Breaking News

ඉතාලියේ වීසා නැති සංක‍්‍රමණිකයින් සඳහා වීසා ලබාදීමේ නීතිය සම්මතයි

තීමස් විජිත්

SANATORIA STRANIERI 2020 ඉතාලියේ වීසා නැති සංක‍්‍රමණිකයින් සඳහා වීසා ලබාදීමේ පොදු සමා කාලයක්
නිත්‍යානුකූල නොවන ලෙස ඉතාලියේ රැඳී සිටින විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නීති විරෝධී ලෙස සේවයෙහි යොදවාගෙන සිටින සංක‍්‍රමණිකයන් හට නීතිමය අවසර ලබාදෙන නීති නියෝගය ගෙන එම සඳහා එකගතාවය ලැබී තිබෙන අතර ගෘහ සහ උපස්ථාන රැකියාවන් සඳහාද එය අදාල වේ.

මෙහි පසුබිම කතාව

මාර්තු මාසය මැද වන විට ආරම්භ වන වකවානුව ඉතාලියට අමතර ශ‍්‍රමය අවශ්‍ය වන කාලයකි. ඒ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ එලවලූ පලතුරු ඇතුලූ අසිවනු නෙලීම සංචාරක කර්මාන්තය ධීවර කර්මාන්තය වැනි ක්ෂේත‍්‍ර ගනනාවක කටයුතු පුලූල් වීම හේතුවෙනි. ඒ සඳහා අවශ්‍ය අමතර ශ‍්‍රමය සපයා ගැනීම සඳහා සෑම වර්ෂයකම ඊට මුහුණ දීමට ඉතාලි ආණ්ඩු කටයුතු කරයි. යුරෝපා කලාපයේ රටවල් යුරෝපා හවුලට ඇතුලත් කර ගැනීමට පෙර එම ශ‍්‍රමය සපයා ගත්තේ යුරෝ කලාපයෙන් පිට ආසියා අෆ්රිකා මැදපෙරදිග සහ ලතින් ඇමරිකා කලාපයෙනි. එහෙත් පසුව එම අවස්ථාව යුරෝ කලාපයේ රටවල පුරවැසියන්ට හිමි විය. ඒ හැර යුදමය තත්වයන් නිසා අවතැන් වූ පිරිස් විශාල වශයෙන් යුරෝපයට ඇතුල්වීමත් සමග ඔවුන්ද ඒ සඳහා යොදා ගැනුනි. එම තත්වයන් නිසා විශේෂයෙන් ආසියා අෆ්රිකා මැදපෙරදිග සහ ලතින් ඇමරිකා රටවල පුරවැසියන්ට යුරෝපයට පිවිසීමේ අවස්ථාව මුලූමනින්ම වාගේ වැසී ගියේය. එහෙත් මේ වන විට ඇතිව තිබෙන කොරෝනා ආපදා තත්වය නිසා යුරෝ කලාපයෙන් හෝ ඉන් පිට කලාපයන්ගෙන් ගෙන්වා ගැනීමේ අවකාශය අහිමිවී ඇති හෙයින් වෙනත් විකල්ප ක‍්‍රියාමාර්ගයකට යාමට ඔවුන්ට සිදුවී ඇත.

කෙසේ නමුත් විවිධ හේතු නිසා ඉතාලියට පැමිණි සංක‍්‍රමණිකයින් හට අවසන් වරට වීසා නිකුතුවක් කරණු ලැබුයේ 2012 වසරේදී වන අතර මේ වන විට නීති විරෝධීව රැඳී සිටින ගනන ලක්ෂ 6ක පමන වේ යැයි ගනන්  බලා ඇත. මෙය සැලකිල්ලට ගනිමින් මෙම ආණ්ඩුව මේ වසරේ මාර්තු මාසයේදී මෙවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් තිබූ අතර කොරෝනා ආපදා තත්වය නිසා එය මග හැරුනි. කෙසේ නමුත් මේ හේතුව නිසාම එනම් සෞඛ්‍ය හේතුව නිසා වීසා නොමැති අය සඳහා වීසා ලබාදිය යුතු බවට හඩක් නැගු අතර ආණ්ඩුව පවසන්නේ ඒ සියල්ල සලකා මෙය ක‍්‍රියාත්මක කරන බවයි. (මෙයින් විශාල ආර්ථික වාසියක් ආණ්ඩුවට හිමිවන කාරණය අප වෙනම සාකච්ඡුා කරමු)

  • SANATORIA STRANIERI 2020 ක‍්‍රියාත්මක වන ආකාරය

විදේශීය ශ‍්‍රමිකයන් සහ කෘෂිකාර්මික කම්කරුවන් විධිමත් කිරීම පිළිබඳ එකගතාවකට පැමිනීමට අමාත්‍ය මණ්ඩළය සමත්වී තිබේ. අමාත්‍ය මණ්ඩළයේ බහුතර එකගතාවයෙන් තොරව ඇදීගිය මෙම සාකච්ඡුාවට අවසානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 5 ස්ටාර් පක්ෂය හා ඉතාලියා වීවා පක්ෂ අතර කොන්දේසි සහිතව එකගතාවය පලවී තිබේ. අගමැති ජුසෙප්පෙ කොන්තෙ ඊට මැදිහත්කරුවකු ලෙස කටයුතු කලේය.

මෙය හුදෙක් සංක‍්‍රමණිකයින් සඳහා පමනක් නොව ඉතාලි ජනයා සඳහාද වන බවත් මේ මිනිසුන් මිස මෙවලම් නොවන බවත් එය ධජ පිළිබඳ ප‍්‍රශ්නයක් නොව, කලක් තිස්සේ නීත්‍යානුකූලභාවය සහ අයිතිවාසිකම් බලාපොරොත්තුවෙන් සිටි අයට පිළිතුරු සැපයීමක් යනුවෙන් 5 ස්ටාර් පක්ෂ නියෝජිතයින් (මුල සිට මෙයට අකමැත්ත ප‍්‍රකාෂ කර සිටි ආණ්ඩුවේ කොටස) සමග කල දීර්ඝ සාකච්ඡුාවකින් පසු මධ්‍යම රාත‍්‍රියේදී දකුණ සහ භෞමික සහජීවනය පිළිබඳ අමාත්‍ය ජුසෙප්පෙ ප්‍රොවෙන්සානෝ මහතා ට්වීට් මගින් ප‍්‍රකාෂ කළේය.

මෙය නීති විරෝධී කම්කරුවන් විධිමත් කිරීමට එම හාම්පුතුන් සඳහා ලබාදෙන පොදු සමාවක් නොවිය යුතු බවට විරෝධය දක්වමින් ඊට තමන් අකමැති බව ප‍්‍රකාෂකල වීතෝ ක‍්‍රිමී අමාත්‍යවරයාගේ ප‍්‍රකාෂයත් සමග කෘෂිකර්ම අමාත්‍ය තෙරේසා බෙලනෝවා මෙයට අවස්තාව නොලැබෙන්නේ නම් තමා ඉල්ලා අස්වන බවට තර්ජනය කිරීමට පවා ඉදිරියට පැමිණියාය.

  • ඉල්ලූම් කිරීමේ අවස්ථාව හිමි වන්නේ කුමන අංශ සඳහාද?

පාර්ශ්වයන් අතර දීර්ඝ ලෙස සාකච්ඡුා වූ සහ බහුතරය බෙදු කෙටුම්පතක් නමුත් අවසානයේ දී එකගතාවයකට මග විවර කල නීති කෙටුම්පතෙන් නිර්දේශ කර තිබෙන්නේ කුමක්දැයි අවධානය යොමු කරමු.

කෘෂිකර්මාන්තය, අභිජනනය, සත්ව පාලනය, මසුන් ඇල්ලීම, ජලජීවී වගාව, ස්වයං ක‍්‍රියාකාරීත්වය සීමා කරන රෝග හෝ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ආධාර කිරීම (උපස්ථාන සේවය) සහ ගෘහ සේවය යන අංශ සඳහා මෙහි අවස්ථාව සලසා තිබේ.

  • මෙම නීති නියෝගය ක‍්‍රියාත්මක වන ආකාරය

වීසා කල් ඉකුත් වූ විදේශීය පුරවැසියන්ට නැවත වීසා හිමිකර ගැනීමේ අවස්ථාව
සහ කොන්ත‍්‍රාත් නොමැතිව සේවය කල අය නීත්‍යානුකුල සේවයේ පිහිටුවීමේ අවස්ථාව

හදිසි සෞඛ්‍ය අවස්ථාව සලකා බලා මේ වන විටත් වීසා කල් ඉකුත් වූ විදේශීය පුරවැසියන් සේවයේ යොදවා ඇති සේවා යෝජකයන්ට ස්ථීර රැකියා කොන්ත‍්‍රාත්තුවක් යටතේ සේවකයින් වෙත වීසා ඉල්ලා සිටීමට අවස්ථාව හිමිව ඇත. මෙම පියවර මීට පෙර නීති විරෝධී ලෙස සේවයේ යොදවා ඇති ඉතාලි කම්කරුවන් සඳහාද වලංගු වන අතර ඔවුන්ගේ රැකියා ස්ථීර කිරීම සඳහාද මෙය අවස්ථාවක් කර ගැනීමට සේවා යෝජකයන්ට අවකාෂය ලබාදී ඇත.

2020 මාර්තු 8ට පෙර ඇගිලි සලකුණු ලබාදුන් බවට හඳුනාගෙන ඇති හෝ එම දිනයට පෙර අඛණ්ඩව ඉතාලියේ පදිංචිව සිටින බවට තහවුරු කල හැකි සියලූ දෙනාට එම පියවරට ප‍්‍රවේශ විය හැකිය.

  • රැකියාවක් සොයා ගැනීම සඳහා තාවකාලික වීසා බල පත‍්‍රයක්

2019 ඔක්තෝබර් 31 දිනට හෝ ඊට පසු කල් ඉකුත් වූ සහ 2020 මාර්තු 8 දිනට පෙර ඉතාලිය හැර නොගිය විදේශිකයන්ට රැකියාවක් සෙවීම සඳහා තාවකාලික වීසා බලපත‍්‍රයක් සඳහා ඉල්ලූම් කළ හැකිය. එම තාවකාලික වීසා බලපත‍්‍රය මාස තුනක් හෝ හයක් දක්වා කාලයකට ලබාදිය හැකි නමුත් එය තවම නිශ්චිත ලෙස අර්ථ දක්වා නොමැත.

එවැනි අයදුම් කරුවන් රැකියාවක් සොයා ගන්නේ නම්, රැකියාවක් සෙවීම සඳහා ලද තාවකාලික වීසා බලපත‍්‍රය මාස හතරක රැකියා වීසා බලපත‍්‍රයක් බවට පරිවර්තනය වේ. කෙසේ වෙතත් මෙම ක‍්‍රියා පටිපාටියට අනුව කටයුතු කරන අය, අනිවාර්යයෙන් මෙම නීති කෙටුම්පතේ දක්වා තිබෙන එක් හෝ වෘත්තීයක නියැලී සිටි බවට ඔප්පුකර පෙන්විය යුතුවේ.

  • අයදුම් කළ යුත්තේ කවදාද? කෙසේද?

සියලූම අයදුම්පත් 2020 ජුනි 1 සිට ජූලි 15 දක්වා ඉදිරිපත් කළ යුතුය. සේවායෝජකයා විසින් අයදුම්පත ඉදිරිපත් කරන්නේ නම්, ඔහුට එක් සේවකයෙකු සඳහා එකවර යුරෝ 400 ක දායක මුදලක් ගෙවීය යුතුවේ.

රැකියාවක් සොයා ගැනීමට අවස්ථාව සලසනුවස් නිකුත් කෙරෙන තාවකාලික වීසා බලපත‍්‍රයක් සඳහා ඉල්ලූම් කිරීමේ පදනම යටතේ විදේශිකයකු විසින් අයදුම්පත ඉදිරිපත් කරන්නේ නම් ඔහු යූරෝ 160 ක දායක මුදලක් ගෙවිය යුතුවේ.

  • අයදුම් පත් ප‍්‍රතික්ෂේප කිරීමට බලපාන හේතු

නීති විරෝධී සංක‍්‍රමණ හෝ වහල් සේවය, නීතිවිරෝධී තැරැව්කාර සේවය සහ වැඩ සූරාකෑමට ආධාර කිරීම හෝ වරදකරුවන් වූ සේවා යෝජකයන්ගේ අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. එහිදී විදේශිකයාගේ අවස්ථාවද අහිමිවේ.

පිටුවහල් කිරීමේ හෝ නෙරපා හැරීමේ නියෝගය පනවා ඇති විදේශිකයන් මෙයින් බැහැර කර ඇති අතර, අපරාධ නීති සංග‍්‍රහයේ 380 වන වගන්තියේ දක්වා ඇති එක් අපරාධයකට හෝ වරදකරුවන් වී ඇති අය සඳහා මෙම අවස්ථාව අහිමි වනු ඇත. එනම් පුද්ගලික නිදහසට එරෙහි අපරාධ, මත්ද‍්‍රව්‍ය ජාවාරම, නීතිවිරෝධී සංක‍්‍රමණ සඳහා පහසුකම් සැලසීම සහ ගණිකා වෘත්තිය සූරාකෑම යනාදිය.

  • ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන අයදුම්පත් ද අවලංගු වේ.

මෙය තවම නීතියක් නොවන බවත් ඉල්ලූම් පත් ඉදිරිපත් කිරීමට තවම අවස්ථාව උදාවී නොමැති බවත් සැලකිල්ලට ගත යුතු වේ.
කෙසේ වෙතත් මෙය නීතියක් බවට ක‍්‍රියාත්මක වීමට තවත් පියවර කීපයක් තිබෙන අතර ඉල්ලූම් කරන ක‍්‍රම වේදය සහ වෙනත් කොන්දේසි යනාදිය පිළිබඳව නිශ්චිත ලෙසම දැන ගන්නට ලැබෙන්නේ ඉන් පසුව බව සැලකිය යුතුය. මේ පිළිබඳව සිදි කෙරෙන සියලූ කාර්යයන් පිළිබඳ තොරතුරු ලබා දීමට අමතරව අවශ්‍ය උපකාර කිරීමටද බලාපොරොත්තු වන බව සංවිධානයක් ලෙස දන්වා සිටුමු.

තීමස් විජිත්

 

 

 

 


 වීසා ලබා දීමට ඉතාලි රජයේන් නව නීතියක්, ලාංකිකයන් බොහෝ පිරිසකට වීසා ලබාගැනීමේ අවස්ථාව

 

 

leave a reply