විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරියට ඇති කිරීමට යම් අපහසුවක් ඇති බවයි.
කෙසේ වුවත් රජය විසින් ගෙන යන නිරෝධායන වැඩසටහන සඳහා හමුදාව අවශ්‍ය සියලු දෙනා පහසුකම් ලබාදීම සිදුකරමින් සිටින බවද මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත් වී ඇති බවද මෙහිදී හමුදාපතිවරයා කියා සිටියා.
”විදේශගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 – 35,000 අතර මිලකට.
මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ” යනුවෙන් හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
විදේශ ගතව සිට මෙරටට පැමිණෙන්නන් නිරෝධායනය කිරීම ඇරඹු මුල් දිනවල නිරෝධායන ක්‍රියාවලිය සඳහා රජයෙන් මුදල් අයකරන බව සඳහන් පත්‍රිකාවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය. නමුත් පසුව ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එවැනි කිසිදු මුදල් අයකිරීමේ බලාපොරොත්තුවක් තමන්ට නැති බව පවසමිනි.
ඉන් පසු ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද සිසුන්ගෙන් ලක්ෂයට වඩා මුදලක් අයකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය වූවේ වසංගතය හේතුවෙන් ගුවන් ගමන් සඳහා අධික මුදලක් වැයවෙන බැවින් මෙම මුදල අයකරන බවයි.
එහෙත් මුල් අවස්ථාවේ චීනයේ සිට ගෙන්වන ලද සිසුන්ගෙන් එවැනි මුදලක් අයකරන ලද බව සඳහන් නොවුණි.
හමුදාපතිවරයා කියන ආකාරයට නිරෝධායනය ක්‍රියාවලිය සඳහා පහසුකම් ප්‍රමාණවත් නොමැති නම් ආණ්ඩුව කළ යුත්තේ එම පහසුකම් පුළුල් කිරීමයි. වසංගතය පැතිරෙමින් තිබූ මුල් අවස්ථාවේ චීනයේ සිට ගෙන්වන ලද සිසුන් රැඳවීම සඳහා දියතලාව යුධ හමුදා කඳවුර තුළ අලුතින්ම ගොඩනැගිලි පහසුකම් ඉදිකරන ලදී. වසංගතය මැඩලීම සඳහා ඉක්මනින් මැදිහත්වෙන බව පවසමින් ආණ්ඩුව එම ඉදිකිරීම් ගැන උදම් අනනු දැකිය හැකි විය. එසේම හමුදා සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් ඉදිකරන ලද තාවකාලික රෝහල් පහසුකම් පුළුල් කිරීම පවා මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙමින් එය චීනයේ රෝහල් ඉදිකිරීමට සමාන කරන ලදී. එසේනම් රෝගීන් වැඩිවෙමින් යන මේ මොහොතේත් එවැනි පහසුකම් පුළුල් කිරීමක් ආණ්ඩුවෙන් සිදුනොකරන්නේ ඇයිද යන ගැටලුව මතුවේ.
ජනාධිපති අරමුදලට මිලියන ගණනින් දෙස් විදෙස් ආධාර ලැබෙන්නේ මෙම කටයුතු සඳහා වසංගතය පාලනයට සහ ඒ වෙනුවෙන් පහසුකම් සැලසීමට අරමුදල් යෙදවිමටයි. මෙවැනි කටයුතු සඳහා වියදම් නොකර කුමන කටයුත්තක් සඳහා වියදම් කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවාද යන ප්‍රශ්නය මතුවේ. සුනාමි අරමුදල් කොල්ල කෑම ඇතුලු විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන්ගෙන් නිර්මාණය වී ඇති ආණ්ඩුව මේ අරමුදල් ද කොල්ල කෑමට සූදානමක් පවතින බවට ජනතාවට සැක මතුවෙමින් ඇත.
එමෙන්ම සංචාරක හෝටල් කිහිපයක්ම සෞඛ්‍ය සේවකයන්ට නිරෝධායනයට ලක්වීම සඳහා නොමිලේ පරිත්‍යාග කරන බව මුල් කාලයේ ප්‍රචාරණය කෙරිණි . එහි ප්‍රධාන තැනක් ගනු ලැබුවේ ප්‍රසිද්ධ හෝටල් වෙන ජෙට්වින් බ්ලූ සහ සිට්‍ර්ස් වස්කඩුවයි. නමුත් කිසිවෙකු එම හෝටල්වල නිරෝධායන කටයුතු සඳහා යවනු දක්නට නොලැබුණි. දැන් හදිසියේම එම හෝටල් නිරෝධායනය කටයුතු කිරීම සඳහා දිනකට 7500ක් අයකරන බව පවසයි. මේ අනුව නිරෝධායනය ක්‍රියාවලිය හරහා සංචාරකයන් නොමැතිව පාඩු ලබමින් සිටින හෝටල්වලට ආදායම් ලබාදීමේ ආණ්ඩුවේ සැලසුමක් පවතින බවටද සැක මතුවෙමින් තිබේ.
ලෙඩ රෝගයක් යනු මිනිසුන් අසරණ වන අවස්ථාවකි. ඊටත් වඩා වැළඳීමෙන් මරණය ගෙන දිය හැකි වසංගතයක් යනු මිනිසුන් ලෙස ඉතා අසරණ වෙන අවස්ථාවකි. ඕනෑම මිනිසෙක් උත්සාහ කරන්නේ ඉන් බෙරිමටයි. විදෙස් රටවල සිටින ලාංකිකයන් ද තමන්ව ගෙන්වා ගන්නේ නම් ඕනෑම කැප කිරීමක් සිදුකිරීමට කැමති බව පවසන්නේ ඒ නිසාවෙනි. එවැනි අසරණ අවස්ථාවක් මුදල්වලට මිල කිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ ලක්ෂණයක් නොවේ. ආණ්ඩුවට එවැනි ශිෂ්ඨ සම්පන්න බවක් නැති බව වසංගතය අවස්ථාවේ ඕනෑවටත් වඩා ඔප්පු කර හමාරය. එහෙත් ජනතාව ලෙස අපි එම ශිෂ්ඨ සම්පන්න භාවය අහිමි කරන තුරු නිහඬව සිටිය යුතුද යන ප්‍රශ්නය මතුවේ.