අතිශය තිරිසන්, මෘග මිනිසකු විසින් තමන් හා පෙමින් බැඳී සිටි තිස් හැවිරිදි තරුණියක් රැය දෙකක් එළිවන තෙක් නවාතැන්පලක රඳවාගෙන සිට දෙවන දින එළිවන විට ඇයව ඝාතනයකර ඇයගේ කවන්ධය නවීන ගමන් මල්ලක අඩුක්කර ගෙන කිසිදු හැඟීමක් නැතිව හන්වැල්ලේ සිට මගී බසයක කොළඹ පිටකොටුවේ වේල්ල විදියට ගෙනැවිත් දමා ගිය පුවත මහත් කලබගෑනියකට හේතු විය.
එවැනිම අමානුෂික තිරිසන් සිදුවීම් කිහිපයක් ඒ ආසන්නයේ දිනවල වාර්තා විය. යාපනයේ තරුණ මවක් 18 මසක බිළිඳු පුතාට අමානුෂික ලෙස පහරදීම, කිලිනොච්චියේ තවත් මවක් කුඩා දරු තිදෙනා සමග දිවි නසා ගැනීමට ළිඳකට පැනීම, සිය බිරිඳගේ අසභ්‍ය ඡායාරූප තම ජංගම දුරකතනයට යොමු කළේ යැයි යතුරු පැදියකින් ගිය පුද්ගලයෙකු සිය වාහනයට යටකර කපා කොටා පොලීසියට බාර වූ තරුණයෙකු ගැන නාරම්මලින් වාර්තාවීම එවැනි පුවත් විය. මෙම සිදුවීම් රසකර ඉදිරිපත් කිරීමේ මාධ්‍ය කලාවක් සමග ඒවා විනෝදයට ගන්නා විශාල පිරිස් සමාජ මාධ්‍ය ජාලයන්හි විශේෂයෙන් ෆේස්බුක්හි රොක්ව ඉන්නාහ. එවැනි තිරිසන් මැදිහත්වීම් හෙළා දකිනවුන්ද ඒ අතර ඇත. එහෙත් ඔවුන්ගේ හඬ නොඇසෙන තරමට මේ සිංහල බෞද්ධ සමාජයේ තිරිසන් ගෝසාව විශාලය.
තිරිසන් මිනිසුන් නොසිටි අපේ රට මීට දසක 05 ට 06 ට පෙර, පණහේ හැටේ දසකවල එවැනි වූ තිරිසන් සමාජයක් මේ භූමියෙහි නොතිබුණි. එකල එවැනි ඝාතන වසරකට දෙකකට වරක් අසන්නට ලැබුණු ඉතා විරළ අවාසනාවන්ත සිදුවීම් විය.
“කඩුගන්නාවේ තැපැල් බෝම්බ නඩුව” ලෙස ප්‍රසිද්ධ වූ ලංකාවේ පළමු සහ එකම “සමලිංගික ප්‍රේමය” මත සිදු කෙරුණු ඝාතනය යැයි සැළකෙන 1948 ජනවාරියේදී පාසල් සිසුවකු ඝාතනය කිරීම, 1949 හාර ලක්ෂ මංකොල්ලය හා මිනී මැරීම්, මෙරට ඉතාම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහදේවන් සතාසිවම් ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාව මත 1951 ඔක්තෝම්බරයේදී අත්අඩංගුවට ගැනීම හා මාස 20 ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට නිදොස්කොට නිදහස් කිරීම, ලංකාවේ නීති ක්ෂේත්‍රයම මහත් ආන්දෝලනයකට පත් කළ 1953 රංජනි කැබ් මුදලාලිගේ බිරිඳ ඝාතනය කිරීම, 1958 ඇඩ්ලින් විතාරන ඝාතනය, 1959 සැප්තැම්බරයේදී අගමැති බණ්ඩාරනායක ඝාතනය, රූප සුන්දරියක් ලෙස ප්‍රසිද්ධවූ කතරගම ප්‍රේමවතී මනම්පේරී තරුණිය 1971 කැරැල්ල සමයේ හමුදා නිලධාරියකු විසින් ඝාතනය කිරීම, පෝලීන් කෲස් නම් තරුණියක විසින් 11 හැවිරිදි ගෝඨාභය කිරිඹකන්ද නම් දරුවා 1965 දී ඝාතනය කිරීම, ඇල්ෆ්‍රඩ් ද සොයිසා සහ කලු මාමා විසින් 1966 දී කලත්තෑවේ සිදු කළ සුප්‍රසිද්ධ ත්‍රිපුද්ගල ඝාතන, 1968 දී වෛද්‍ය ඩේමන් කුලරත්න විසින් තම බිරිඳ පද්මිණි කුලරත්න ඝාතනය කිරීම, මැතිව් පීරිස් පියතුමා විසින් වසර කිහිපයක සිට සූදානම් කළ බවට ඔප්පු කෙරුණු 1979 ආරම්භයේදී සිදුවූ සිය බිරිඳ ඉයුනිස් පීරිස්ගේ සහ තම පෙම්වතියගේ ස්වාමි පුරුෂයාවූ රසල් ඉන්ග්‍රම්ගේ මරණ, නිදහසින් පසු වසර 30 ක 32 ක පමණ කාලයේ සමාජයම හෙළා දුටු ඝාතන ගණනාවක් විය.
මේ දුසිමක් වූ අපරාධ අතර “සමලිංගික ප්‍රේමය” මත සිදු කෙරුණු ඝාතනය හැරුණු විට, විවාහය සමග වික්ටෝරියානු සුචරිතවාදය මත හදා ගන්නා විවාහක ස්ත්‍රිය සඳහා ඇති අයිතිය අවසන් හේතුව ලෙස තර්ක කළ හැකි අපරාධ ඇත්තේ 06 කි.
ඒවා සමාන්‍ය සමාජයේ කම්පනයක් සමග කුතුහලයක් ඇති කළ, “අනේ අපොයි” යැයි කියැවුනු අපරාධ විය. බසයට නැග එවැනි අවාසනාවන්ත සිදුවීම් ගැන විරිඳු ගායනා කළ ගායක ගායිකාවෝ වූහ. ඔවුන්ගේ රබානට සිල්ලර කාසියක් දැමූ බොහෝ කාන්තාවන් දෑස් කොණෙහි කඳුලක් පිස දා ගත්තාහ. ඉරිදා හෝ සති පොළෙහි වගේම බසයේද කවි කොළ ගැයුනේ “මෙහෙමත් අපරාධ කරනවානෙ” යැයි කම්මුලේ අත තියා ගෙන සුසුමක් පිට කරන පාඨකයින්ට ය.
එදා වූ සිංහල-බෞද්ධ සමාජය අපරාධ සමග විහිළු නොකළහ. එවගේම ඒ අපරාධ වර්තමානයේ මෙන් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර විශාල වශයෙන් ඉහළ ගිය ලිංගිකත්වය මුල් වූ සන්දර්භයක සිදුවුනු අපරාධද නොවුනි.
ප්‍රජාවක් ලෙස පරාර්ථකාමය හඳුනාගෙන සිටි, අනෙකුන්ගේ විපතේදී වේදනාවක් උසුලන්නට හැකි වූ මේ සදාචාර සම්පන්න සමාජයේ විශේෂයෙන් නාගරික මැදපංතිය වික්ටෝරියානු “ඒක පුද්ගල ස්ත්‍රී-පුරුෂ විවාහය” සමග දැඩි සුචරිතවාදයක් රැක ගත් සමාජයක් විය. වික්ටෝරියානු “න්‍යෂ්ටික පවුල” යුරෝපීය සමාජයේ සම්මතය බවට පත් වන්නේ ධනේශවර ක්‍රමයෙහි මුදලට හා වත්කමට තනි අයිතියක් තිබිය හැකි යැයි බයිබලයට ලුතරන් අර්ථකනයක් ලැබුණු පසුවය. එවගේම යටත් විජිත යුගයේ මුදල හා වත්කම් එක්තැන් කෙරුණු ධනේශවර වෙළඳාමෙහි බිහිවූ මේ නාගරික සිංහල-බෞද්ධ මැදපංතියෙහි දෙන්නා දෙමහල්ලෝ අතර “ආදරය” අර්ථකතනය වූයේ විවාහක පුරුෂයාට බිරිඳගේ ශරීරයද ඇතුළුව ඒ කුඨුම්භයෙහි සියලු කාරණා සම්බන්ධ අයිතිවාසිකම් සමග ය. ඒ පුරුෂ ආධිපත්‍ය සමග පවුලේ සාමය, වගකීම් ඉටු කිරීම හා දරුවන්ගේ දියුණුව සඳහාවන අන්‍යෝන්‍ය හවුලක් ලෙසිනි. සරළව කියන්නේ නම්, වික්ටෝරියානු සුචරිතවාදය කරපින්නා ගත් නාගරික සිංහල-බෞද්ධ මැදපංතික සමාජයේ වැඩිහිටි ලිංගිකත්වය හා මෛථුන්‍ය පුරුෂ ආධිපත්‍ය සමග විවාහයට සීමා වූ සහ එහි සඟවා ගත් ගනුදෙනුවක් විය.
වික්ටෝරියානු සුචරිතවාදය තුල “පුරුෂ අයිතිය” ප්‍රශ්න නොකෙරුනු ලිංගිකත්වය ගැන කතා නොකර සාහිත්‍ය ලෝකයේ හමුවන සුන්දර “ආදරය” උත්තරීතර ආදාරයක් ලෙස නඩත්තු කර ගැනීමට 80 දසකය වන විටද නාගරික සිංහල-බෞද්ධ මැද පංතිය දැඩි වෙහෙසක් දැරූහ. සුනිල් ආරියරත්න ලියූ සහ නන්දා මාලනි ගැයූ “ප්‍රේමය නම්, රාගයෙන් තොර, සඳ එළිය සේ අචින්තයි, පාරිශුද්ධයි සුරම්‍යයයි…….” ගීතයේ ඇත්ත ප්‍රකාශනය වූයේ නාගරික සිංහල-බෞද්ධ මැද පංතික කුහක සුචරිතවාදයයි.
එහෙත් 50 – 60 දසකවල පවා එය ඒ ආකාරයෙන්ම ග්‍රාමීය කෘෂි සමාජයේ නොරැකුණකි. නාගරික සමාජය විසින් නොදියුණු යැයි සැළකූ ග්‍රාමීය කෘෂි සමාජයේ පැරණි ඉඩම් අයිතිය හා කෘෂි නිෂ්පාදනයට ඔබින ලෙස සම්මත වූ සිංහල විවාහ සම්ප්‍රදායන් වන “එක ගෙයි කෑම සහ බින්න බැහීම” සමග වූ සරළ ලිංගික සබඳතා 60 – 70 දසක වන විටත් ප්‍රසිද්ධ පුරුද්දක් ලෙස නොවුනත් තැන තැන හමු වුනකි. ධනේෂවර වෙළඳපලෙහි බිහි වූ නගරය මෙන් පැරණි වැඩවසම් චාරිත්‍ර වාරිත්‍ර ඉතිරිව තිබූ ගම වික්ටෝරියානු සුචරිතවාදයට මුළුමනින් යටවී නොතිබිණ.
එවැනි සුචරිතවාදයක් පොදු පිළිගැනුමක් සමග මේ පරාර්ථකාමී සාමකාමී සමාජයට නඩත්තු කළ හැකි වූයේ නිදහසින් පසු පළමු වසර 30 ක කාලයේ අධි තරගකාරිත්වයක් නොතිබූ රාජ්‍ය මැදිහත්වීමෙන් නියාමනය කෙරුණු ආර්ථිකයක “ජාතික සංවර්ධනය” ඉදිරිපත් කළ “සමානාත්මතාව” පිළිබඳ දේශපාලන මතය සමගින්ය. ඒ වෙනුවෙන් පොදු සේවා සැපයීමේදී සමාජ විනයක් අවශ්‍ය වූයෙන් රාජ්‍ය ආයතන හැකිතාක් කාර්යක්ෂමව පවත්වා ගැනීමද රටේ “සංවර්ධන කාර්යට” අයත් වූවකි. ඒ යුගයේ හැම ආණ්ඩුවක්ම සංවර්ධන කාර්යෙහිදී අසාර්ථක වූවත් පොදුකම, සාමුහිකත්වය, අන්‍යෝන්‍ය ගරුත්වය සමාජ හර පද්ධතීන් සමගින් නඩත්තු කිරීමට දායක විය. ඒ වෙනුවෙන් එකල රාජ්‍ය ආයතන සමග අධ්‍යාපනය, ජන මාධ්‍ය, පන්සල, පල්ලිය, කෝවිලද සක්‍රීය දායකයින් වූහ.
ප්‍රශ්නය වන්නේ, එදා පැවති ඒ “සදාචාර සම්පන්න සමාජයත් එහි අවුරුදු 30 ක් විසූ පරාර්ථකාමී, ගුණ යහපත් මනුස්සයාත් වෙනුවට අති දූෂිත සමාජයක් සමග තමන් හා පෙමින් බැඳී සිටි තරුණිය ඝාතනයකර ඇයගේ කවන්ධය නවීන ගමන් මල්ලක අඩුක්කර ගෙන කිසිදු හැඟීමක් නැතිව බසයකට ගොඩ විය හැකි නරුමයකු බිහි වූයේ කෙසේද?” යන්නය.
තුරුණු විය “ලක් මව” දූෂණයවීම
එදා ජීවත් වූවෝ, හතළිහේ පණහේ දසකවල ඉපිද හැදී වැඩුණු, වත්මනෙහි ඉන්නා ඉහ නිකට පැසුණු පැරණි පුරවැසියෝ තවමත් ඉල්ලන්නේ ඔවුන් දන්නා සාමකාමී, පරාර්ථකාමී ලෝකය ය. ඔවුන් හැදී වැඩුණු ඒ ලෝකය ඔවුන්ට පමණක් නොව ඔවුන්ගෙන් පසු පරම්පරාවන්ටත් අහිමිව ඇත්තේ ජයවර්ධන ජනාධිපති 80 දසකයේ සිට තහවුරු කළ සීමා මායිම් නොමැති මහ නගර කේන්ද්‍රීය විවෘත වෙළඳපල ආර්ථිකය නිසා යැයි ඔවුන්ද කතා නොවන්නකි.
විශේෂයෙන් නාගරික මැදපංතිකයින් අද විශ්වාස කරන්නේ මේ සියලු ව්‍යසන, සියලු අපරාධ, ඛේදවාචක පුද්ගල පිරිහීමේ ප්‍රතිපලයක් යැයි කියා ය. එනිසා ඔවුන් කතා කරන්නේ ආගමට දහමට ලැදි සදාචාර සම්පන්න “හොඳ පුරවැසියන්” හැදීමට ය. ආගම දහම වාණිජකරණය වී ගිහි සමාජ පැවැත්මටද වඩා පිරිහී ඇති සැටි ගණන් හැදීමක් නැත. “හොඳ පුරවැසියන්” හැදීමට කෙරෙන කතා කසළ කන්දකින් අහුලා ගන්නා බිඳුණු පීරිසි කෝප්ප පුරුද්දා නැවත කසළ ගොඩටම විසි කරන්නට සිදුවන්නාක් වැනි කාර්යකි.
කතාව කෙටිකර ගැනීමට මෙය අවධාරණය කළ යුතුය. ජනාධිපති ජයවර්ධන හඳුන්වා දුන් විවෘත වෙළඳපල ආර්ථික ක්‍රියාවලිය “සංවර්ධන” ක්‍රියාවලියක් නොවේ. එය සැළසුම් විරහිත මහ නගර කේන්ද්‍රීය හුදු ආර්ථික ක්‍රියාවලියක් පමණි. එවගේම එය ආවේනිකව දූෂිතය. ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ ලාභ තීන්දු කිරීමට අවශ්‍ය නිදහස් පරිසරයක් හදා දීමට ආණ්ඩු මැදිහත්වීමත් සමග ඉහළ සිට පහළට සමස්ථ සමාජයම දූෂිත සමාජයක් බවට පත් විය. හතර අත දූෂිත සමාජයක විනය, කරුණාව, දයාව, ඉවසීම සහිත සදාචාර සම්පන්න කිසිදු ගනුදෙනුවක් අහම්බෙන් මිස ඉතිරි වන්නේ නැත. ජයවර්ධනගේ විවෘත වෙළඳපල ආර්ථික මගඩිය සමගින් අවුරුදු 40 ක් අප පැමිණ ඇත්තේ එවැනි නිරර්ථක ගමනක ය.
මුදල් හම්බ කිරීම සහ ඒ වෙනුවෙන් තරග කළ යුතු බව පමණක් ඉගෙන ගන්නා හිස් මිනිසුන් හැදෙන විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අධ්‍යාපනය හා ජනමාධ්‍යයද වාණිජකරණයකට ගොදුරු විය. තව දුරටත් අධ්‍යාපනය යනු යහපත් සමාජයක් සඳහා අනාගත පරම්පරාවක් හැදීමේ සමාජ වටිනාකම්, සදාචාරාත්මක පැවැත්ම සහ වගකීම් බාර ගැනීම ප්‍රවර්ධනය කිරීමක් නොවන්නේය. පසුගිය අවුරුදු 40 ක කාලයේ ආකල්පමය හා දැනුම අතින් දියුණු ගුරු සේවාවක් හා අධ්‍යාපනඥයින් මේ අධ්‍යාපනයෙන් බිහි කළ නොහැකි වූ බවද ඔප්පු වූවකි. මෙහි ළමුන් පුරුදු කෙරෙන්නේ තනිව මුදුනටම නගින්නටය. නිවසේදී ළමුන්ට කියන්නේ පංතියේ පළමු වැනියා විය යුතු බවය. පංතියේදී කියන්නේ විභාගයේදී වැඩිම ළකුණු ගත යුතු යැයි කියාය. අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනයෙන් ළමුන් ඉගෙන ගන්නා ප්‍රධානම පාඩම වන්නේ අනෙකුන්ට කුමක් වූවත් තමන් ජය ගත යුතු බවය. අනතුරුව සමාජයට එන්නේ එවැනි ආත්මාර්ථකාමී පරම්පරාවන් ය.
දූෂණය වූ සමාජයේ “සුචරිතවාදය”
මේ කතාව තව දුරටත් සම්පිණ්ඩනය කළහොත් නිදහසින් පසුවද අවුරුදු 30 ක් පැවති දයාව, අනුකම්පාව සමග පරාර්ථය අගය කළ සාමකාමී මනුස්ස සමාජය, මනුස්සකමක් නොදන්නා, තිරිසන් සමාජයක් බවට පරිවර්තනය වන්නේ පුද්ගලයින් හිතුමතේ වල් වැදුනු නිසා නොවේ. අති දූෂිත, ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකයකට සදාචාර සම්පන්න සමාජයක් අවශ්‍ය නොවන හෙයිනි. එවැනි විවෘත වෙළඳපල ආර්ථිකයකයට වැදගත් ශිෂ්ට සමාජයක් පවත්වා ගත නොහැක. නිදහසින් පසු අවුරුදු 30 ක් පැවති සාමකාමී මනුස්ස සමාජය, විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දූෂණය කෙරෙන්නේ එයට ගැලපෙන දූෂිත සමාජයක් හදා ගැනීම වෙනුවෙනි.
මේ අරාජික දූෂිත ආර්ථිකයෙහි තවමත් වික්ටෝරියානු සුචරිතවාදය හා න්‍යෂ්ටික පවුල පවත්වා ගැනීම, සිංහල-බෞද්ධ සංස්කෘතිය නඩත්තු කිරීම තුල ඉතිරිව තිබෙන්නකි. එය පහසු කාර්යක් නොවේ. දෛනික ජීවිතය නඩත්තු කර ගැනීම වෙනුවෙන් මුළු කාලයම වැය කරන තරගකාරී පාරිභෝගික සමාජයේ ආතතිය මුදා හරින්නට බොහෝ විට විවේක කාලයක් සහ අමතර මුදලක් බහුතරයකට සොයා ගත නොහැකි හෙයිනි.
වික්ටෝරියානු සුචරිතවාදය අපට ලබා දුන් බටහිර සමාජය ඔවුන්ගේ න්‍යෂ්ටික පවුල සමග වූ සුචරිතවාදය ගෝලීය වෙළඳපල ආර්ථිකයෙහි අත හැර ඇත. ඔවුන් නෛතික විවාහයට සීමා කරගෙන තිබුණු ලිංගිකත්වය, “ආදරය” සමග සරළ යුග සම්බන්ධයකට පෙරළා ගැනීමේ උත්සාහයක ඉන්නාහ. සුනිල්-නන්දා දෙපළ මගින් අපගේ නාගරික මැදපංතිය සිහින මැවූ රාගයෙන් තොර “අචින්ත, පාරිශුද්ධ හා සුරම්‍ය ප්‍රේමය” විවෘත වෙළඳපල ආර්ථිකයෙහි මොහොතකට සීමාවන රළු, කායික ලිංගිකත්වයකට මාරුවී ඇත. එයද ආතතියෙන් පිරි තරගකාරී පාරිභෝගික සමාජයේ ශාරීරික ඉල්ලුමට අවශ්‍යවන පරිදිය. එබැවින් මේ දූෂිත පිරිහුණු සමාජයේ “ආදරය” සමග මුසපත් වන ලිංගිකත්වයක් ගැන දන්නාවුන් සහ එවැනි රසාස්වාදයක් සොයන්නන් අතිශය අල්පය.
වික්ටෝරියානු සුචරිතවාදය සමගින් නොතිබුණු “ආදරය” හා “ලිංගිකත්වය” එක්වූ වින්දනය, අන්‍යෝන්‍ය අවබෝධයක බුද්ධිමය රසයක් හා වෙළුනකි. එයට සීමා හා කොන්දේසි නැතැයි “නූතන ස්ත්‍රීවාදයේ මව” යැයි පුදනු ලබන දාර්ශනිකයෙකු හා දේශපාලන ක්‍රියාකාරිනියක වූ ප්‍රංශ ලේඛිකා සිමොන් ද බුවා වරක කියා තිබිණ. ඇය ජීවත් වූයේද “ආදරය” හා “ලිංගිකත්වය” එක්වූ එවැනි සම්බන්ධකම් සමගින්ය. ඒ අතර අවුරුදු 51 ක් ඇය පවත්වා ගෙන ගිය ඇයගේ “ස්ථිර සම්බන්ධතාව” ගැන ලියැවුනු වාක්‍ය කිහිපයක් පහතින් උපුටා තබමි.
“ෂොන්-පෝල් සාත්‍ර සහ සිමොන් ද බුවා අතර වූ නොබිඳුණු, පලුදු නොවුනු සම්බන්ධතාව ……ජෑස් සමාජ, අවන් හල් සහ ලියන මේස, දේශන හා වීදි විරෝධතා අතර ගෙවා දැමූ අපූරු තේජාන්විත ප්‍රේමයක් විය. කිසි අයුරකින් ලිහා දැමිය නොහැකි වූ අදහස් හා මතවාද සමගින් පැවති ඔවුන්ගේ ජීවන බැඳීම නෛතික විවාහයක් නොවුනකි. ඒ සබඳතාවෙහි වෙනත් විවෘත පුද්ගල ඇසුරු කිරීම් සඳහාද ඔවුහු ඉඩ තබා ගත්හ. පැවති සමාජ සම්මතයට වෙනස් වූ මේ පෙරළිකාර නව ගමන එකල විස්මිත සබඳතාවක් විය.” (2005 ජුනි 10 වන දින “ද ගාඩියන්” හි “සිමොන් ද බුවාගේ විවෘත විවාහය ඇයට සතුටක් වීද?” යන ලිසා අපින්‍යානෙසි ලියූ ලපියෙනි)
අපට අද එසේ නොවන කවන්ධ සම්බන්ධකම් ගැන කතා කරන්නට සිදු වන්නේ වසර 40 ක් පුරා මේ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් සාමකාමී මනුස්ස සමාජය වෙනුවට හිස් පාරිභෝගිකයින් හැදූ වෙළඳපලක, වික්ටෝරියානු සුචරිතවාදයද බරපතල ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙන හෙයිනි. පරාර්ථකාමී මනුස්ස ගනුදෙනු සඳහා ඉඩ නොතබන මෙහි සිය ලිංගික ආසාවන් මුදා හැර ගැනීමට වික්ටෝරියානු සුචරිතවාදයේ සීමා මායිම් නොතකන පුද්ගලයින්ද බිහි වන හෙයිනි. වැඩපළෙහි කාර්යාලයෙහි හා රාජ්‍ය අධිකාරයේ සිය තනතුර, නිලය, දේශපාලන හා මුදල් බලය කුරිරු ලෙස යොදා ගන්නා එවැනි පුද්ගලයින් සිටීම හා ඔවුන්ගේ හිංසනයට, බලහත්කාරයන්ට ගොදුරුවන බොහෝ තරුණියන් නිහඩව සිටීමද මේ අරාජික විවෘත වෙළඳපල පසුබිමෙහි ව්‍යතිරේඛයක් නොවන්නකි. පුරුෂාධිපත්‍ය සමග අතරමග ලිංගික සුවය සඳහා නිලය, දේශපාලනය, මුදල බලයක් ලෙස යොදා ගන්නා මේ පසුබිමෙහි නැති “ආදරයක්” සොයා ගිය කුරුවිට තෙප්පනාවේ දිලිනි යසෝදරා එක් අවාසනාවන්තියක් පමණි. සුචරිතවාදයක කොටු නොවන සැබෑ “ආදර” සබඳතාවන් ගැන සිතන්නටවත් ඉඩක් නොතබන මේ අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි පිරිහීම විසින් ඇයව තනි නොකරනු ඇත.
එබැවින් එවැනි සියලු අපරාධ වළකා ලීමට අනාගතය සඳහා සදාචාර සම්පන්න විසඳුම් සෙවිය හැක්කේ නැවත පරාර්ථකාමී සමාජයක් දිනා ගැනීමට මේ අසීමාන්තික විවෘත වෙළඳපල අතහැර වෙනත් සමාජ ආර්ථික සංවර්ධනයක් ගැන කතා කිරීමෙන් පමණි. තෙප්පනාවේ දිලිනි යසෝදරාගේ අවාසනාවන්ත ඉරණම සතු ඉල්ලීම නිසැක වශයෙන් එය විය යුතුය.
කුසල් පෙරේරා
2021 මාර්තු 10 වන දින