තිලිනා වීරසිංහ සමඟ ඇගේ නිර්මාණ ජීවිතය පිළිබඳව කළ සංවාද සටහන
ඔබගේ ලේඛන දිවියේ ආරම්භය සිදුවුණේ කෙසේද..
මං බෙහෙවින් කුඩා අවදියෙයි ලියන්න පටන් ගන්නෙ.මා ලියූ රචනා මගේ තාත්තා ළමා පුවත්පත් වලට යොමු කරා.ඔහු තමා මගේ ලේඛන කුසලතා ඔපවත් කළේ හා පුවත්පත් කලාවට අවතීර්ණ වෙන්න මං පෙත් සැකසුවෙ.
වයස අවුරුදු 15 පමණ වන විටම මට පුවත්පත් කලාවේදිනියක් වීමේ හා පීඩිත මිනිසුන් වෙනුවෙන් ලිවීමේ ලොකු අභිලාෂයක් සිහිනයක් තිබුණා.ඒ එවකට අප ඇසුරු කළ පරිවර්තන සාහිත්‍යය, විශේෂයෙන් රුසියානු සාහිත්‍ය විසින් ඇති කළ උද්දීපනය නිසා විය හැකියි.
ඒ නිසා මම උසස් පෙළ විද්‍යා හා වානිජ්‍ය ධාරා විෂයයන් වෙනුවට කලා විෂයයන් හදාරන්න තීරණය කරද්දී මගේ තාත්තා දැඩිව විරුද්ධ වුනත් මම කලා විෂයන් හදාරන්න පටන් ගත්තා.
එහිදී උසස් පෙළ සිසුවියන් ට පුවත්පතක් සම්පාදනය කරන්න අපේ සිංහල විෂය භාර ජයවතී ජයසිංහ ගුරු මෑණියන් මග පෙන්නුවා.මා එහි සංස්කාරකවරිය ලෙස වැඩ කළා.
අප පාසැලින් පිට වන විට දේශපාලන භීෂණය තුළ විශ්ව විද්‍යාල වසා දමා තිබුණා.ඉතින් මා ස්වාධීන පුවත්පත් කලාවේදිනියක් ලෙස මගේ ලේඛන දිවිය ඇරඹුවා.
ඔබ 2003 වසරේ ප්‍රකාශයට පත් කළ මදුසමය අහිමි මංගල්‍යය සහ 2024 වසරේදී පරිවර්තිත ඒ කෘතිය පිළිබද සදහන් කළොත්….
මදුසමය අහිමි මංගල්‍යය මගේ සිව්වන ප්‍රබන්ධයයි.එයට පාදක වෙන්නෙ ගෘහස්ත විවාහක ප්‍රචණ්ඩත්වට එරෙහිව හා දැරියන් හා ස්ත්‍රීන්ට එරෙහි බලහත්කාරී ලිංගික හිංසනයට එරෙහිව සමාජය තුළ හඩක් නැංවීමයි.
මදුසමය අහිමි මංගල්‍යය කියන්නෙ මීට දශක දෙකාහාමාරකට පමණ පෙර එවන් විෂය ක්ෂේත්‍රයක් පිළිබද තමන්ගෙ අත්දැකීම් ඇසුරින් ලංකාවෙ ප්‍රබන්ධකරණය හරහා සමාජ සංස්කෘතික හා නෛතික සංවාදයක් ගොඩ නංවන්න ගත් මුල් වෑයමක සනිටුහනක් කියා.
ඒ පිළිබද නිසි කියවා ගැනීමක් නිසි අවධානයක් යොමු නොවුනත් 2020දීත් මා මෙය නැවත ප්‍රකාශනය කරමින් නව සංවාදයක් ගොඩ නංවන්න උත්සාහ කළා.නමුත් දශක දෙකකට පසුව පවා අපේ සමාජ සංස්කෘතික සිතීම්හි වන පටු හා රළු බව විසින් මේ සංවාදය යටපත් කළා.
2024 දි මදුසමය අහිමි මංගල්‍යය ඉංග්‍රීසි බසින් පරිවර්තනය කර ඇමසන් වෙබ් අඩවියෙහි ඊ ප්‍රකාශනයක් ලෙස පළ කරන්නට මා උත්සාහ කළේ එය මතු පරපුරක් දේශ සීමාවන්ගෙන් ඔබ්බේ කියවා ගනිමින් එහි අරුත් සමග නව සංවාදයක් ගොඩ නගයි යන අරමුණින්.
ඔබ විසින් රචිත අනෙකුත් කෘති පිළිබද යම් සදහනක් කරන්නේ නම්…
‘නාදුනන ගැහැනිය’ මගේ මුල්ම නිර්මාණ ප්‍රබන්ධයයි.එහි එන මුල් කතා 5ක් 1995දි මං ලිව්වෙ ශ්‍රී ජයවර්ධන පුර සරසවියෙ ලේඛකත්ව හා ජනසංනිවේදන පශ්චාත් උපාධියේ නිර්මාණාත්මක නිබන්ධනය ලෙසයි.එය මුද්‍රණය කරන්න සියල්ල සැලසුම් කර කවරය පවා නිර්මාණය කර මුද්‍රණාලයට භාර දී තිබියදී 1996 ජනවාරි අග මහ බැංකුවේ බෝම්බය පුපුරා යාම සමග ඇතිවූ කම්පනය ‘නාදුනන ගැහැනිය’ ලිවීමට පෙළඹුවා.
යුද්ධය තුළ රහසේ වළලන ජීවිත…හදුනා නොගන්නා මළ සිරුරු පිළිබද සමාජ දේශපාලන කතිකාවක් ගොඩ නංවන්නයි ඒ හරහා 1996දී මා උත්සාහ කළේ.2014දී එය නැවැත මුද්‍රණයෙදි ‘හුදකලා සටහන්’කියා තව ප්‍රබන්ධයක් එක් කරා.
විකල්ප දේශපාලන අදහස් ප්‍රකාශනයක් ගොඩ නංවමින් අපේ සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික පීඩනයට එරෙහිව සමාජ කතිකාවක් ගොඩ නැංවීමේ අරමුණින් මං ලියන්නේ. කොළඹ සරසවියෙ දේශපාලන විද්‍යා විශේෂවේදී උපාධියයි මං හැදෑරුවෙ .මගෙ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වට එරෙහිව හඩක් නංවන්න මං දශක ගණනාවක් පුවත්පත්කලාව හා ප්‍රබන්ධකරණය හරහා වෑයම් කරනවා.මගේ ලේඛනය දේශපාලන සමාජ සංවාදයක් උදෙසායි.
නාදුනන ගැහැනියගේ සිට 1997 පිටුවහල් කළ තරුණිය,1999 ආදරණිය දෙවියන්වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය ,මදුසමය අහිමි මංගල්‍යය වගේම දැනට මං අවසන් වරට 2008දී ප්‍රකාශයට පත් කළ සමනල මරණය දේශපාලන සංස්කෘතික ප්‍රචණ්ඩත්වට එරෙහි සංවාදයන්.
විශේෂයෙන් සමනල මරණය වාර්ගික ප්‍රචණ්ඩත්වට එරෙහිව සමාජ සිතීමකට දොරටු විවර කරනවා.
මං සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වට එරෙහිව පෙනී ඉන්නවා.විශේෂයෙන් වාර්ගික හා දරුවන්ට ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වට එරෙහිව හා හඩක් නැති මිනිසුනට හඩක් නැංවීමට සහය වීමට පෙනී සිටිනවා.
ඔබගේ කෘති වලට ලද ප්‍රතිචාර පිළිබද තෘප්තිමත්ද… මගේ ප්‍රබන්ධ කියන්නෙ සමාජ දේශපාලන පීඩනයට දේශපාලන සංස්කෘතික ප්‍රචණ්ඩත්වයට එරෙහි සමාජ සංවාදයක් ගොඩ නැංවීමේ වෑයමක් කියා මා කලින් සදහන් කළා.ඉතින් ප්‍රතිචාර රළු වුනත් මගේ අරමුණු අත් හරින්න බැහැ. ඉතාම ඍණාත්මක මුග්ධ හා රළු ප්‍රතිචාර හෝ නිහඩ උදාසීන නොතකා හරින සුලු හෝ ප්‍රතිචාර මගේ ලේඛනය ලැබුවා නම් එය පැහැදිලි දේශපාලන සංඥාවක් සපයනවා අපේ මනෝ සමාජීය දේශපාලනය පිළිබද..
එය මට එරෙහි සැහැසි හෝ නිහඩ ප්‍රතිචාරයක් නෙමෙයි ..එය මා ඉස්මතු කරන සමාජ දේශපාලන සංස්කෘතික නිරුවත පිළිබද සමාජ කියවීම හා සමාජ දෘෂ්ටිය පිළිඹිඹු කරනවා.
විවිධ අභියෝග හා දුෂ්කරතා හිංසා නොතකා සෑම ආකාරයකම වන ප්‍රචණ්ඩත්වට එරෙහිව සමාජ කතිකාවක් ගොඩ නංවන්න මං තවමත් අරගල කරනවා.
වර්තමානයේ අපේ ඉදිරි පරපුර මගේ විකල්ප සාහිත්‍ය ප්‍රවේශය හා අරමුණු යම් ආකාරයකින් ස්පර්ශ කරමින් වටහා ගන්න උත්සාහ කිරීම සතුටක්.
වර්තමාන සාහිත්‍යය නිර්මාණ පිළිබදව ඔබගේ ඇගයීම…
අද විශ්වය බෙහෙවින් සමීපව යාවී තිබෙනවා.අපේ ඉදිරි පරපුරට බොහෝ මංපත් හා දියුණු තාක්ෂණයක් ඔස්සේ නිර්මාණ කළ හැකි අවකාශයන් විවරව තිබෙනවා.විවිධ මතවාද,දෘෂ්ටීන්,අත්දැකීම් නිර්මාණ ඇසුරු කරන්න අවස්ථා පුලුල් වී තිබෙනවා.
දැනට දශක දෙකකට පෙරදීට වඩා අද බොහෝ නිර්මාණ හා ප්‍රකාශනයන් එළි දැක්වෙනවා.එය සතුටක්.
මා අන් අයගේ නිර්මාණ හා අදහස් ප්‍රකාශනයන් පිළිබද විනිශ්චයන් දෙන්නෙ නැහැ.සෑම අයකුම කැමතියි තම දැක්ම හා අත්දැකීම් තමන්ට ආවේණික රටාවෙන් ප්‍රකාශ කරන්න.
අදහස් ප්‍රකාශනය අතිශයින් මානවීය අයිතියක්.අනෙකා තුළ තිබෙන ප්‍රකාශනය හා රිද්මය අප වටහා ගන්න උත්සාහ ගත යුතුයි.
අපේ මතු පරපුර මානවීය ප්‍රකාශනයේ.. නිර්මාණකරණයේ.. විවිධ අත් හදා බැලීම් කරමින් මානවීය වින්දනය හා පැවැත්ම සුරක්ෂා කරමින් මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් වඩා ඉදිරියට පිය මනීවි කියා අපේක්ෂා කරනවා
ඔබගේ ඉදිරි නිර්මාණ ගැන යමක් සදහන් කරන්නේ නම්…
දශක කිහිපයක සිට අපේ සමාජ සංස්කෘතික දේශපාලනයේ පීඩනයට එරෙහිව මතවාදීව මැදිහත් වීමේ මගේ ලේඛනය සමාජ ගත කිරීමේ වෑයම තුළ මා අඛණ්ඩව නිරතව සිටිනවා.ලියන කෘති ගණන සංඛ්‍යාත්මකව වැඩි කරලීම නෙමෙයි මගේ අරමුණ.මගේ අදහස් ප්‍රකාශනයෙන් ඉස්මතු කරන ලද සංවාදය දෘෂ්ටිමය හා ප්‍රමාණාත්මක වශයෙන් සමාජ ගත කිරීම සදහායි මා වෙහෙසෙන්නේ.
ඒ වගේම මෙම නිර්මාණාත්මක සංවාදය අපේ දමිළ සහෝදරත්වය සමග හා ජාත්‍යන්තර වශයෙන් බෙදා ගැනීමේ අරමුණින් මගේ ප්‍රබන්ධ දමිළ හා ඉංග්‍රීසි භාෂාවන්ට පරිවර්තනය කරවා ගැනීමේ උත්සාහයකත් නිරත වෙනවා.
මගේ අදහස් සමාජ ගත කරන්න අවකාශ සලසා දීම පිළිබද ඔබ හා ලංකා ඩේලි මේල් වෙබ් අඩවියට මගේ ආදරණිය ස්තූතිය පුද කරනවා.
තිලිනා වීරසිංහ
2025 .12.29










