යුද්ධයෙන් පීඩාවට පත් කාන්තා සංගමය (AWAW) විසින් ‘සමාජ සහජීවනය සහ සහජීවනය තුළින් සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම’ මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් සහ අනෙකුත් සාමය ගොඩනැංවීමේ සංවිධාන ද සහභාගී වීම විශේෂත්වයකි. ජාතික ඒකාග්‍රතාව සඳහා රජයේ කැපවීම පිළිබඳව අමාත්‍යවරයා එහිදී චතුර ලෙස කතාකළේය. මෙම අවස්ථාවට සර්ව ආගමික පූජකවරුන්, සිවිල් සමාජය, ශාස්ත්‍රීය ප්‍රජාව සහ තානාපති කාර්යාල කිහිපයක නියෝජිතයෝ 150 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට අමාත්‍යවරයාගේ සහභාගීත්වය සහ ඔහුගේ කතාව, සහභාගිවන්නන්ට සහ රටටම වැදගත් සංඥා දෙකක් ලබාදුන්නේය. ඉන් එක් පණිවිඩයක් වූයේ, ජාතික සංහිඳියා ක්‍රියාවලිය තම කාලය හා ශ්‍රමය කැපකිරීමට සුදුසු එකක් ලෙස රජය සලකන බවයි. අනෙක් පණිවිඩය වූයේ, රටේ යහපැවැත්ම සඳහා සිවිල් සමාජයේ සහ පුරවැසියන්ගේ කාර්යභාරය වැදගත් කොට සලකන බවයි.
‘සමාජ සහජීවනය සහ සහජීවනය තුළින් සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම’ යන මැයෙන් පැවැති සමුළුවේදී පැහැදිලි වූ සිවිල් සමාජයේ සාධනීය කාර්යභාරය වන්නේ, රජයට ගැටලු විසඳීමට අවශ්‍ය පසුබිම සිවිල් සමාජයට සකස් කළ හැකි වීමයි. ජාතික අවශ්‍යතා වෙනුවෙන් රජය ගන්නා තීරණ බිම් මට්ටමට ගොස් ජනතාවට පැහැදිලි කිරීමට රාජ්‍ය නොවන සංවිධානවලට හැකියාව තිබේ. ජාතික සංහිඳියාව පිළිබඳ අර්බුදය සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාව සමඟ ඇති ගැටලූ බිඳදැමීමට ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගත් මුලපිරීමක් මත සංවිධානය කළ මෙම සමුළුවට මුල්ෆර් අමාත්‍යවරයා සහභාගි වීම ආදර්ශයක් විය. 2023 අප්‍රේල් මාසයේදී දෙපාර්ශ්වය නේපාලයේදී හමුවූ අතර එහිදී ඔවුහු ජාතික සංහිඳියාව ගොඩනැගිය හැකි හිමාල ප්‍රකාශනය ලෙස අද හඳුන්වන මූලධර්ම මාලාවක් සකස් කළහ.
සම්මන්ත්‍රණයේ කැඳවුම්කරුවන් විසින් සකස් කර අමාත්‍ය මුලාෆර් වෙත භාරදුන් ප්‍රකාශය තුළ, හිමාල ප්‍රකාශනයේ සිට වසරක් පුරාවට රට පුරා පැවැති උපදේශන සඳහා සහභාගී වූ ආගමික පූජකවරුන්ගේ, සිවිල් සමාජයේ සහ ශාස්ත්‍රාලික ප්‍රජාවගේ අදහස් සාරාංශගත කර ඇත. හිමාලය ප්‍රකාශය මත ගොඩනැගුණු එම ප්‍රකාශය, දේශපාලන ප්‍රතිසංස්කරණ (ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින්), සංක්‍රාන්ති යුක්තිය (අතීතය සමඟ කටයුතු කිරීම), සමාන ආරක්ෂාව සහ සමාන අයිතිවාසිකම්, මලයහ දෙමළ (ඓතිහාසික අසාධාරණයන් කෙරෙහි අවධානය යොමුකරමින් / ඔවුන් අද දක්වාම යටත් වී ඇත) සහ යහපාලනය (නීතියේ ආධිපත්‍යය සහ වඩා හොඳ සහ සාධාරණ ශ්‍රී ලංකාවක් සඳහා රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම) යන කොටස් පහකින් සමන්විත විය.
වැඩිදුර උපදේශන
පසු විපරමක් ලෙස, එකඟ වී ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගය ගොඩනැගීමේ අරමුණින්, දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට ද කැඳවුම් සංවිධාන අදහස් කරයි. ජනවාර්ගික ගැටුම විසඳීමට අනුප්‍රාප්තික ආණ්ඩු සමත් නොවීමේ දිගු ඉතිහාසයට හේතු වී ඇත්තේ, ප්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුවේ මුලපිරීම් කඩාකප්පල් කිරීම සඳහා විරුද්ධ පක්ෂ සෑමවිටම ඉටුකරන ලද නිෂේධාත්මක කාර්යභාරයයි. ඒ නිසා මෙවර විරුද්ධ පක්‍ෂ ආණ්ඩුවේ ගොඩට එක්කර ගැනීම අවශ්‍ය වන අතර, සිවිල් සමාජයද මේ කාර්යයට සහාය වීමට සූදානම්ය.
පසුගියදා අවසන් වූ මහමැතිවරණයේදී ආණ්ඩුව, විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත සුළු ජනවාර්ගික සහ ආගමිකයන්ගේ සහයෝගය ලබාගත්තේය. වාර්ගික සහ ආගමික සුළුතරයන් වැඩි වශයෙන් සිටින උතුර සහ නැගෙනහිර දිස්ත්‍රික්ක අටෙන් හතක් ඇතුළුව සමස්ත රටම ජයග්‍රහණය කිරීමට මෙමගින් හැකිවිය. සිදුකරන ලද උපදේශනවලදී උතුර සහ නැඟෙනහිර ඡන්දදායකයන් තම ගැටලු විසඳීම සඳහා රජය කෙරෙහි විශ්වාසය තබා ඇති බවට ද අදහස් පළවිය. යාපනයේ පැවැති එවන් උපදේශනයකට සහභාගී වූ යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරයකු විසින් මෙය විස්තර කළේ, “උතුර සහ නැගෙනහිර ජනතාවට අවශ්‍යව ඇත්තේ ‘අතරමැදියකු’ හරහා නොගොස් රජය සෘජුවම ප්‍රශ්න විසඳීම” ලෙසිනි.
කෙසේවෙතත්, ආණ්ඩුව විසින් ක්‍රමය වෙනස් කිරීම සඳහා ක්‍රියාකාරී කරන ලද රජයේ ආයතනවලට දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් ඇතුළත් කරගැනීම වැදගත්ය. ඔවුන් ආණ්ඩු පක්‍ෂයේ සහ ආණ්ඩුවේ අභ්‍යන්තරයේ හෝ පිටතින් පැමිණි අය විය හැකිය. එය රජය කැමති ඕනෑම ආකාරයකින් විය හැකිය. “සමාජ, පාරිසරික සහ සදාචාරාත්මක පිබිදීමක් තුළින් සමාජය වඩාත් දියුණු තත්ත්වයකට පත්කිරීමේ” අරමුණ ඇතිව සන්නද්ධ හමුදා ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් අයගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පත්කරන ලදී. එය සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. එහෙත් එම සාමාජිකයන් ලැයිස්තුවට මුස්ලිම් හෝ දෙමළ ජාතිකයන් ඇතුළත්ව නැත. ශ්‍රී ලංකාව බහුවාර්ගික සහ බහුආගමික සමාජයක් වන බැවින්, කාර්ය සාධක බලකායට ඇති ගැටළු පිළිබඳව වඩාත් පැහැදිලි දැක්මක් ලබාගැනීම සඳහා ඔවුන් ද ඇතුළත් කිරීම අවශ්‍ය වේ.
ඉදිරිය දැකීම
දෙමළ සහ මුස්ලිම් ජනතාවට අතරමැදියන් හරහා නොගොස් රජය හරහා තම ප්‍රශ්න විසඳාගැනීමට අවශ්‍යව ඇත්තේ, දෙමළ හා මුස්ලිම් ජනයාගේ සම්ප්‍රදායික දේශපාලන පක්‍ෂවල ප්‍රවේශයන් කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීම නිසා විය හැකිය. ඔවුන්ගේ ගැටළු තවමත් පවතින අතර, ඒවා විසඳාගැනීමට ඔවුන්ට අවශ්‍ය වේ. මලයහ දෙමළ ජනයාගේ තත්ත්වය ඊට පැහැදිලි උදාහරණයකි. නිදහස උදාවන විට ඔවුන්ට පුරවැසි අයිතිය අහිමි විය. මලයහ දෙමළ ජනතාව එම වෙනස් කොට සැලකීමේ ක්‍රියාවෙන් දිගින් දිගටම පීඩා විඳිති. ඔවුන් තවදුරටත් ලයින් කාමරවල ජීවත් වන අතර ඔවුන්ට කියා පැවැසීමට ඉඩමක නිවසක් නොමැත. ඔවුන්ට තමන්ගේම නිවසක් සාදාගැනීම සඳහා පර්චස් හතක ඉඩමක් ලබාදීමට පසුගිය ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීරණය තවමත් ක්‍රියාත්මක වී නොමැත. යටත් විජිත යෝජනා ක්‍රම, ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග සහ නිවාස මිලියනය වැනි දැවැන්ත නිවාස වැඩසටහන් වැනි විවිධ උපාය මාර්ග භාවිත කරමින් ඉඩම් නොමැතිකම සඳහා ප්‍රතිකර්ම සැපයීමේ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත.
උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාවටද එය එසේමය. ඔවුන්ගේ ගැටළු විසඳීම, කුඩා, අර්ථවත් පියවරවලින් පටන්ගෙන, විශ්වාසය නැවත ගොඩනඟා, විශාල ප්‍රතිසංස්කරණ සඳහා මගපෑදිය හැකිය. ඔවුන්ගෙන් සමහරකට වසර ගණනාවකට පෙර හමුදාව නිසා තම ඉඩම් අහිමි වූ අතර, තවමත් ඒවා ආපසු ලබාගැනීමට නොහැකි වී තිබේ. ඔවුන්ගෙන් ඇතැමකුට දරුවන් අහිමි වී ඇති අතර, ඔවුන් සිටින්නේ කොහේද, ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි නොදනී. එම දරුවන්ගෙන් සමහරක් ඔවුන්ගේ දෙමාපියන් විසින් හමුදාවට භාරදුන් නමුත් ඇතැමකු ගැන තොරතුරු නොමැත. මූලික මට්ටමින්, දෙමළ භාෂාව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ රාජ්‍ය භාෂාවක් බවට පත්කර තිබුණද, දෙමළ භාෂාව කතාකරන ජනතාවට රජයෙන් කෙරෙන නිල සන්නිවේදනයන් දිගටම කෙරෙනුයේ සිංහල භාෂාවෙන් ය. වඩාත් මෑතකාලීන සහ වඩාත් අස්ථාවර, ගැටලුවක් වන්නේ, ඔවුන්ට තර්ජනයක් වන ආකාරයට පෙනෙන පැරණි ආගමික ස්ථාන පිළිබඳ අර්බුදයයි.
පෙර කී උපදේශනවලදී, දෙමළ සහ මුස්ලිම් ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ, විශාල දේ කිරීමට නොව, කුඩා දේවලින් පටන් ගන්නා ලෙසට යැයිද මතයක් පළවිය. ඇත්ත වශයෙන්ම, හමුදාව විසින් පවරා ගන්නා ලද පෞද්ගලික ඉඩම් කිහිපයක් රජය විසින් නැවත ඒවායේ අයිතිකරුවන්ට ලබා දී ඇත. වසර තිහකට වැඩි කාලයක් වසා තිබූ මාර්ගයක් විවෘත කළේය. පොලිසියේ හිරිහැරවලට මුහුණ නොදී සිය ඥාතින් ස්මරණය කිරීමට (එය දැනටමත් නීතියෙන් අවකාශය සපයා ඇත) දෙමළ ජනතාවට අවස්ථාව ලබාදුන්නේය. පළාත්සභා මැතිවරණ පැවැත්වීම සඳහා රජය නීතිමය පදනම සකස් කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ද තහවුරු කර තිබේ. බලා සිටීමට බොහෝ දේ ඇත. ශ්‍රී ලංකාවට කල් පවත්නා සංහිඳියාවක් සාක්ෂාත් කර ගැනීම සඳහා, සියලුම ප්‍රජාවන්ගේ සාමාජිකයන්, පාලනයේ සෑම තරාතිරමකම ගැටලු විසඳීමේ යෙදෙන එහි යාන්ත්‍රණයන්හි කොටසක් ලෙස එක්කරගන්නා බවට රජය සහතික විය යුතුය.