ගායනය හා සංගීතය – තරිඳු දම්සර
පද රචනය – රුහුණුකෙත ධම්මදේව
සිංහල සාහිත්‍ය කලා ව්‍යාපෘතිය තුළ අන්ධ බින්දුව බවට වතු කම්කරු ප‍්‍රජාව පත්ව ඇතැයි ප‍්‍රකාශ කළේ පරාක‍්‍රම කොඩිතුවක්කු කවියාය. ‘දෙවියන්ගේ මිනිසුන්’ බඳු කාව්‍ය සංග‍්‍රහයකින් ඔහු ඒ ජනයාට සංග‍්‍රහ කළේය. එහෙත් ඒ තරම්වත් අවධානයට පාත‍්‍ර නොවූ කොට්ඨාසයක් ලස අහිකුණ්ඨක ජනයා දෙස හැරී බැලීමට මේ ගීතය අප පොලඹවයි. එයම මේ ගීතය පිළිබඳ සංවාදයක් ඇවිළවීමට තරම් හේතුවක් වෙයි.
අප දිව යන තරම් වේගයෙන් දිව යෑමට සමත් නොවූ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් වෙත පද රචකයාගේ ඇස නතර වේ. එවිට රචක හිමි දකිනුයේ තැන්මං හන්දියක නතර වී සිටින සාස්තර කියන ගැහැනියකි. අප මෙන් නොව, ඇය යන අත තීරණය කරගැනීමට නොහැකිව ‘හෝ දහය විස්ස තිහ ගැන ගැන’ සිටී. අප නම් කිසිදු තාවරවීමකින් තොරව යා යුතු අත තීරණය කළ තැනැත්තෝ වෙමු. ධනවාදය යෝජනා කළ ඒ මාවත අපට තරම් ඉක්මනින් තෝරාගැනීමට ඔවුහු අසමත් වූහ.
‘ඔවුන් සහ අප’ යන ද්විභේදනය (binary) අපගේ විචාරයේදී අප සිතාමතා භාවිතකරන උපක‍්‍රමයකි. මේ ගීතය අපට ඒ ද්විභේදනය මතුකර පෙන්වයි. අපගේම ජාතික රාජ්‍යයට අයත් නිශ්චිත භූමියෙහි ජීවත්වුවද ‘ඔවුන්’ සහ ‘අප’ අතර වෙනසක් පවතින සැටි ගැන මෙහි අති රූපකාර්ථවත් යෙදුමින් පැහැදිලි කෙරේ.
”අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන
හොඳම දේවල් ටිකක් කිව්වා නරක සේරම දැනගෙන
හුඟක් ඇස් නළලවල්වල නුඹ කිව්ව පොඩි මිලෙන්
පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්
උඹ රේඛා ගණින අත්වල තියෙන අරුමෝසම් මෝස්තර
දුක හිතෙනකොට අහක බලපන් කියපන් වැරදි සාස්තර”
අති රූපකීය බසකින් මේ ධ්වනිත කරණුයේ ‘ඔවුන්’ සහ ‘අප’ අතර වන පරතරයයි. ශාරීරිකව මෙන්ම සංස්කෘතිකව ‘ඔවුන්’ සහ ‘අප’ යනු ලෝක දෙකකි. ඒ තරමටම ඔවුන් අපගෙන් ඈතය. ධනවාදය තුළ වර්ගවාදය උත්පත්ති රෝග ලක්ෂණයකි. කොතරම් වර්ගවාදය ප‍්‍රතික්ෂේප කළද ධනවාදී මිනිසා කවර ආකාරයේ හෝ වර්ගවාදයක් කර තබාගෙන යන්නකු බව ඔහුම දන්නේ නැත. ඒ අර්ථයෙන් මේ ගීතය සමාජ යථාර්ථය පිළිබඳ අපගේ නොදැනුමේ කලාපයක් ප‍්‍රශ්න කිරීමට අප මෙහෙයවයි.
දෛනික යථාර්ථයේ හමුවන ගැහැනුන් හා පිරිමින් ගැන නිර්මාණකරණයේ යෙදෙන විට සාහිත්‍ය කලාකරුවා ඇද වැටිය හැකි බොරු වළවල් ගණනාවකි. ඒ අතරින් එක් අගාධයක් වන්නේ පුහු (ඊනියා) ජනතාවාදයයි. පීඩිතයාගේ කඳුළ, සුසුම, දහඩිය හා ශ‍්‍රමයට වන්දනාමාන කොට ඒ සිප වැලඳගැනීමෙන් එම නිර්මාණ අවසන් වෙයි. අනෙක් අන්තය වන්නේ නිරර්ථක (අර්ථවිරහිත) සෞන්දර්යවාදයයි. එහිදී පීඩිතයා තුළ ඇත්තටම දැකීමට නොමැති බාහිර හෝ අභ්‍යන්තර ලක්ෂණ තොරොම්බල් කිරීම සිදු වේ.
සාහිත්‍ය කලාකරුවා යම් ආකාරයක ‘බොරුවක්’ ඉදිරිපත් කරන බව ඇත්ත ය. එහෙත් ඔහු හෝ ඇය ඒ ‘බොරුව’ තෝරා බේරා ගනුයේම යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීම පිණිසමය. යම් හෙයකින් ඔහු තෝරා බේරාගත් ඒම ‘බොරුවෙන්‘ යථාර්ථය සෞන්දර්යාත්මක ලෙස ඥානනය කිරීමට, එය අභිභවා යැමට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය ප‍්‍රතිපාදනය කිරීමට නිර්මාණකරුවා අසමත් වුවහොත් එම ‘බොරුවට’ කෘතියක තැන ලබාදීමට අප නම් සූදානම් නැත.
අපගේ සංවාදයට බඳුන්වී ඇති ගීතය යථාර්ථය අතික‍්‍රමණය කිරීමට අවශ්‍ය ජීව ශක්තිය නිපදවීමට සමත් නොවූවත් යථාර්ථය සෞන්දර්යාත්මක ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමට නම් සමත් වී ඇති බව පිළිගත යුතුය.
‘අනාගතයම තෝරනා ජීවිතේ ඇයි කුණාටු’
උක්ත පාඨය පමණක් වුව ඒ සඳහා ප‍්‍රමාණවත්ය. එහෙත් එය පවත්නා යථාර්ථය වෙනුවට යථාර්ථයක් පරිකල්පනය කිරීමට තරම් රසිකයා මෙහෙයවතැයි කිව නොහැකිය. පද රචනය මෙන්ම ඒ සඳහා ගායකයාගේ මැදිහත්වීමද පවතිනුයේ එහිලා අර්බුදයකය. සම්මත සංගීත ප‍්‍රස්තාරයක සිරවීම හේතුවෙන් පද රචකයාට මෙන්ම ගායකයාට ද ඒ සඳහා විභවය පැවති ස්ථාන මග හැරී යයි.
‘හොඳම දේවල් ටිකක් කිව්වා නරක සේරම දැනගෙන’
‘දුක හිතෙනකොට අහක බලපං කියපං වැරදි සාස්තර’
ඉහත පළමු ඛණ්ඩයේදී පද රචකයා සාමාන්‍ය සමාජ දැනුම ඉක්මවා නොයන අතර දෙවන ඛණ්ඩයේදී ගායකයා සාමාන්‍ය සරල සංගීත මාත‍්‍රාව ඉක්මවා යාමට අසමත් වේ. ඉහත දෙවන ඛණ්ඩයේ වන ආවේගය ගැයීමට ඒ පිළිබඳ දේශපාලන සවිඤ්ඤාණකත්වයක් හා වගකීම් සහගත බවක් අවශ්‍ය වේ. ඒ අර්ථයෙන් තරිඳු මේ ගීතයට එතරම් සාධාරණත්වයක් සිදුකරන බවක් නොපෙනෙයි.
මුහුණු පොතෙහි ලියන ඇතැම් රචකයන් මෙහි කථකයා සාස්තර කියන්නියගේ ස්වාමි පුරුෂයා බවට තර්ක කරමින් ගොඩ නගා තිබූ ඇතැම් රසවින්දන මේ ලියුම්කරුට ද කියවීමට ලැබුණි. එබඳු නිගමනයකට බැසීමට තරම් ප‍්‍රමාණවත් සාධක ගීතයෙහි නොමැති විටක පවා එසේ වන්නේ ඇයිද යන්න විමසිය යුතුය. ඊට බලපා ඇති එක් සාධකයක් වනුයේ ගායකයාගේ ගායන විලාසයයි. එය එබඳු ස්වාමිපුරුෂයකුගේ තත්වය ඉක්මවා යෑමට අසමත්වන අතර ‘ගායකයා’ යන්නෙහි වන ගැඹුර අත්පත්කර ගැනීමට උත්සාහ නොකරයි.
පදරචකයා ස්වාමිපුරුෂ භූමිකාව අභිබවා යමින් ගීතය තුළ සවිඥාණක මැදිහත්වීමක් සිදුකළද උන්වහන්සේට ද භාෂාව කෙරෙහි වන ආශාවෙන් මිදීමට හැකි වී නැත. ගීතයක් විනාඩි තුනකට සීමා විය යුතු බව අප විශ්වාස නොකරන නමුත් ‘සංක්ෂිප්තතාව’ අත්‍යවශ්‍ය ලක්ෂණයකි. ගීතයේ ආරම්භයේ ගැයෙන ‘පාන්දර උඩමළුවේ’ ලෙස ඇරඹෙන කොටස ගීතයේ මුඛ්‍ය තේමාව හා කිසිදු සම්බන්ධයක් නොදක්වන නමුත් එය ඇතුළත්වීම පිටුපස ඇත්තේ භාෂාවාදීමය බව මිස අන් යමක් නොවේ. රචකයාට තමන්ගේම වචන (ලියූ) අත්හැරීමට වන අපහසුව ඉන් දෘෂ්‍යමාන වෙයි. මෙහි එන සාස්තර කියන යුවතිය සැරිසරන්නේ අනුරාධපුර පූජාභූමියෙහි බවට වන පසුබිම් විවරණය ගීතයේ කතිකාව පෝෂණය කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. ඊට සාපේක්ෂව ඇය සිටිය බව කියන ‘තුංමං හන්දිය’ ඇය වෙසෙන දේශපාලන ආර්ථික හා සමාජයීය පසුතලය පිළිබඳ පොදු සංකේතයක් ලෙස යොදාගැනීමට හැකි වෙයි.
විචාරකයා යනු රසවින්දකයකුට සීමා විය යුත්තකු නොවන බව අපි විශ්වාස කරමු. මේ විචාරයේදී අප සිදුකළ මැදිහත්වීම ඒ අර්ථයෙන් භාරගැනීමට මේ නිර්මාණකරුවන්ට හැකිවනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. අවංක විචාරකයා සමඟ තරහවීමෙන් නිර්මාණකරුවන්ගේ සාහිත්‍ය කලා චාරිකාවට කිසිදු සේවයක් සිදු නොකරන බව අවසාන වශයෙන් ලියා තැබිය යුතුය.
උපුටා ගැනීම රළ අතිරේකයෙන්