Breaking News

ජනාධිපති වගේ වැටුප් පරිත්‍යාග කරන්න ගියොත් රාජ්‍ය සේවකයන්ට කන්න වෙන්නෙ පොළොවේ පස් – සංජිව බණ්ඩාර

ජනාධිපතිවරයා මෙන් රාජ්‍ය සේවකයන් වැටුප් පරිත්‍යාග කළහොත් රාජ්‍ය සේවකයන්ට පොළොවේ පස් කෑමට සිදුවන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජිව බණ්ඩාර පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ ජනාධිපතිවරයට වසර 10 ක 15ක වැටුප් පරිත්‍යාග කළ හැකි වුවත් රාජ්‍ය සේවකයන්ට දිනක වැටුප හෝ පරිත්‍යාග කිරීමේ ආර්ථික මට්ටමක නැති බවයි.

“ජනාධිපතිවරයා මාස තුනක වැටුප පරිත්‍යාග කරලා කියන්න හදන්නෙ රාජ්‍ය සේවකයන්ටත් එහෙම දෙන්න කියලා. ජනාධිපති මාස තුනක වැටුප පරිත්‍යාග කරා කියලා ජනාධිපතිගේ පවුලේ උදවියට හිඟා කන්න සිද්ධ වෙනවද? ජානධිපතිවරයාට මාස තුනක නෙමෙයි අවුරුදු 10 ක 15ක වැටුප පරිත්‍යාග කරන්න හැකියාවක් තිබුනට රාජ්‍ය සේවකයා තමන්ගේ වැටුප පරිත්‍යාග කරොත් කන්න වෙන්නෙ පොළොවේ පස්.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර රාජ්‍ය සේවකයන්ගෙන් වැටුප ඉල්ලපු වෙලාවේ මැති ඇමතිවරු කිව්වෙ එක ජනාධිපති ලේකම්කොවරයාගේ පෞද්ගලික ආයාචනයක් කියලා. ඒත් සබරගමුව පළාත් සභාවේ සේවකයන්ට ඔවුන්ගේ දිනක වැටුප පළාත් සභාවට ලබාදෙන්න කියලා නියෝග කරනවා. රට පුරා රාජ්‍ය සේවකයන්ගේ වැටුප කොල්ලකන වැඩපිළිවෙලක් ක්‍රියත්මක වෙනවා. පාසල් මට්ටමින් විදුහ්ලපතිවරුන්ට බලපෑම් කරලා ගුරුවරුන්ගේ වැටුප් ලබා ගැනීමට උත්සාහ කරනවා. අද කොරෝනා වසංගතය නමින් වැටුප් ලබාගෙන හෙට දිනයේ එන සෑම ව්‍යසනයක් අවස්ථාවේම රාජ්‍ය සේවකයන්ගේ වැටුපට අත තියන්න නියමිතයි. ආණ්ඩුව ආර්ථික අර්බුදයක ඉන්නවනම් එකට වගකියන්න ඕනා මේ රටේ සාමාන්‍ය ජනතාව නෙමෙයි. ආර්ථිකය වැටීමට හේතුව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා.

පෞද්ගලික අංශයත් කියමින් ඉන්නවා තමන්ගේ ව්‍යාපාරවලට හානි වෙලා නිසා වැටුප් ගෙවන්න බැහැ කියලා. පෞද්ගලික සමාගම් කම්කරු ඇමතිවරයාත් එක සාකච්ඡා කරලා රු 14500ක් ලබාදෙන්න පොරොන්දු වුවත් ලබාදෙන්නෙ රු 6000ක් 7000ක් වගේ මුදලක්.

ධන කුවේරයන්ට ණය සහන ලබදෙනකොට රාජ්‍ය සේවකයන්ට ණය සහනයක් ලබාගන්න අවස්ථා කිහිපයක් ඉල්ලන වුණා. එය ලබාදෙන්නෙත් ලක්ෂ 10ට අඩු ණය මුදල් සඳහා පමණයි.

අපි දැක්කා වසංගතය නොතකා රු 5000 ගන්න මිනිස්සු පොර කෑවා. ඒක තමයි මේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය.

මීට අමතරව පාසල් පද්ධතියේ සිදුවූ පසුබෑම නිසා අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී තිබෙනවා අන්තර්ජාලය හරහා විෂය කටයුතු ආවරණය කරන්න කියලා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා යුතුයි. නමුත් ඒ සඳහා යොදාගන්නා ක්‍රමය අධ්‍යාපනයේ මූලධර්මවලට පටහැනි නොවිය යුතුයි. කිසියම් ක්‍රමයක් අනුගමනය කරනවානම් ඒ ක්‍රමවේදයට සියලු දෙනාට ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුයි. online අධ්‍යාපන ක්‍රමය අධ්‍යාපනයේ තියෙන විෂමතාවය තවත් තීව්‍ර කරන්න බලපාලා තියෙනවා. අපි වසංගත කාලෙත් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා කියලා ආණ්ඩුවට උදම් අනන්න පුළුවන්. නමුත් ඒකෙන් සිද්ධ වෙන හානිය බරපතලයි.”

leave a reply