අනේ අපි හිරිවැටුණට සුදු නෙළුම් පිපෙයි තවමත් සොර බොර වැවේ

Date:

මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ
වැවට කලුවර යා වුනා

සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා
සුදු නෙළුම කෝ….

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

රත්න ශ්‍රී විසින් රචනා කරපු පණ්ඩිත් අමරදේව ගායනා කරන මේ ගීතය රචනා වෙලා දැන් දශක දෙකහ මාරකට වැඩි කාලයක් ගත වෙලා තියෙනව.ඔබ මේ ගීතය රස විඳලා ඇති.රසවින්දන වැඩසටහන් වල දී මේ ගීතය රස වින්දනය සඳහා තෝරා ගන්නවා . ඒ බොහෝ අවස්ථාවලදී කථකයන් ප්‍රකාශ කරනවා මේ ගීතයේ පසුබිම් කතාව. ගීත පිළිබඳව කතා කරන හැම තැනකදිම වගේ රත්න ශී විජේසිංහ මේ ගීතයට පසුබිම් වෙච්ච ඒ කතන්දරය කියනවා. අසන්නෝ ඒ කතාවට සංවේදී වෙනවා. දුක්බර ඇස් බිම තියාගෙන මේ කතාවට ඉතාමත් සාවධානව සවන් දෙනවා.

මොකක්ද මේ කතාව.

මහියංගනය පැත්තෙ දුප්පත් දරුවෙක්ට වෙච්ච ඉරණමක් මේ ගීතය ඇතුලෙ තියෙන්නෙ. අන්ත දුගී අසරණ පවුලක මේ දැරිය තමන්ගේ පාසල් ගමනට අවශ්‍ය කරන ආම්පන්න ටික ලබාගන්න නෙලුම් මල් කඩල විකුනනවා . මේ අවාසනාවන්ත දවසේ වර්ෂාව හේතුවෙන් වැවේ වතුර වැඩිවෙලා දරුවා සැඩපහරට හසුවී මිය යනවා .ඇගේ පවුලේ දුප්පත්කමේ ප්‍රමාණය කියන්න මේ ගීතය කතා කරන හැම අවස්ථාවකදිම දැරියගේ මළ මිනිය තිබුණු තාවකාලික යාලත්ත ගැනත්, අන්දපු ඇඳුම පිළිබඳව සහ ඇගේ නිවසේ ප්‍රමාණය කියනවා . සමස්ත කතාව අසන්නා හෝ ප්‍රේක්ෂකයා දුකට පත්වෙලා අඬන්න ඔන්න මෙන්න කියන තැනට පත්කරනවා, නැත්නම් අඩවනවා.

ගීතයේ දෙවැනි කතාවේ හැටියට රත්න ශ්‍රී විජේසිංහ තවත් කතාවක් කියනවා. අමරදේවගෙ ප්‍රසංගයකදී මේ ගීතය පිළිබඳ විස්තරය කියලා ගායනා කළට පස්සේ ඕඩියන්ස් එක ඇඩුවා කියන කතාව. අර දැරියගේ මරණය සිදු වෙච්ච වෙලාවෙ ගමේ මිනිස්සු දහයක් පහළොවක් තමයි ඉඳලා තියෙන්නේ. ඒ සුළු පිරිසටත් මරණය ගැන කම්පනයක් ඇතිවෙලා නැහැ. ඔවුන් දුකට පත්වෙලා නැහැ, අඩල නැහැ. එහෙම වෙන්න ඇත්තෙ ඇයි? අපට හිතන්න වෙන්නේ ඒ ගමට මෙවැනි සිද්ධීන් සාමාන්‍ය දේවල් බවයි. ඔවුන්ගේ හදවත කම්පන සීමාවෙන් ඔබ්බට ගමන් කරල හිරි වැටිලා තියනවා කියන එකයි. ඒ නිසා ඔවුන්ට මෙවැනි මරණ තව දාහක් සිද්ධ වුණත් කම්පනයට පත් වෙන්න අඬන්න ඇස් දෙකට කඳුළු නැහැ.

ඉතින් අමරදේවගෙ ප්‍රසංගය නරඹපු ඒ ඕඩියන්ස් එක ඇයි ඇඬුවේ? එහෙම වුනේ මුලින්ම ගීතයට අදාල කතාව කියලා ‍ප්‍රේක්ෂකයාව ප්‍රේම් කරපු නිසයි. ඔය කියන ප්‍රේක්ෂකාගාරය කෙනෙක්ට මේ දැරියව වැරදීමකින් හෝ සජීවීව හමුවුනොත් ඇය කෙරෙහි අනුකම්පාවක් උපදී ද. අපි දන්නා අයුරින් එහෙම වෙන්නේ බොහොම කලාතුරකින්. කොටු කරලා දෙන තැනක කම්පනය වෙන්න දැන් අපේ සමාජය මාර දක්ෂයි.

මේ ගීතය දෙවැනි කතාවෙන් කියැවෙන ආකාරයට අපේ සමාජය මේ කියන තරම්ම කම්පනය ඇති වෙන සමාජයක් ද? ඔබ මේ ලිපිය කියවන මොහොත වන විට අසාමාන්‍ය මරණ තුනක් සිදු වෙලා තියෙනවා.

  • පළමු මරණය පැහැරගත් ත්‍රීවිල් රථය මුදාගන්නට, කරුණු ඉදිරිපත් කරන්න, මුල්‍ය ආයතනයකට ගිය ත්‍රීවිල් රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ මරණය.
  • දෙවන මරණය ‘ශ්‍රීලන්කන්’ සමාගමේ විධායක නිලයක කටයුතු කළ, පසුකාලයක ඒම ගුවන් සමාගමේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කිරීම නිසා රටේ අවධානයට ලක්වුණු රජීව ජයවීරගේ මරණය
  • තුන්වන මරණය ජුනි මස 09 වෙනිදා කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79 මුදල් මංකොල්ලය වැළැක්වීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියා රිය අනතුරකින් මරණයට පත් උනා කියන සිද්ධිය.

මේ මරණ තුනටම අදාළව ජනතාවට ඒත්තු ගන්වන්න අවශ්‍ය කරන සාමාන්‍ය මරණ යයි කියන්න පුළුවන් කරුණු මේ මරණ තුන ඇතුලෙම තියෙනවා. ඒවගේම මෙම මරණ තුන ඇතුලෙම තියෙනවා රජ්‍ය ක්‍රියාවලියේ හොර මැර දූෂිත වංචා වලට එරෙහිව ක්‍රියා කරපු පුද්ගලයෝ කියන කරුණ.මේ මරණ වලට අදාළව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීම නීතියේ වැඩක්. හැබැයි මේ පවතින නීතිය මෙතෙක් ක්‍රියා කර තිබෙන ආකාරය අනුව ඒ කෙසේ සිදුවේ දැයි කියලා අපිට හිතන්න බැහැ.

උදාහරණ විදිහට කියනවනම් එසේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙච්ච මරණ කිහිපයක් ඔබට මතක් කරන්න පුළුවන්.

  • ලසන්ත වික්‍රමතුංග ඝාතනය
  • එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
  • අසිත සිසිත දෙදෙනාගේ මරණය
  • තාජුඩීන් ඝාතනය

මේ මරණය සියල්ලම මිනිමැරුම්, ආණ්ඩු කීපයක් මාරු වුණත් ඔවුන්ගේ මරණ වලට වරදකරු වෙන කිසිවෙක් තවම තහවුරු කරලා හෝ ඊට අදාලව හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරල නෑ. මේ කතාවෙ අරමුණ නීතිය ගැන හෝ මෙම මරණ පිළිබඳව වගකිව යුත්තේ කවුද කියන එක පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීම නෙමෙයි. අපේ සමාජය මේවා හමුවේ ඉන්නේ කොතැනද කියන එක පිළිබඳව මඳක් සිතා බැලීමට පෙළඹවීමයි.

මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ
වැවට කලුවර යා වුනා

ඒ සඳහා ගන්න පුළුවන් හොදම උදාහරණය තමයි මේ ගීතය හා බැඳුන කතාව. මේ ගීතයේ සංවේදී කතාවට අමරදේවගෙ ප්‍රේක්ෂකාගාරය කම්පනයට පත්වෙනවා. හැබැයි ගමේ මිනිස්සු ඒ තරම් කම්පනයක් මේ සිද්ධියෙන් ඇති කරගන්නේ නැහැ. අපි කලින් කිව්වා ආකාරයටම ඒ මිනිස්සුන්ට එක සාමාන්‍ය දෙයක්. වත්මන් අපේ මිනිස් සමාජය හිරිවැටුනු සමාජයක්.

දැන් ඔන්න අලුතෙන් මරණ රැල්ලක් පැමිණෙමින් තියෙනවා. රාජ්‍ය මර්දනය පොලිසිය හරහා ක්‍රියාත්මක කිරීම කරමින් ඉන්නවා. සියල්ල බලාගෙන අපේ සමාජය වෙනදා සුපුරුදු විදිහටම තමන්ගේ එදිනෙදා කටයුතු කරමින් ඉන්නවා. මේ සමාජය හිරි වැටිල නොතිබුනේ නම් මේ වන විට කම්පනයට පත් වෙන්න ඕනේ.අනෙකා වෙනුවෙන්, ජීවිතේ වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, නිදහස වෙනුවෙන්,බහුතරයක් මිනිස්සු පාරට එන්න ඕනේ. හැබැයි ඒක එහෙම නොවෙන්නේ ඇයි.

ඉහත ආකාරයටම මේ ගීතයේ ප්‍රේක්ෂකාගාරයේ මිනිස්සු වගේම අපේ සමාජය මේ වන විට කම්පනය වෙන්න පුරුදු වෙලා තියෙන්නේ රාමුවකට දාලා අවශ්‍ය කරන උත්තේජනය ලබා දුන්නොත් පමණයි. එක බොහොම තාවකාලිකයි . කතාබහ අවසාන වෙන මොහොතේම ඒ කම්පනය අවසාන වෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා  බලන් ඉන්න.  තව තවත් මිනී එකතු වෙනකන් අපේ සමාජය ස්වයංව කම්පනය වෙන මොහොත ළඟා කර ගන්නකං.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...