ඉරානය පුරා කාන්තාවන්ගේ මුලිකත්වයෙන් ඇවිල යන විරෝධතා එරට නගර කිහිපයක් පුරාම ඇවිල යමින් පවතිනවාට අමතරව වෙනත් රටවලට ද පැතිර යමින් පවතියි. ඉරානය පුරා මෙවැනි විරෝධතා රැල්ලක් ඇතිවීමට බලපෑවේ මෙම නීතිය කඩ කළ බවට චෝදනා කරමින් 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනි අත්අඩංගුවට ගැනීම සහ අත්අඩංගුවේදී ඇය මරණයට පත්වීමයි
පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ රෝහලේදී මිය ගොස් තිබුණි.
කෙසේවෙතත් මෙම නීතිය කඩ කළ බවට චෝදනා කරමින් කාන්තාවන් අත්අඩංගුවට ගැනීම් පසුගිය ඉතිහාසය තුළ දිගින් දිගටම වාර්තා වී තිබේ. එපමණක් නොව අත්අඩංගුවේදී එම කාන්තාවන් මරණයට පත්වූ අවස්ථාද බොහොමයක් පවතියි. එසේම මෙම නීතියට එරෙහිව කාන්තාවන් විශාල වශයෙන් විරෝධය දැක්වූ පළමු අවස්ථාවද මෙය නොවේ.
මොකක්ද මේ නීතිය?
1979 ඉස්ලාමීය විප්ලවයේ සිට ඉරානයේ කාන්තාවන්ට හිජාබය පැළඳීම අනිවාර්ය කර ඇත. “නුසුදුසු” ඇඳුම් පැළඳුම් ඇති පුද්ගලයින් නිරීක්ෂණය සඳහා වෑන් රථවලින් වීදිවල සැරිසරන ඉරාන සදාචාර පොලිසිය විසින් මෙම ඇඳුම් නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරයි. ඒවා මාර්ගෝපදේශ මුර සංචාර ලෙස හැඳින්වේ. ඉරාන සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ හිජාබය පැළඳීමකින් තොරව පාසලට යාම හෝ රැකියාවක් ලබාගැනීමට බැරිවී ඇති බවයි.
නමුත් අත්අඩංගුවට පත්වීමේ තර්ජනය නොතකා, මිලියන සංඛ්‍යාත ඉරාන කාන්තාවන් හිජාබයට ක්‍රියාකාරීව විරුද්ධ වන අතර, බොහෝ පිරිසක් එය ලිහිල් ලෙස හිස වටා පැළඳ සිටින අතර බොහෝ විට හිස වසා සිටින රෙදි කඩ ඔවුන්ගේ උරහිසට වැටෙන්නට සලස්වයි.
හිජාබය අනිවාර්ය කිරීමට එරෙහි විරෝධතා ඇතිවීම ආරම්භ වූවේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කොමේනි 1979 දී කාන්තාවන් ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් නීති පිළිපැදිය යුතු යැයි ප්‍රකාශ කිරීමත් සමඟයි. ඔහුගේ අදහස් නිර්දේශයක් පමණක් බව රජය ප්‍රකාශ කරන ලදී. නමුත් එය 1983 දී නීතියක් බවට පත් විය.
එතැන් පටන් හිජාබයට එරෙහි විරෝධතා වරින් වර අඛණ්ඩව පැවතුන අතර, අද අප දකින විරෝධතාවලදී කාන්තාවන් කොණ්ඩා කපා දමමින් හිස් ආවරණ පුළුස්සා දමමින් විරෝධය දක්වමින් සිටියි.
ඉස්ලාමීය විප්ලවයට පෙර බොහෝ ඉරාන කාන්තාවන් හිජාබය පැළඳ සිටිනු දක්නට ලැබුණි. ඔවුන් එසේ කළේ සම්ප්‍රදාය, අනන්‍යතාවය, ආගමික ප්‍රකාශනය හෝ පවුලේ පීඩනය නිසා වැනි විවිධ හේතු නිසාය.
කෙසේ වෙතත්, ඉරාන කවියෙකු සහ මාධ්‍යවේදියෙකු වන Asieh Amini ට අනුව, අද ප්‍රධාන ගැටළුව වන්නේ කාන්තාවන්ට හිජාබය පැළඳීමට බල කිරීම, ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් නීති කඩ කිරීම නිසා ඔවුන්ට පහර දීම හෝ සිරගත කිරීම් සිදුකිරීමයි.
ඉරාන සමාජ ක්‍රියාකාරීන්ට අනුව, වර්තමාන හිජාබ් නීතියේ තවත් ගැටළුවක් වන්නේ ඉරානයේ විවිධ ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් විසින් අඳින විවිධ ඇඳුම්වලට ගරු නොකිරීමයි. මුහුණ පමණක් නිරාවරණය වන විශාල රෙදි කැබැල්ලක් වන කළු රෙදි කඩකින් හිස වාසිය යුතු බව රජයේ නීතියයි.
ඉරානය යනු පර්සියානුවන්, කුර්දි ජාතිකයන්, අසර්බයිජානියානුවන්, ලූර්ස්, ගිලාකිස්, අරාබිවරුන්, බලුචි සහ ටර්ක්මෙන්ස් අඩංගු මිශ්‍ර සමාජයකි. සෑම කෙනෙකුටම තමන්ගේම සාම්ප්‍රදායික ඇඳුම් ඇති අතර විවිධ ආකාරවලින් හිජාබය පැළඳම සිදුකරයි. මෙහිදී කළුවලට අමතරව ඇතැම් කාන්තාවන් විවිධ වර්ණ, රටා සහ මෝස්තර සහිත රෙදිවලින් හිස වැසීම සිදුකරයි. නමුත් ඉරාන හිජාබ් නීතිය තුළ මෙයට ඉඩක් නැත.
විරෝධතාවල දැන් තත්ත්වය
කෙසේවෙතත් විවිධ නගරවලදී ඉරාන පොලීසිය අරගලකරුවන් අතර ඇතිවූ ගැටුම්වලදී විශාල පිරිසක් මියගොස් තිබේ. ඇතැම් නගරවලදී විරෝධතාකරුවන්ට පොලීසිය විසින් වෙඩි තබා තිබුණි. නමුත් විරෝධතා සමනයවන බවක් දක්නට නොලැබේ. ඉරානය තුළ සමාජ මාධ්‍ය තහනමක් ද ක්‍රියාත්මක වෙමින් පවතියි. කෙසේවෙතත් දේශපාලන විචාරකයන් පවසන්නේ මෙම විරෝධතා පිටුපස හිජාබ් නීතියට එරෙහි විරෝධයට අමතරව ආණ්ඩුව ජනතා ප්‍රශ්න අමතක කිරීමේ ප්‍රශ්නයත් ගැබ්ව පවතින බවයි.