පොත පත කියවමින් කවියක රිද්මය පිළිබඳව කරන සාකච්ඡාවට කීප දෙනෙකුගෙන් ලැබුණ ප්‍රතිචාර යහපත් හෙයින් තවත් කවියක් වෙත යොමුවීම සුදුසු බව සිතුණි .වඩාත් සිත් ගන්නා දේ වන්නේ ප්‍රවීණ ,නවක නාම්ධාරී කවියන් වර්ග කිරීමකින් තොරව හඳුනා ගෙන රස විඳින පිරිසක් සිටීමයි .
මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රගේ සාහිත්‍ය විද්‍යාව කෘතියේ එන ශබ්ද ධ්වනිය නම් පරිච්චේදයෙන් උපුටනයක් ප්‍රවේශය ලෙස භාවිත කිරීම සුදුසු යැයි සිතමි .සරච්චන්ද්‍ර උපුටා ගනු ලබන සැළලිහිණි සන්දේශයේ එන කවියක් පහත දැක්වේ .
සන්නන් සිහින් ගෙඳි සෙවනලු වැලි තෙලෙන
තැන් තැන් වලම සැතපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන් මන් තොසින් මග තොරතුරු නියම දැන
සරච්චන්ද්‍ර ඒ පිළිබඳව කරන විවරණයට සවන් දෙමු .
‘පළමු පද්යෙහි ‘සන්න් නන් සිහින් ‘ , ‘තැන් තැන් වලම ‘ ‘රන්වන් කරල් ‘ ,යන් මන් තොසින් ‘
යන යෙදුම්වලින් සැළලිහිණියා අත්තෙන් අත්තට පැන ,නැත හොත් විඩාව කරණ කොට ගෙන බිමට බැස යම් යම් පැළෑටි වර්ග හෝ ධාන්‍ය ඇට හොටින් ඇන අහුලා කමින් ,මඳක් අවට බලා යළි වරක් පනිමින් කිසිවක් අහුලා කමින් ඒ ආකාරයෙන් යන ගමන් විලාසයක් නො ඇඟවේද ?මේ ශබ්ද ධ්වනිය වූ කලී ‘සිහින් ගෙඳි ‘ ,සැතපී සිවුමැලි බැවින ‘ යන යෙදුම්වල ඇති අර්ථ ව්‍යංග්‍ය පෝෂණය කරන්නක් නො වෙද ?
මේ උද්ධෘතයෙන් පෙනෙන්නේ අර්ථය පෝෂණය කිරීමට ශබ්දය අතවැසි කර ගැනීමට කවියා වෙහෙසෙන ආකාරයයි .
දැන් අපි වෙධිවර්ධනගේ කවිය වෙත හැරෙමු .
වෙධිවර්ධනගේ සුනිලා හෙවත් මනුෂ්‍යත්වයේ කවිය
කට හඬේ සොඳුරු පියාපත් බිඳුණාද
හදවතේ අඳුර විතරක් රැඳුණාද
මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද
නිදහසේ තනිව ඉන්නට හිතුණාද
කැවුඩියන් කරව් නඟනා පිළිරාව
යුග සවන් පෙළයි ,පවසන්නද කාට
ඔය හඬින් ගලන් එන කොට අනුරාග
ඉර වුණත් දණින් වැටෙනවා හඳ ගාව
දෑස් හීන් කර කොපුලත සුලි එක්කා
රහස් ලියන මනුසත්කම අපි දැක්කා
රාත්‍රිය දිගයි ,එළඹෙද උදනැක්කා
කාන්සිය ඇවිත් හීනෙට තනි රැක්කා .
නෙතු පියන් වැසී නෑ ,ඔය තව ම ඇරී
යන ගමන් මඳක් බලනට හැකිද හැරී
කඳුළකින් හුස්ම ගන්නට මොකද බැරී
පෙනහලුත් බෙදා දුන් විට සහෝදරී .
‘ මරා ‘ ගන්න කොට ගනඳුරු වනන්තරේ
දරා ඉන්න බැරි අතකය සඳුන් හරේ
කතා කරන කොට සටනට නිරන්තරේ
පියා විදාගෙන එනවද හෙමින් සැරේ
නිදන් නැති නදිය නිදි අපි ගංතිරේ
පැතුම් දරා හිටියද හදවත පෑරේ
ඉතින් කොහේ යන්නද දැන් නොම තේරේ
උදුම්බරා හිනැහෙන්නැති සංසාරේ
වෙධිවර්ධනගේ කවියට ප්‍රස්තුත වන්නේ සුනිලා අබේසෙකර නම් විශිෂ්ට ගායිකාවගේ අභාවය බව පැහැදිලිය .කවිය ආරම්භ වන්නේ සියුම් වේදනාවක් මුසුවූ රිද්මයකිනි .
‘කට හඬේ සොඳුරු පියාපත් බිඳුනාද
හදවතේ අඳුර විතරක් රැඳුණාද
මෙහි දී යසෝදරා වතේ එන පහත දැක්වෙන කවිය ද මතකයට නැගිය හැකි ය .
හිමයේ ගොසින් මල් යහනක නිදනවද
කොමල අනගි සිරි පය දෙක රිදෙන්වද
හිගේ නැතිව දෙවියන් මුර කරනවද
මගේ ඇත් රජුනි ඔබ අද කොතැනක ද
දෙවන පද්‍යයේ එන එන මතු දැක්වෙන කාව්‍ය පාදය සලකා බලන්න .
කැවුඩියන් කරව් නගනා පිළිරාව ‘
මෙහි දී කවියා යොදා ගන්නා ‘කරව් ‘ ‘පිළිරාව ‘ යන වචනවල ‘ර’ කාරය අද අපට ඇසෙන ගායක ගායිකාවන්ගේ අමිහිරි කට හඬ අවධාරණය කරයි .
ඉක්බිති කවියා යොදා ගන්නා කාව්‍ය පාද කෙරෙන් අහිමි වීමේ වේදනාව ධ්වනිත වෙයි .
දෑස් හීන් කර කොපුලත සුලි එක්කා
රහස් ලියන මිනිසත්කම අපි දැක්කා
රාත්‍රිය දිගයි එළඹෙන උදනැක්කා
කාන්සිය ඇවිත් හීනෙට තනි රැක්කා
‘මෙහිදී කැලේ ගිහින් ඉනි කැපුවා කැත්ත දනී” වැනි ජන කවි රිද්ම වෙධිවර්ධනට අවිඥානිකව බලපා ඇති සෙයකි .
ඉක්බිති අපට හමුවන කාව්‍ය පාද මෙබඳු ය .
‘මරා ‘ ගන්න කොට ගනඳුරු වනන්තරේ
දරා ඉන්න බැරි අතකය සඳුන් හරේ
කතා කරන කොට සටනට නිරන්තරේ
පියා විදාගෙන එනවද හෙමින් සැරේ
අපි එය මෙසේ වෙන් කරමු .
‘මරා ‘ ගන්න /කොට ගනඳුරු /වනන්තරේ /
දරා ඉන්න /බැරි අතකය/ සඳුන් හරේ ….ආදී වශයෙන්
මේ සටම් පාඨ කියවීමට ගැළපෙන රිද්මය බව සේකර පවසයි .පහත දැක්වෙන්නේ සේකරගේ ආචාර්‍ය උපාධි නිබන්ධනයෙන් ගත් උපුටනයකි .
යටි නුවරින් ගෙනා කඩුව
රත්තරනින් හැදූ කඩුව
ලොකු වතු පොඩි කරපු කඩුව
අපේ කඩුව කොබ්බැකඩුව
මේ සටන් පාඨ පෙළපාලි කරුවන් විසින් කියනු ලබන්නේ මාත්‍රා හයෙන් හයට ආඝාත තබමිනි .මිනිසුන් හැඟීම්වලින් බර වූ අවස්ථාවලදී ආඝාත්මක රිද්මවලට බසින බවට මේ සටන් පාඨ හොඳ නිදර්ශනයකි .
මංජුලගේ කවිය ධමනියක් කැපූතැනකින් ලේ විදීමක් බඳු යැයි වරක් මම පවසා ඇත්තෙමි .ටී.එම් සමග සුනිලා මේ ගීතය ගයන විට ඇය නගන පසු බිම් හඬ පවා වෙධිවර්ධන සියුම්ව මතු කරයි .
‘පෙනහලුත් බෙදා දුන් විට සහෝදරී ‘
යන යෙදුම ගැන සිතා බලන්න .එමෙන් ම ‘මරා ‘ ගන්න විට ගනඳුරු වනන්තරේ යන යෙදුම කවිය ලියවුණ සමයේ ශ්‍රී ලංකාවත් අද දවසේ ශ්‍රී ලංකාවත් ස්පර්ශ කරයි .