බිම්ෂානි ජාසිංහආරච්චි පොලිස් ඉතිහාසය වෙනස් කළ ගැහැණියක් විදියට 2020 ඔක්තෝබර් මාසයේ දී පුවත්පත් වාර්තා කළා. ඒ ඇය නියෝජ්‍ය පොලිස්පතිනියක් විදියට පත් වීමක් විදියටයි. ලංකාව කියන්නේ ගැහැණු ජනාධිපති සහ අගමැති වූ රටක්. ඉතින් ගැහැණියකට නියෝජ්‍ය පොලිස්පති වෙන්න බැරි ඇයි? ඕක සාමාන්‍ය දෙයක් නෙමෙයිද? හැබැයි පොලිසිය කියන්නේ එහෙම ප්‍රගතිශිලීව හිතන ආයතනයක් නොවන බව පැහැදිලිවම අද එක් සිද්ධියකින් ඔප්පු වී තිබෙනවා. ඒ ගැහැණියක් නියෝජ්‍ය පොලිස්පති බවට පත් කරන බැරි බවත්, ඒ නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙන බවත් කියමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 32ක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමත් සමගයි.
ඔවුන් කියන විදියට උසස්වීම් ගැන අදාළ නීති ප්‍රතිපාදන තුළ කාන්තා කියන වචනය නැති නිසා ගැහැණු කෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට බැහැ. මේ නඩුව අද (16) ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතයි. මේ සිද්ධීයෙන් බරපතල ගැටළු ගණනාවක් මතු කරනවා.
පළවෙනි ගැටළුව මතු වන්නේ පොලිසිය ගැනයි. අපේ රටේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 32ක් මොන තරම් ප්‍රාථමික විදියට ගෑනුන්ගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්නට වෙර දරනවාද යන්නත්, එයින් පොලිසිය කොයිතරම් අප්‍රසන්න විදියේ පුරුෂ මූලික ආයතනයක් ද යන්නත් හෙළිදරව් වෙනවා. පොලිසිය ගෑනුන්ට ඔය තරම් බයද? පොලිසිය කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වෙනවා. පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ විදියට හිතීමෙන් නීතිය කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ ‘අප්සැට්’ තැන් තවදුරටත් හෙළි (හෙළු)දරව් කරනවා.
දෙවැනියට මෙය අපේ රටේ නීතිය ගැනත්, ලංකාවේ ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිවාසිකම් ගැනත් බරපතල සැක මතු කරනවා. විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 32ක් එසේ කිරීම නිසාම, නීතිය ගැන වැඩියෙන් සැක මතු කරනවා. ලංකාවේ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ සමානාත්මතාවය ගැන ඇති 12 වැනි කොටසේ 12 (2) වගන්තියේ පැහැදිලිව දක්වා ඇති පරිදි කෙනෙකුගේ ගෑනු-පිරිමි බව අනුව කෙනෙකුට වෙනස් ලෙස සලකන්නට බැහැ. ඒ වගේම 12 (4) යටතේ පැහැදිලිව දක්වා ඇති පරිදි, මෙම කොටසේ ඇති කිසිවක් කාන්තාවන්ගේ, දරුවන්ගේ හෝ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධන කිරීමට විශේෂ ක්‍රියාමාර්ග ගැනීම වැළැක්විය නොයුතු බවත් සඳහන් කරනවා. මෙහෙම තියෙනවා නම්, මේ ගැන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් පවරන්න පුළුවන් බව මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු විශ්වාස කරන්නේ ඇයි? ඒ යල් පැන ගිය නීති ආරක්ෂා කරමින්, ව්‍යවස්ථාවේ 16(1) යටතේ ව්‍යතිරේකයක් සපයා තිබෙන නිසායි. මූලික මිනිස් අයිතිවාසිකම්වල මොනවා තිබුනත් පැරණි නීති එසේම වලංගු වෙන බව ව්‍යවස්ථාවම කියනවා. නීතියට ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමට අවශ්‍ය අවකාශය ව්‍යවස්ථාව විසින්ම තබා ගෙන තිබීම හරිම ඛේදනීයයි. ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතිය කියන අදහස මෙයින් ඉවත් වී, මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ කරන යල් පැන ගිය නීති තියා ගැනීමට මෙයින් ඉඩ සලසනවා.
තවද 1866 කෙටුම් පත් කෙරුණු අංක 16 දරණ පොලිස් ආඥා පනත 1867 සංශෝධනය කෙරුණා. තවමත් පවතින්නේ මේ නටබුන්ව ගිය ඉපැරණි පොලිස් අඥා පනතයි. මෙවැනි යල්පැන ගිය නීති තවමත් වලංගු වීමෙන් නැවතත් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ඇති බරපතල ගැටලුවයි. එබැවින් දණ්ඩනීති සංග්‍රහය ඇතුළු අප රටේ නීති විශාල ප්‍රමාණයක් යාවත්කාලීන කිරීමට කාලය එළැඹ තිබෙනවා. නැත්නම් සිදුවන්නේ මෙවැනි ආකාරයේ නීති ‘අපහරණයන්’ය.
තුන්වැනියට අපි සැලකිය යුත්තේ මේ කාරණය සිදු වන්නේ පොලිසියේම ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක්ට බවයි. දුප්පත් ගෑනියක් පොලිසියකට ගියාම, ගණිකාවක් කියා සැක කරන කෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තාම කොයි විදියට මෙහෙම හිතන පොලිසියේ අය ඒ ගැහැණියට සලකයිද?
මේ කරුණු දිහා බැලුවම අපිට පේන්නේ මෙය හුදෙක් හුදකලා එක් ගැහැණියකට වෙන සිද්ධියක්, පිරිමි කණ්ඩායමක ඉරිසියාවක් විදියට දකිනවාට වඩා බරපතල සමාජ ගැටළුවක හෙළුව එළිදරව් වීමක් ලෙස දැකිය යුතු බවයි. මේ ගැන අධිකරණය ප්‍රගතශීලී තීරණයකට යනු ඇතැයි අපි විශ්වාස කරන අතරම, ඒ නිසාම මෙයින් මතු කරන සමාජ ගැටළුව අවසන් වෙන්නේ නැහැ. අපි සිටින්නේ 21 වැනි සියවසේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ ද, එසේ නැතිනම් වැඩවසම් වහල් ක්‍රමයක ද යන්නත් අපි ප්‍රශ්න කළ යුතු වෙනවා. ඇය වෙනුවෙන්ම නොව, අපි නිදහස වෙනුවෙන් එක් වෙමු.
දේදුනු සංවාද
2021 පෙබරවාරි 16
මෙම ලිපිය දේදුනු සංවාද facebook පිටුවේ පොලිසියේ පිරිමි ‘කාන්තාවකට’ මෙච්චර බයද? යන ශීර්ෂය යටතේ පළවූ ලිපියකි