මේ මොහොත වනවිට කොරෝනා වසංගතය මිනිස් ඉතිහාසයේ සිදු වූ දැවැන්තම ඛේදවාචකයන් ගෙන් එකක් වෙලා ඉවරයි. මේක ඇතිවුනේ , පටන් ගත්තේ කොහොම, කොතනින් වුවත් දැන් වෙනකොට මේ තත්වය විසින් දැවැන්ත අර්බුදයකට , ආතතියකට මුළු ලෝකයම ඇද දමලා තියෙනවා. මේ වසංගතයට ජාති, ආගම්, කුල , පන්ති බේදයක් නැහැ කියලා මතයක් වසංගතය ආරම්භයේ දී පටන් අපිට අහන්න ලැබුණා! ඔව් වෛරසයට පුළුවන් ජාති, ආගම්, පන්ති බේදයකින් තොරව කෙනෙකුව රෝගියෙකු බවට පත් කරන්න. නමුත් ගත වූ මාස කිහිපයේ ඇස් ඇරගෙන නම් හිටියේ හොදින්ම පෙනෙනවා වසංගතයක්, ව්‍යසනයක් ඇතුලෙත් “පන්තිමය දේශපාලනය” කොහොමද වැඩකරන්නේ කියලා. ඒ කියන්නෙ , වෛරසයට පන්ති අදාල නැති වුනත් මේ වසංගතයට අපි මුහුණ දෙන්නේ අපේ පන්තිමය ජීවිතය විසින් අපව පත් කර ඇති තත්වයන් යටතේ යි කියන කාරණය. මේ වසංගතයෙන් වැඩිම පිඩාවට ලක්වෙලා ඉන්නෙ වැඩකරන පංතිය. මේ වසංගතයෙන් වැඩිම ජිවිත අහිමි වුනෙ වැඩකරන පංතියෙන්. මේ වසංගතයට එරෙහිව අවම සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් වත් නොමැතිව සටන් කරන්නෙ වැඩකරන පංතිය. ධනපතියන්, මැද පංතිකයන් මාස ගණනකට ඇති වෙන්න බඩු ගොඩගහගෙන සනීපෙට ඉදිමින් වැඩ කරන ජනතාව අන්දන්න ප්‍රශස්ති ගී ගයනවා. ධනාත්මකව හිතන්න කියනවා!!
මේ වසංගතයත් එක්කම අපි ඉදිරියට ඇවිත් තියෙනවා අර්බුදයක්. ඒ දැවැන්ත ලෝක ආර්ථික අර්බුදයක් සහ එමගින් ජනිත කිරීමට නියමිත ව්‍යසනකාරී සමාජ-දේශපාලන තත්වයක්. මේවනවිට මේ ආර්ථික අර්බුදය ගැන ලොව පුරා ඉන්න ආර්ථික විශ්ලේෂකයින්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක කම්කරු සංවිධානය ආදි පාර්ශව ගණනාවකින් තමන්ගේ පුරෝකථන ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ධනපතියන් ඔවුන්ගේ මාධ්‍ය, කේවට්ටයින් හරහා මේ ආර්ථික අර්බුදයේ බර කරගහන්න සුදානම් වෙන්න කියලා අපිට කියනවා! ඉතින් Youth For CHEnge විදිහට අපි හිතුවා ආර්ථික අර්බුද කියන්නෙ මොනවද?, අතීතයේ ඇති වුන ආර්ථික අර්බුද මොනවද?, ඒවා විසින් ඇති කරපු සමාජ-දේශපාලන ප්‍රතිවිපාක ( ෆැසිස්ට්වාදය, ලෝක යුද්ධය වගේ..) මොනවද කියලා ඕගොල්ලත් එක්ක පොඩි කතාබහක් , සංවාදයක් ඇති කර ගන්න ඕනි කියලා. ඒ ගැන ලියවෙන ලිපියේ පලමු කොටස තමයි මේ විදිහට පලවන්නෙ.
ආර්ථික අර්බුදයක් කියන්නේ මොනවගේ තත්වයක් ද? ආර්ථික අර්බුදයක දී මුළු ලෝකයේම නිශ්පාදන ක්‍රියාවලියේ දැවැන්ත බිද වැටීමක් ඒ නිසාම ජන ජීවිතයේ සිදුවන දැවැන්ත බිද වැටීමක් නිරික්ෂණය කරන්න පුළුවන්. ආර්ථික අර්බුදයක දී කොටස් වෙලඳපොලවල්, දැවැන්ත මූල්‍ය ආයතන, සමාගම් කඩාවැටෙනවා, කර්මාන්තශාලා වැසි යනවා, මිලියන ගණන් කම්කරුවන්ට රැකියා අහිමි කරනවා, සමාජ සුභසාධන කපා හරිනවා, මැද පංතිකයන් ට කම්කරුවන්ගේ ජිවන තත්වයට පහත බහින්න සිද්ධ වෙනවා, වැඩකරන පංතියේ ජනතාව ගේ ජීවිතය දැඩි අර්බුදයකට ලක් වෙනවා, ධනපති පන්තිය තුලින් අන්ත දක්ෂිණාංශික අත්තනෝමතිකත්වයන් නිර්මාණය විම සිද්ධ වෙනවා.ඒ තමා ආර්ථික අර්බුදයක මතුපිට පෙනුම.
එතකොට මේ ආර්ථික අර්බුද කියන්නෙ අහඹු සිදුවීම් ද? ඉතාම ශක්තිමත්ව , සෞභාග්‍යමත් ව තිබෙන ආර්ථිකයක් කාගේ හරි අත්වැරදීමකින්, හිටිහැටියෙ එන ස්වභාවික ව්‍යසනයකින් , වසංගතයකින් එක පාරටම බිද වැටෙන එකද ආර්ථික අර්බුදයක් කියන්නේ? නැහැ . එවැනි සිදුවීම් ආර්ථික අර්බුද තිවෘ වෙන්න , ඉක්මන් වෙන්න හේතු වෙනවා. නමුත් ආර්ථික අර්බුද වල මූලය තියෙන්නේ මේ ආර්ථික ක්‍රියාවලිය ඇතුලෙම යි.
ඒ කියන්නේ ” නිශ්පාදනයේ හා ඵල අත්පත් කරගැනිමේ ක්‍රියාවලිය” තුළමයි. මේ ආර්ථික ක්‍රියාවලිය තුළ ක්‍රමානුකූලව ප්‍රමාණාත්මකව වර්ධනය වන ප්‍රතිවිරෝධතාවයන් ගේ ගුණාත්මක පුපුරා යාමකට තමයි ආර්ථික අර්බුදයක් කියන්නේ. දැන් අපි ඉස්සරහට ඇවිත් තියෙන ආර්ථික අර්බුදයත් ඒහෙම පසුගිය දශකය පුරාම ක්‍රමයෙන් වර්ධනය වෙමින් ආ එකක්. කොරෝනා වසංගතය මේ අර්බුදය ටිකක් ඉක්මන් කරපු එක තමයි කරේ.
ධනවාදී නිශ්පාදන ක්‍රියාවලියේ දී සමාජයේ අතිමහත් බහුතරය වන වැඩකරන පංතිය තම ශ්‍රම ශක්තිය සීමිත ධනපතියන් කිහිප දෙනෙකු සතු නිශ්පාදන මාධ්‍ය තුළ යොදවනවා. ඒ කියන්නේ දැවැන්ත ධනයක් තියෙන කොම්පැනිකාරයන්ගෙ ෆැක්ටරි වල , සේවා ස්ථාන වල අපි (කම්කරුවො) ගිහින් “වැටුපට” වැඩකරනවා. වැටුප කියන්නෙ අපි අද වැඩ කරද්දී වැය වන ශ්‍රම ශක්තිය නැවත අප තුළ උපදවා ගන්නට වැය වන පිරිවැයේ වටිනාකමට. ඒ කියන්නේ අදත් වැඩකරලා නොමැරී හෙටත් වැඩට එන්න අද දවසේ ජීවත් වීම සදහා අවශ්‍ය මුලිකම දේවල් වල වටිනාකම. ඇත්තටම දැන් වෙන්නේ මේ ශ්‍රම ශක්තිය යළි උත්පාදනයට වැය වෙන වටිනාකමත් වැටුපෙන් හම්බවෙන්නේ නැති එක. ජීවත් වීමට සරිලන වැටුපක් දියවු! කියලා සටන් කරන්න වෙලා තියෙන්නේ , OT කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ, අමතර Job කරන්න වෙන්නේ ඒ නිසයි. “ආර්ථිකයේ දී සැබැ වටිනාකම් උත්පාදනය කළ හැක්කේ මිනිස් ශ්‍රමයට පමණයි..” කොටින්ම කිව්වොත් අපි වැඩ කරොත් තමයි ආර්ථිකය පවතින්නේ, එය සෑබෑ වටිනාකම් උත්පාදනය කරන්නේ. මුල්‍ය ප්‍රාග්ධනයට ක්ෂණික ආර්ථික වර්ධනයක් පෙන්වන්න පුළුවන් වුනත් ඒක හරියට වායු බුබුළක් වගේ..කොයි වෙලාවේ හරි පුපුරනවා. අපේ ශ්‍රමයෙන් උත්පාදනය වෙන වටිනාකම් තමයි වෙලදපොළ හරහා කොම්පැනි අයිතිකාරයන් තමන්ගෙ ලාභය( profit) බවට පත්කර ගන්නෙ. අපේ ශ්‍රමයෙන් නිපදවෙන ” නිශ්පාදිත” ,නිශ්පාදන මාධ්‍යන් ගේ හිමිකාරීත්වය ඔවුන් සතුයි කියන කොන්දේසිය යටතේ ඔවුන් අයිති කරගෙන වෙලදපොලේදි විකුණා ” ලාභය” ඔවුන් සතු කරගන්නවා. මේ ක්‍රියාවලිය නිසා තමයි පංති භේදයේ සමාජයේ පවතින්නේ. ඔවුන් නිශ්පාදන මාධ්‍ය මුලින් ම අයිතිකරගත්තෙ බලහත්කාරයෙන්, සොරකමින්. ලංකාවේත්, ලෝකයෙත් හැම ධනපතියෙක් ගෙම ඉතිහාසය එහෙමයි. දැන් ඔවුන්ට මේ සදහා ඇති අයිතිය රැකිමට රාජ්‍ය, අධ්‍යාපනය, ආගම , දෘෂ්ටිවාදය , ධනපති,සුළුධනපති දේශපාලන පක්ෂ ඇපකැප වෙලා වැඩකරනවා.
මෙන්න මේ නිශ්පාදනයේ සමාජමය ස්වරූපය හා ඵල අත්පත් කර ගැනිමේ පෞද්ගලික ස්වරූපය අතර පරස්පරය , ප්‍රතිවිරෝධය නිසා තමයි ධනවාදී ආර්ථිකය වරින් වර අර්බුදයට යන්නේ. එක් පැත්තකින් දැවැන්ත අතිරික්තයක්. අනෙක් පස දිනෙන් දින ජිවන තත්වය පහත වැටෙන ක්‍රය ශක්තිය අහිමි ශ්‍රම සූරා කෑමට ලක්වන වැඩ කරන පංතියක්. ධනවාදය මෙයට පිලිතුරු ලෙස ගෙන ආ රාජ්‍ය සුබසාධන වාදි මැදිහත් වීම ඉන්පසු නව ලිබරල්වාදය තුල පාරිභෝගික ක්‍රය ශක්තිය ඉහල දැමීමට ණය ක්‍රම හදුන්වා වැනි ඊනියා විසදුම් හරහා නැවත නැවතත් අර්බුද ඇති විම හා තිවෘ වීම පමණයි සිද්ද වූණේ. තවත් වසර 5 ඉදිරියේ දී ලෝක සමස්ථ ණය ප්‍රමාණය ලෝක සමස්ථ ආදායම ඉක්මවා යාමට නියමිතයි. බෙදා ගත් ලෝකය නැවත බේදා ගැනීමට අධිරාජ්‍යවාදීන් අතර ඇති තරගය අපව ලෝක යුද්ධ දෙකකට ඇද දැමුවා. 3 වන ලෝක යුද්ධයක අවදානම වැඩිම මොහොතක් අප මේ ගෙවන්නේ. මේ තමයි අපි සිටිනා සමාජ ක්‍රමයේ අර්බුදය. වසර 350 පමණ ධනවාදයේ ඉතිහාසයේ දි ආර්ථික අර්බුද 30 කට වැඩි ගණනක දි එය ඇද වැටී තිබෙනවා. ඒවායින් පසුගිය සියවස් දෙකේ සිදු වූ දැවැන්තම අර්බුද කිහිපයක විස්තර පහත දැක්වෙනවා.
1873-1877 මූල්‍ය අර්බුදය ( The long depression)
ඇමෙරිකානු ආර්ථිකයේ උද්ධමනයත් එරට ආයෝජිත දුම්රිය සමාගම් පාඩු ලබන්නට වීමත්, 1870-71 ප්‍රංශ-ප්‍රසියානු යුද්ධය හේතුවෙන් යුරෝපයේ සිදුවු ආර්ථික පරිහානියත්, 1871 චිකාගෝ සහ 1872 බොස්ටන් කාර්මික නගර වල ඇති වූ මහා ගිනිගැනිම් වලින් සිදු වූ දැවැන්ත දේපළ විනාශයත් යන ආසන්න හේතුන් මුල් කරගෙන යුරෝපයේ හා උතුරු ඇමරිකාවෙත් ඒවායේ යටත් විජිත පුරාත් පැතිර ගිය ආර්ථික අර්බුදය The long depression ලෙස හදුන්වනවා. එය එලෙස හැදින්වීමට හේතුවූයේ වියානා කොටස් වෙලඳපොල කඩා වැටෙමින් ඇරඹි මෙම අර්බුදය විසින් දශක ගණනාව ආර්ථික අවපාතයකට මේ රටවල් ඇද දැමිමයි. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය ආර්ථික අවපාතය වසර 20 කට වඩා පැවතුණි. එය බ්‍රිතාන්‍යයේ ලෝක ආර්ථික බලවතා ගේ තත්වය පිරිහීමට ද සමත් වූවා. 1878 වන විට ඇමෙරිකාවේ විරැකියාව 8.25% කින් පමණ වර්ධනය වුණා. ව්‍යපාර 18000 ක් පමණ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරා.
1929-39 ලෝක ආර්ථික අර්බුදය(The great depression).
ලෝක ඉතිහාසයේ සිදු වූ දැවැන්තම ආර්ථික අර්බුදය ලෙස සැලකෙනවා. 1929 ඔක්තෝබරයේදී ඇමෙරිකානු කොටස් වෙලඳපොල බිද වැටෙමින් ආරම්භ වී ලොව පුරා පැතිර ගිය අතර යුරෝපයේ ෆැසිස්ට්වාදයේ නැගීමටත් දෙවන ලෝක යුද්ධයකට අවශ්‍ය පසුබිම නිර්මාණය විමත් මෙමගින් සිදු වුනි. ඇමරිකාවේ පමණක් මිලියන 15 අධික කම්කරුවන් ගේ රැකියා අහිමි වීම සිදු විය. ( මේ අර්බූදය ගැන , ඊට හේතු වු කාරණා, එහි ප්‍රතිඵල පිලිබදව විස්තරාත්මක ව ඉදිරි ලිපියේ දි කතා කරනවා)
1973 OPEC තෙල් අර්බුදය
4 වැනි අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ දි ඇමෙරිකාව විසින් ඊශ්‍රායලයට හමුදා සහය දීමට විරෝධය පාමින් OPEC සංවිධානය( Organisation of the Petroleum Exporting Countries-අරාබි රටවල් මූලිකත්වයෙන් ගොඩනැගී ඇත) විසින් ඇමෙරිකාව සහ එහි හිතවත් රාජ්‍යයන්ට තම තෙල් සැපයීම හදිසියේ නැවැත්වීමට තිරණය කිරිමත් සමගම ඇමරිකාවේ හා සංවර්ධිත යුරෝපිය රටවල් වල ආර්ථිකයන් අර්බුදයට ගියා. නිශ්පාදනය ඇනහිටීමත් සමග ආර්ථිකය එකතැන පල්වීමටත් , උද්ධමනය ඉහල යාමටත් එය හේතු වුණා.
1997 ආසියානු ව්‍යාඝ්‍රයන්ගේ ණය, මූල්‍ය බුබුළු අර්බුදය .
සෝවියට් දේශය සමග පැවති ප්‍රතිවිරෝධයත් , නව ලිබරල්වාදයේ ” සාර්ථකත්වයේ” සංකේතයන් ලෙස හුවා දැක්වීමේ අවශ්‍යතාවයත් නිසා තායිලන්තය, ඉන්දුනීසියාව, මලයාසියාව, සිංගප්පූරුව, හොංකොං, දකුණු කොරියාව යන රටවල ආයෝජිත ඇමෙරිකානු හා යුරෝපීය මූල්‍ය ප්‍රාග්ධනය හේතුවෙන් ඒ රටවල සිදු වූ වේගවත් ආර්ථික වර්ධනයත් එය හුදු මූල්‍ය බුබුළක් බව පෙන්වමින් ගොඩනැගුනු අධික ණය සමුච්චනයත් හේතුවෙන් ඊට පිළිතුරු ලෙස 1997 ජුලි වලදී තායි රජය විසින් දිගුකලක් පවත්වාගෙන ආ ඔවුන්ගේ විනිමය අනුපාතිකය අත්හැරීමත් සමගම අර්බුදය පුපුරා ගිය අතර එය දැවැන්ත මුල්‍ය ආයෝජන ප්‍රත්‍යාවර්තනයකට හේතු විය. එය එම රටවල බැංකු පද්ධතියේ බිද වැටිමටත් , ලොව පුරා මූල්‍ය ප්‍රාග්ධනයේ බිදවැටීමකටත් හේතු විය.
2007-2008 මූල්‍ය අර්බුදය (නිවාස ණය බුබුළ)
නිකලස් සාකෝසි ඇතුළු ලෝක නායකයන් නැවත මාක්ස් ගේ “ප්‍රාග්ධනය” පොත පෙරලා බැලීමට , මේ ධනවාදයේ අවසානයද ? යන ප්‍රශ්නය ප්‍රසිද්ධියේ තමාගෙන් ම ආසාගන්නට මේ අර්බුදය හේතුවුණා. මේ අර්බුදය 1929-39 මහා ආර්ථික අර්බුදයට පසු ඇති වූ විශාලම අර්බුදය යි. විශාල වශයෙන් සීමා රහිතව ලබාදුන් ණය සහ ණය කරුවන්ගේ ක්‍රය ශක්තිය හීන වීමෙන් ඒවා නැවත පියවිය නොහැකි වීමත් සමගම ඇමරිකාවේ දැවැන්ත මූල්‍ය සමාගම් වල බිදවැටිමත් සමගම මෙය ආරම්භ වුණා. නව ලිබරල් ආර්ථිකයයේත් ධනවාදයේ සදාකාලික බවත් පිලිබඳ පැවති මතවල සාවද්‍ය බව හෙළි විමට මෙය හේතුවක් වූණා.සමාගම් රැකගැනීමට ඔවුන්ගේ ගිණුම් වලට බිලියන ගණන් මහජන මුදල් පොම්ප කිරීමට ලොව පුරා රජයන් ක්‍රියාත්මක වුවත් ආර්ථික අවපාතයට පෙර පැවති ආර්ථික වර්ධනය අත්කරගැනීමට 2020 වසර වන විටත් ධනවාදය සමත්ව තිබුණේ නැහැ. මේ අර්බුදය මිලියන ගණනක් ඇමෙරිකානුවන් තම නිවෙස් වලින් පිටමං කෙරැණු අතර තම මෝටර් රථ වලට වී මහපාරේ රැය පහන් කරන්නන් බවට පත් කරා. ලොව පුරා මිලියන ගණනකට රැකියා අහිමි කරා.
දැන් අපි හමුවට ඇවිත් තියෙන ආර්ථික අර්බුදය දෙවැනි වෙනවා නම් දෙවෙනි වන්නේ 1929-39 ආර්ථික අර්බුදයට පමණක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ. දැනටමත් ඇමෙරිකාවේ විරැකියානු අනුපාතය 16.2% කින් ඉහල ගිහින් මිලියන ගණනක් කම්කරුවන් ගේ රැකියා අහිමි වී තිබෙනවා. මේ තත්වය ලංකාවට බලපාන විදහ ඉතා විනාශකාරී විය හැකියි. රෝහණ විජේවීර සහෝදරයා වරක් පැවසුවේ ඇමෙරිකානු ආර්ථිකයට කිවිසුම් යන විට ලංකාවේ ආර්ථිකයට උණ ගන්නා බවයි. ඒ එදාට අනුවයි. දැන් වන විට ඇමෙරිකානු ආර්ථිකයට උණ අරන් ඇති බැවින් ලංකාවේ ආර්ථිකයට නියුමෝනියාව වැලදි මිය යෑමේ තත්වයක් මතුව තිබේ. එබැවින් වේලාසන අවදිවීම ප්‍රයෝජනවත් විය හැකියි!
මෙවැනි අර්බුදයක දී ලෝක තත්වයන් ගේ හැසිරීම ගැන කියවීමක් ලබාගත හැකි එක් ආකාරයක් තමා මින් පෙර සිදු වූ එවැනි සිදුවීම් අධ්‍යයනය කිරීම. ලිපියේ ඊළග කොටසින් 1929-39 මහා ආර්ථික අර්බුදය ගැන කතා කරමු. එතකන් භෞතිකව දුරස් වෙමු! සමාජයක් ලෙස එක්ව සිටිමු!
Youth for Chenge