ නරුමත්වය ගැන ‘ සංස්කෘතික කාන්තාරයක් කරා ‘ කියන පොත මුද්‍රණය කරන්නේ 1987 දී, ඒ ඔහු විසින් 1984 – 05 – 10 වෙනි දින තරුණ රසික පිරිසක් ඉදිරියේදී කරන දේශනයක් හරහායි.
ඔහු එදා කිව්ව දේ අදවන විට යතාර්ථයකටත් වඩා යතාර්ථයක් වී ඇති බව මේ නව පරපුරේ තාරුණ්‍යයේ මානසිකත්වය එයට සාක්ෂි දරයි. මේ මජර දේශපාලනය විසින් සහ එක තැන පල් වෙන මඩ ගොහොරුවක් බවට පත්කර ඇති යල් පැනගිය අධ්‍යාපන සිස්ටම් එක විසින් අපට උරුමකරදී ඇත්තේ කිසිම නිර්මාණශීලිත්වයක් නැති, සිතීමට අගුළු දමා ඇති මන්දමානසික පරපුරක්ය. අවස්ථාවාදී, මජර, තක්කඩි දේශපාලකයින්ට අවශ්‍යව ඇත්තේද බුද්ධිහීන මෙවැනි පරපුරක්ය.
ඉතිං අපි අඬන්නටවත්, අරගල කරන්නට අවශ්‍ය නැහැ, රැවටීම අපගේ ජීවන විලාසිතාවක් නිසා.
අජිත් තිලකසේන විසින් තිර රචනය කරන ලද, ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කල “පාරදිගේ ” චිත්‍රපටයේ දෙබස් ඛණ්ඩයක් තියෙනවා මෙහෙම,
අපි හරියට වීසි කරපු එරඬු දඬු වගේ, දළු එනවා. මුල් නැහැ.
මේ දෙබස් එදා වගේම අදටත් එහෙමම වලංගු වන්නේ අපේ පෙර කළ පව් නිසාද අපේ හාමුදුරුවවනේ…?