අපි පසුගිය ලිපියෙන් ආර්ථික අර්බුදයක් කියන්නේ මොනවගේ තත්වයක් ද? කියලා සාකච්ඡා කරා. ඒ වගේම පසුගිය සියවස් දෙකේ ඇතිවුනු දැවැන්තම ආර්ථික අර්බුදය කිහිපයක් ගැනත් දැනගත්තා. කොරෝනා වසංගත තත්වය විසින් අප ඉදිරියට ගෙන විත් තිබෙන ආර්ථික අර්බුදය ගැන පුරෝකථනයන් සිදු කරන ආර්ථික විශ්ලේෂකයින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි සියලුම පාර්ශව ස්ථිරව සදහන් කරන එක කරුණක් තිබෙනවා. ඒ 2020-20?? ආර්ථික අර්බුදයේ ස්වභාවය සැසදිය හැක්කේ 2007-2009 අර්බුදය සමග නොව 1929-39 මහා ආර්ථික අර්බුදය සමග බවයි. එනිසා අපගේ ලිපි මාලාවේ දෙවන ලිපිය වෙන්වෙන්නේ 1929-39 මහා ආර්ථික අර්බුදය ගැන සහ එහි සමාජ-දේශපාලන ප්‍රතිවිපාක ගැන සාකච්ඡා කරන්න.
මෙම අර්බුදයේ පැමිණීම පිළිබඳ දැන සිටියේ ඇමෙරිකානුවන් කිහිප දෙනෙකු පමණයි. එවකට ඇමෙරිකානු ජනාධිපති “හර්බට් හුවර්” මේ පිළිබඳව දැන සිටියත් ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග කිසිවක් ඉතිරි වී තිබුණේ නැහැ. 1929 සැප්තැම්බර් 04 වැනිදා නිව්යෝක් කොටස් වෙලඳපොලේ කොටස් මිල ගණන් වල සිදු වූ හදිසි පහත වැටීමත් සමඟම ආර්ථික අර්බුදයක පළමු සංඥා එළි දැල්වුණා. නමුත් වසර 10 ක පමණ සිට ඇති වු දැවැන්ත ආර්ථික වර්ධනයෙන් මුසපත් ව සිටි ඉහළ සහ මධ්‍යම පාන්තික ඇමෙරිකානුවන්ගේ “සදාකාලික සෞභාග්‍යයෙන් පිරි ඇමෙරිකාවක් “ගැන සිහිනයට එය එතරම් බලපෑමක් වූයේ නැහැ. නමුත් 1929 සැප්තැම්බර් 20 බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් කොටස් හුවමාරුවේ බිද වැටීම ඔවුන් අවදි කිරීමට සමත් වූවා. 1929 ඔක්තෝබර් 29(කළු අගහරුවාදා-Black Tuesday) දා ඇමෙරිකානුවන්ගේ “මේඝ නාදයේ දශකයේ”(The Roaring 20’s) තාර්කික අවසානය උදාකරමින් නිව්යෝක් කොටස් හුවමාරුව ලෝක ආර්ථික ඉතිහාසයේ දරුණුතම කඩාවැටීම සලකුණ කිරීමට සමත් වුණා. එක් දිනක් තුල ඇ.ඩො. බිලියන 30 ක් පමණ ආයෝජන අහිමි වුණා. මෙය ඉතා වේගවත් මූල්‍ය සහ කාර්මික ප්‍රාග්ධනයන් ගේ බිද වැටීමකට බලපෑවා. ඇමෙරිකානු බැංකු සහ මූල්‍ය ආයතන බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කළ අතර එය “මූල්‍යමය වසංගතයක්” ලෙසින් බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රියාව, පෝලන්තය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් හි ආර්ථිකයන් ට දැඩි පහරක් එල්ල කළා. ( 1 ලෝක යුද්ධයේ ආර්ථික බිද වැටීම හේතුවෙන් යුරෝපයේ රටවල් ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 8 ක පමණ ණයක් ලබා ගෙන තිබුණා. අර්බුධයත් සමගම ඇමරිකානු බැංකු වලට එම ණය මුදල් කප්පාදු කිරීමට සිදු වුණා.) 1929-1932 කාලය අතරතුර පමණක් ලෝක “දළ දේශීය නිෂ්පාදිතය” (GDP) දළ වශයෙන් 15% පමණ ඇද වැටුණා. 2007-2009 ආර්ථික අර්බුදයේ දී ලෝක දළ දේශීය නිෂ්පාදිතයේ ඇද වැටීම සලකුණ වූයේ 1% ටත් අඩුවෙන් වීම ම 1929 අර්බුදයේ ප්‍රමාණය පිළිබඳ සංසන්දනාත්මක අදහසක් ලබා ගැනිමට ප්‍රමාණවත්. ජාත්‍යන්තර වෙළඳාම 50% කින් බිදවැටුණා. අර්බුදයේ උච්චතම ලක්ෂ්‍යය සටහන් වූ 1933 වසර වන විට ඇමෙරිකාවේ පමණක් සමාගම් 20000 කට අධික ප්‍රමාණයක් බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරා, ඇමරිකාවේ පමණක් මිලියන 15 කට රැකියා අහිමි වුණා. ප්‍රතිශතයක් ලෙස එය 23% ක්. යුරෝපයේ දී එය 33% ක පමණ අගයක් ගත්තා.
මෙම තත්වය තේරුම් ගන්න නම් අපට වසර 15 ක් පමණ අතීතයට යෑමට සිදු වෙනවා.
1914 ජුලි මාසයේදී පුපුරා ගිය 1 වන ලෝක යුද්ධය 1918 නොවැම්බර් පමණ වන විට අවසන් වූයේ මුළු මහත් යුරෝපයම නරකාදියක් බවට පත්කරමින්. යුද්ධයේදී මුලින් ඇමෙරිකානු ප්‍රවේශය වූයේ යුද්ධයේ පාර්ශවකරුවකු නොවී දෙපාර්ශවයටම අවශ්‍ය යුධ අවි , ආහාර වැනි අතවශ්‍ය ද්‍රව්‍ය විකිණිමයි. ඔවුන් ඉන් අති දැවැන්ත ලාභයක් උපයනු ලැබුවා. නමුත් යුද්ධය අවසාන කාලයේදි ජර්මනිය ඇ.එ.ජනපද නෞකාවලට පහර දෙන්නට වූ බැවින් අමෙරිකාවත් යුද්ධයට අවතිර්ණ වුණා. නමුත් ඔවුන්ට පලමු ලෝක යුද්ධයෙන් සිදු වූයේ වාසියක් පමණයි. යුද්ධය අවසන් වන විට එතෙක් ලෝක බලවතා වූ බ්‍රිතාන්‍ය දැඩි ආර්ථික-සමාජීය අර්බුදයකට ගොදුරු වූ අතර අනෙකුත් රටවල තත්වයද එසේම වුණා. යුරෝපය පුරා විරැකියාව, කර්මාන්ත බිද වැටීම , වෙලදපොල බිදවැටීම උපරිමයට වර්ධනය වුණා. යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවලට ඇමෙරිකාවෙන් විශාල වශයෙන් ණය ලබා ගැනීමට සිදු වුණා. මේ පසුබිම තුළ 1 ලෝක යුද්ධයෙන් තරකර ගත් දැවැන්ත ප්‍රාග්ධනයන් නිසා ඇමෙරිකාවේ දැවැන්ත ආර්ථික වර්ධනයක් ඇති වුණා. 1920 න් ඇරඹි වසර 9 ක පමණ කාලය තුළ සිදු වූ මෙම වර්ධනය හැදින්වූයේ The Roaring Twenties ( මේඝ නාදයේ දශකය) ලෙසයි.
1920 න් ඇරඹි දශකයේදී ඇමරිකානු ආර්ථිකය 42% වර්ධනයක් අත්කරගත්තා. කොටස් වෙලඳපොල වටිනාකම් 1922 සිට 1929 දක්වා වසර 7 තුළදි එක් වසරකට 20% ක වර්ධන වේගයක් ලබමින් 218% ක දැවැන්ත වර්ධනයක් අත්පත් කරගත්තා. ලොව කිසිම රටක් එතෙක් එවැනි කොටස් වෙලඳපොල වර්ධනයක් දැක තිබුණේ නැහැ. මෙය හේතුවක් වුණා මිලියන ගණනක් මැද පාන්තිකයන් කොටස් වෙලඳපොල ආයෝජනයන් වෙත යොමු වීමට. එය කොටස් වෙළෙඳපොළ තුළ දැවැන්ත මූල්‍ය සමපේක්ෂණ ක්‍රියාවලියකට මගපෑදුවා.
1929 කොටස් වෙලඳපොල කඩා වැටෙන තෙක්ම ඔවුන් තරයේ ඇදහුවේ , ඔවුන්ගේ ආර්ථිකය සදාකාලික සෞභාග්‍ය කරා වූ මාවතේ වේගයෙන් ඉදිරියට ඇදෙන බවයි. ප්‍රාග්ධනයේ සිදු වූ මෙම වර්ධනයත් සමගම විශාල “කාර්මික නිෂ්පාදන” ක්‍රියාවලියකට ඇමෙරිකාව යොමු වුණා. රටපුරා විදුලිබලය සැපයුණු අතර Ford මෝටර් රථ අති දැවැන්ත ප්‍රමාණයකින් නිශ්පාදනය වුණා. මධ්‍යම පාන්තික නිවෙස් අරුමෝසම් ගෘහභාණ්ඩ වලින් පිරි ඉතිරි ගිය අතර ඇමෙරිකාව දැඩි “පරිභෝජනවාදී” ආර්ථිකයට යොමු වුණා. ඔවුන් ගේ වෙළදපල ආදර්ශ පාඨය වූයේ Live today! Enjoy today! This is the life! Stop worrying about tomorrow!(අද ජිවත් වෙන්න!අද සතුටු වෙන්න! ජීවිතය යනු මෙයයි!හෙට ගැන තැවිම තවතන්න!)
කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට යොමු වූ බොහෝ මැද පාන්තිකයන් තම සියලු දේපළ විකුණා (රැකියා නොකර ) එම මුදල් කොටස් වෙලඳපොල ආයෝජනය කර ඉන් ලැබෙන ලාබයෙන් ජීවත්වන්නන් බවට පත් වූණා. මුළු ආර්ථිකය ම විනෝද ආර්ථිකයක් බවට පත් වුණා. මේ තත්වය තවත් වර්ධනය කරමින් ඉතිහාසයේ පළමු වතාවට මහා පරිමාණයෙන් පුද්ගල ණය ලබා දීම ඇමෙරිකානු බැංකු මගින් ආරම්භ කෙරුණා. ප්‍රකට Buy today! Pay tomorrow! (අද මිළට ගන්න! හෙට ගෙවන්න)
ඉන් පසු කොටස් වෙළෙඳපොළ තුළද මෙය ඇරඹුණා. කොටස් වල මුළු වටිනාකමින් කොටසක් ගෙවමින් ඒවා මිලට ගැනිමේ හැකියාව ලබා දුන්නා. ආර්ථිකය පිමි පනිමින් වර්ධනය වෙද්දී එහි විනාශය එය තුළම ලියවී තිබුණා. ඊනියා” ආර්ථික වර්ධනය” යනු ධනපති පන්තියේ ආර්ථිකයේ වර්ධනය ඔප්පු කරමින් ඇමෙරිකාවේ පන්ති විෂමතාවය එහි උපරිමයට වර්ධනය වී තිබුණා. මුළු ආර්ථිකයෙන් 33% ක් ජනගහනයෙන් 5% ක් අතර රැදුනු අතර 60% ක් වූ බහුතරය දරිද්‍රතාවයේ සීමාවටත් යටින් ඉතා ආන්තික තත්වයක පැවතුණා. ඉතින්, පැවති අධි නිශ්පාදනය ඒ වන විට ඇමෙරිකාවේ පැවති මැද පාන්තික වෙළදපොල සීමාව ඉක්මවා යමින් තිබුණා. ඇමෙරිකාවේ 60% ක පහල පාන්තිකයන් ගේ ක්‍රය ශක්තිය සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වී තිබුණා. යුරෝපයේ ආර්ථිකය ඒ වන විටත් කඩා වැටී තිබූණ බැවින් එහි ද ඇමෙරිකාවේ මෙන් පරිභෝජනවාදයට ගැලපෙන වෙළදපොලක් පැවතියේ නැහැ. එබැවින් ආර්ථිකයේ සැබෑ වටිනාකම් වල වර්ධනය මන්දනය වෙමින් තිබුණා. නමුත් කොටස් වෙලඳපොල තුළ වූ විශාල මුල්‍ය සමපේක්ෂණ ක්‍රියාවලියත්, ණය ක්‍රියාවලියත් නිසා දැවැන්ත ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළත් එය හුදෙක් දෘෂ්ටි මායාවක් වුණා. ඇමෙරිකානු ආර්ථිකය තුළ පැවති මෙම අභ්‍යන්තර සතුරු ප්‍රතිවිරෝධය 1929 වන විට එහි උපරිමය අත්පත් කරගෙන තිබුණා. එයයි 1929-39 මහා ආර්ථික අර්බුදය ලෙසින් පුපුරා ගියේ. මේ තත්වය තවත් උග්‍ර වීමට 1930-36 කාලයේ ඇමෙරිකානු හා කැනේඩියානු මහා පරිමාණ කෘෂිකර්මයට මරු පහරක් වූ “දුවිලි කුණාටු” තත්වය ද හේතුවක් වුණා. එමගින් ආහාර හිගයකුත් , කෘෂිකර්මයේ නියුතු වූවන් ගේ ජිවන උපාය අහිමි වීමකුත් සිදු වුණා. ඉතින් මේ තමයි 1929-39 මහා ආර්ථික අර්බුදය කියන්නේ. මෙය ලොව පුරා, විශේෂයෙන් යුරෝපයේ විශාල සමාජ-දේශපාලන ඛේදවාචකයකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරා.
ලෝක යුද්ධයේ දී වූ පරාජයත් , ජයග්‍රාහී රටවල්වලට විශාල වන්දියක් ගෙවීමට සිදු වීම නිසාත් දැවැන්ත සමාජ-දේශපාලන-ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි ජර්මනිය මින් අගාධයකට ඇද වැටුණා. බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ඇමෙරිකාව යන රටවල් වල රූකඩයක් වූ ජර්මන් “වෙයිමාර් සමූහාණ්ඩුවට” එරෙහිව ජර්මනිය තුළ ගොඩනැගෙමින් තිබූ දැවැන්ත ජන විරෝධය කෙළවර වූයේ අන්ත දක්ෂිණාංශික අත්තනෝමතික වර්ගවාදී ආඥාදායකත්වය ක් නිර්මාණය වීමෙනි. එහි පුද්ගල ප්‍රකාශකයා වූයේ ඇඩොල්ෆ් හිට්ලර් ය. මෙය රෝසා ලක්සම්බර්ග් පැහැදිලි කළේ ” නාසි වාදය යනු පැවති තත්වය සමාජවාදයේ ජයග්‍රහණය උදෙසා මෙහෙය වීමට අසමත් වූ ජර්මන් වාමාංශයට ලැබුණු ඓතිහාසික දඩුවමක් “ලෙසයි.
ඉතාලියේ ද පළමු ලෝක යුද්ධයේ අවසානයේ සිට ක්‍රමිකව ගොඩනැගෙමින් තිබූ බෙනීටෝ මුසෝලිනි ගේ ෆැසිස්ට් ව්‍යාපාරයේ වේගවත් වර්ධනයට මෙම ආර්ථික අර්බුදය ප්‍රධානතම සාධකය වුණා. මීට අමතරව යුරෝපය පුරා ෆැසිස්ට් ව්‍යාපාර පැන නැගුනා. ( ඕස්ට්‍රියාව, හන්ගේරියාව, පෝලන්තය,ස්පාඤ්ඤය,…) ආසියාවේ ජපානය හා දකුණු ඇමරිකාවේ බ්‍රසීලය, චිලී වැනි ලොව පුරා රටවල් වල මෙය ව්‍යප්ත වූවා.(ෆැසිස්ට්වාදය පිළිබඳ ඉදිරි ලිපියකින් පුළුල්ව සාකච්ඡා කරනු ලැබේ)
ෆැසිස්ට් සහ නාසි වාදයන් (පොදුවේ ෆැසිස්ට්වාදය) යනු “ලාභය සෙවීම සඳහා මුළු සමාජයම සංවිධානය කරන අධිරාජ්‍යයවාදී ධනපති පන්තිය විසින්, ඔවුන්ට නොවැලැක්විය හැකි සේ විටින් විට මතුව දැවැන්ත ප්‍රාග්ධනයන් අපායට ඇද ගෙන යනු ලබන ධනේෂ්වර ආර්ථික අර්බුදයේ ඓතිහාසිකව උච්චතම වූ ලක්ෂ්‍යයේ දී තම පැවැත්මේ ස්වභාවික විනාශයට එරෙහිව දැක්වූ අන්ත ම්ලේච්ඡ, වියරුතම, දූෂිතම සහ වෛරීම ප්‍රකාශනයයි. වර්ගවාදය, ජාතිවාදය එහිදී ඔවුන්ගේ ප්‍රබලතම අවියයි.”සමාජයෙහි ආර්ථික පදනමෙහි වු බිදවැටීම මගින් ජනිත වූ මෙම ආන්තික දේශපාලන-සමාජ ප්‍රවණතාවන් හි තාර්කික අවසානය වූයේ මිනිස් ඉතිහාසයේ දැවැන්තම දේපළ විනාශයටත්, මිනිස් සංහාරයටත් හේතු වු 2 වන ලෝක යුද්ධය යි. 1 හා 2 වන ලෝක යුද්ධ පිළිබඳව ඉදිරිපත් කෙරෙන කරුණු , දත්ත , තොරතුරු, සිද්ධීන් හා විඥානවාදී ඉතිහාසමය පැහැදිලි කිරිම් වලින් වසා දමන පරම සත්‍යය නම් , ලෝක යුද්ධ යනු ලාභ අරමුණින් බෙදා ගත් ලොව (වෙළදපොල;ඔවුන්ට මුළු ලොවම වෙළදපොලකි.) නැවත බෙදා ගැනිම සදහා අධිරාජ්‍යවාදී ධනපති පන්තියේ කණ්ඩායම් අතර ඇති ම්ලේච්ඡතම තරගයේ අතිඅමානුෂිකම ප්‍රකාශනය බවයි. අප තේරුම් ගත යුතු පලමු කාරණය වන්නේ මෙය ඉතිහාසයේ තවත් එක් හුදකලා සිද්ධියක් නොවන බවයි.
1929-39 මහා ආර්ථික අර්බුදය නිමා වූයේ මහා විනාශයකට සමාජයම ඇද දමමින්.
නැවත වටයකින් දැන් අපි මේ ගෙවන්නේ අතිශය තිරණාත්මක මොහොතක්. දැන් අපි හමුවට ඇවිත් තියෙන ආර්ථික අර්බුදය පසුගිය දශකය පුරාම ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබූවක්. කොරෝනා වසංගතය විසින් සිදු කරේ මෙම ආර්ථික වසංගතය ටිකක් ඉක්මන් කරපු එකයි.
ආර්ථික අර්බුදයේ වර්ධනයට සමානුපාතික ලෝකය පුරා වර්ගවාදී, ජාතිවාදි ප්‍රවනතාවන්ගේ වර්ධනයක් සිදුවූණා. අන්ත දක්ෂිණාංශික අත්තනෝමතික ජාතිකවාදී නායකයින් බලයට පත් වුණා. ජර්මනියේ නව නාසි ව්‍යපාරයන් ගොඩ නැගුණා. ඔවුන් එරට පාර්ලිමේන්තුවටත් තේරිලා පත් වූවා. ලංකාවේත් මෙය එලෙසම සිදු වෙමින් පවතිනවා. එම නිසා අපි ලිපියේ ඊළග කොටසින් ෆැසිස්ට්වාදය පිළිබඳ කතාකරමු! එතෙක් කොරෝනා වෙන් ආරක්ෂා වෙමු! භෞතිකව දුරස්ථව නමුත් සමාජයක් ලෙස එක්ව සිටිමු!
Youth for Chenge