යකඩෝ මෙහේ දිව්‍යලෝකෙයි අපායයි දෙකම එකයිනේ

ඔන්න එකෝමත් එක රටක දේශපාලකයෙක් මෙලොව පින් අහවර වෙලා එලොව ගියාලු. ඉතින් මෙලොවින් චුත වෙලා උන්නැහැ එහෙ ගිහින් පහල වුනු තැන ඉන්නවලු සිකුරුටි කෙනෙක් වගේ දොරටුපාලයෙක්. අතක් පාතක් කියන්න දන්නේ නැති නිසා උන්නැහැ දොරටුපාලට කිට්ටු කරලා ඇහුවලු ..”මේ මල්ලී මම යන්න ඕන කොතනටද?” කියලා.

දොරටුපාල දෙකට තුනට නැමිලා කීවලු

“ඔබතුමාට කැමති තැනක් තෝරගන්න පුළුවන්. මේ තියෙන්නේ පාර. කැමති ඕනම දිශාවකට යන්න පුළුවන්.”

මේ පාර දෙකට බෙදිලා දෙපැත්තකට යන විදියටලු පිවිසුම් දොරටුව තිබුනේ. එක පැත්තකට ඊතලයක් ඇඳලා නම් කරලා තිබුණේ දිව්‍ය ලෝකය කියලා. ඉතින් උන්නැහැ පොඩ්ඩක් ඒ පැත්ත එබිලා බලපුවාම හරිම සුන්දර ශාන්ත පරිසරයක දිව්‍ය පුත්‍රයෝ බොහොම සතුටින් නිහතමානීව ආචාරශීලීව සිනා මුසු මුහුණින් කතා බහ කර කර ඉන්නවලු. දිව්‍යාංගනාවෝ දිව්‍ය උයන් වල මල් නෙලනවලු. හැමතැනම දිව්‍ය බෝජන සුවඳ පැතිරිලා. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන දිව්‍ය සළු පිලි ඇඳගෙන දිව්‍ය මාලිගාවල හැමෝම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවාලු. ඒ ගමන එතුමා හිතුවලු  ‘”මම කරලා තියෙන දේවල් වල හැටියට පුදුමයි මෙහෙම දිව්‍ය ලෝකෙට ආ එකත්. අවුලක් නෑ. එහේ හිටියා වගේම ආතල් එකේ මෙහෙත් ඉතිරි ජීවිත කාලේ ඉන්න බැරියැ . කෝකටත් අනිත් පාර කොහේටද යන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕන”’… කියලා ඒ පාර ගාවට ගියාලු.

ඒක නම් කරලා තිබුනේ අපාය කියලාලු. “අපායට යන්න මට පිස්සුයැ. මේ දෙකෙන් ඕන එකක් තෝරගන්න කියලානේ උපදෙස් ලැබුනේ කියලා හිතලා …”ඒත් ආයෙ වතාවක් මෙතෙන්ට එන්න වෙන්නෙත් නැති වෙයි . ඒ නිසා අපායෙ  විස්තර ටිකකුත් හොයාගෙන ම යන්න ඕන. මම මොකක් හරි ජිල්මාට් එකක් නිසා දිව්‍යලෝකෙ ආවට ගොඩක් අය කරන්නේ අපායෙ යන වැඩනේ.  මේකෙ විස්තර මට තව කෙනෙකුට කියලා ගානක් කඩාගන්නත් බැරි වෙන එකක් නැහැ .අපායත් මොන වගේ ද කියලා පොඩ්ඩක් බලන්න ඕන”.. හිතලා  ඒ පැත්තට එබිලා බැලුවලු.

මෙන්න බොලේ එතනත් එකම සිනා සාගරයක් ලු. දිව්‍ය ලෝකේ වගේම කට්ටිය හිනා වෙවී සතුටින් රස මසවුළු කනවලු. බොනවලු. සුන්දර අංගනාවන් ඔවුන්ට සියලු සප්පායම් කරනවලු. නිවි නිවී දැල්වෙන ඩිස්කෝ ලයිට් යට  කර්ණ රසායන සංගීතය. නැටුම් ද ගැයුම් ද වැයුම් ද හිතාගන්න බැරි තරම් සතුටින් ගතකරන සුන්දර දර්ශනයක්. දැන් දේශපාලක තුමා අඤ්ඤක්‍රොස් වෙලා.” යකඩෝ මෙහේ දිව්‍යලෝකෙයි අපායයි දෙකම එකයිනේ. අප්පා…මෙතන ඉන්න සුන්දර ලලනාවො ඇඟේ එල්ලිලාම නෙ ඉන්නේ. බලපුවාම අපාය කොලිටිනෙ දිව්‍ය ලෝකෙට වඩා”… කියලා කොහෙ වුනාම මොකද සැප එකම නම්…කියලා අපායෙ ගේට්ටුවෙන් ඇතුළු වුනාලු.

එතකොටම ගේට්ටුව වැහුණලු. යම පල්ලෝ දෙන්නෙක් දුවගෙන ඇවිදින් දෙපැත්තෙන් අල්ලගෙන ” හා යමං… ඉස්සෙල්ලාම කටු ඉඹුලේ යමන්. ඒකෙ යන ගමන් ලෝදිය බොන්න පුළුවන්” කියලා ඇදගෙන යන්න පටන් ගත්තලු. දැන් දේශපාලකතුමාට හීන් දාඩිය දාලා ඇස් උඩ ගිහින් පණ බයේ සුළු දියත් වැගිරුනාලු. යන්තම් මොහොතකට සිහි එලවාගෙන  උන්නැහේ ඇහුවලු “එතකොට මොකක්ද අර දොරටුව ළඟ තිබුනේ. එතන දිව්‍ය ලෝකෙටත් වඩා අපූරු දේවල් නෙ  මං දැක්කේ. මේ මොකක්ද මේ වෙන්නේ?

ආ….ඒවද? ඒ තමා අපේ ඇඩ් .

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...