Breaking News

බූන්දල ජාතික උද්‍යානයේ නිලධාරීන්ට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහි නීතිය ක්‍රියාත්මක වී නොමැත

බූන්දල ජාතික උද්‍යානයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට පහරදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විරෝධය දැක්වීම

ඉකුත් මැයි මස 28 දින බූන්දල ජාතික උද්‍යානයේ විශේෂ වැටලීමක් සිදුකරමින් සිටියදී පහරකෑමට ලක්වූ විල්මැන්න අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට මෙතෙක් නීතිමය වශයෙන් සාධාරණයක් ඉටු නොවීම පිළිබඳව ශ්‍රී ලංකා වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ විශේෂ අවධානය යොමුව තිබේ.

දකුණු වනජීවී පරිපාලන කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතාගේ උපදෙස් අනුව ඉකුත් මැයි මස 28 අළුයම් කාලයේ බූන්දල ජාතික උද්‍යානයේ අංක 01 වැවට පහළ ප්‍රදේශයේ විල්මැන්න අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් සිදුකළ හදිසි වැටලීමකදී ජාතික උද්‍යානය තුල අනවසරයෙන් මසුන් මරමින් සිටි පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිරීක්ෂනයවී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඉන් තිදෙනෙකු පලාගොස් තිබේ. නමුත් ඒ අතරින් දෙදෙනකු සමග නීති විරෝධී ලෙස අල්ලන ලද මාළු කිලෝග්‍රෑම් 150ක් පමණ, සුළං පිරවූ ටියුබ එකක් සහ දැල් ආම්පන්න තොගයක් වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර විමර්ෂණ අවසන්කර සැකකරුවන් සහ නඩු භාණ්ඩ එදින පෙරවරු 7.30 ට පමණ බූන්දල ජාතික උද්‍යාන මූලස්ථානය වෙත රැගෙනවිත් තිබේ. එහිදී සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටියදී පෙරවරු 9.30 ට පමණ පල්ලේමලල, බොරලැස්ස ධීවර ගම්මානයේ සියයක පමණ පිරිසක් පැමිණ වනජීවී නිලධාරීන්ට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ පැහැරගෙන ගොස් තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ විල්මැන්න අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථානභාර නිලධාරී වන සත්ව අඩවි ආරක්ෂක පී. එම්. විදානපතිරණ, ක්ෂේත්‍ර සහයක කේ. එම්. ඩී. චාමර සහ බහුකාර්ය සංවර්ධන සහායක ඩබ්. ජී. කරුණාපාල යන මහත්වරුන් 2022 මැයි 28 දින හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර එම මස 31 දින දක්වා නේවාසිකව ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. එසේම ප්‍රහාරයෙන් වන සත්ව අඩවි සහකාර වයි. ජී. නවීන් රංගන, වන සත්ව නියාමක ජේ. ඒ. ප්‍රගීත් සඳමාල් සහ ක්ෂේත්‍ර සහයක ඩබ්. ඒ. උපුල් යන මහත්වරුන්ද තුවාල ලබා ප්‍රතිකාර ගෙන ඇත.

මේ පිළිබඳව සිද්ධිය වූ දිනම වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් හම්බන්තොට පොලීසියට අංක CIB (3) 239/49 දරණ පැමිණිල්ල සිදුකර ඇති අතර අවස්ථා තුනකදී වනජීවී සංරක්ෂණ නිලධාරීගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. නමුත් මේ දක්වා පහරදීමට සම්බන්ද ප්‍රධාන සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකිරීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. මේ සිදුවීමට සම්බන්ද ප්‍රධාන සැකකරුවන් 24 දෙනෙකු පිළිබඳ සවිස්තර තොරතුරු, ඡායාරූප සහ CCTV දර්ශන දිවුරුම් ප්‍රකාශද සමග පොලීසියට ලබාදීමට කටයුතු කර ඇති බව අප සංගමයට දැනගැනීමට ලැබී ඇත. නමුත් මේ දක්වා එම සැකකරුවන් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය අපොහොසත්වීම ඉතා බරපතල තත්වයක් බව ශ්‍රී ලංකා වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ අදහසයි. පොලීසියේ මෙම නිද්‍රාශීලී පිළිවෙත වනජීවී අපරාධකරුවන්ට රිසිසේ මෙරට වනජීවීන් සහ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන මෙන්ම මෙරටට හිමි ස්වභාවික සම්පත් සිත්සේ තම ග්‍රහණයට නතුකරගැනීමට පෙළඹවීමක් ඇති කරන අතර අවංකව රාජකාරි ඉටුකරන වනජීවී සංරක්ෂණ නිලධාරීන් අධෛර්යමත්වීමටද හේතුවන බව අප සංගමය අවධාරණය කරමු. තවද මෙමගින් ලබාදෙන නරක පූර්වාදර්ශය ඉදිරියේදී මෙරට අනෙකුත් ප්‍රදේශ වලද වනජීවී අපරාධකරුවන්ට කිසිඳු බියකින් සහ සැකයකින් තොරව මෙරට වනජීවීන් සහ ස්වභාවික සම්පත් වනසා දැමීමට මග පැදීමද නොවැලැක්විය හැකිය.

මෙම නීතිවිරෝධී මසුන් මැරීමට නතුව ඇති ප්‍රදේශය මෙරටට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් විශාල ලෙස ගැවසෙන ප්‍රදේශයක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලය මගින් සංක්‍රමණික පක්ෂීන් අධ්‍යනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන ප්‍රදේශයකි. එබැවින් මෙවැනි වටිනා පරිසර පද්ධතියක් අනතුරේ හෙලමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවන සහ ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙන අවංක වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට පහරදෙන වනජීවී අපරාධකරුවන් මැඩලීමට ශ්‍රී ලංකා පොලීසිය මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ශ්‍රී ලංකා වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය දැඩි අප්‍රසාදය පළකරයි. එසේම එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප සංගම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින අතර ඒ පිළිබඳව දැඩිව අවධානයෙන් පසුවන බව දන්වනු කැමැත්තෙමු.

ජෙහාන් කනගරත්න ගරු සභාපති ශ්‍රී ලංකා වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය

leave a reply