මේ සටහන ලියන්න මට හිතුනේ පහු ගිය දවසක Chammi Iresha Karaputugala ළමා සාහිත්‍ය ගැන ලියපු අදහසක් දැකලා.
“අපි පොඩ්ඩක් පුරුදු පාරෙන් පැත්තකට හරවල යමුද?” වැනි තේමාවක් එක්ක ඇය උත්සාහ කරල තිබුණේ අපේ රටේ ළමා සාහිත්‍යය දැනට මුහුණ දෙමින් තියෙන අර්බූද කිහිපයක් සාකච්ඡාවට ලක් කරන්න.
(https://m.facebook.com/story.php?story_fbid=4511602862205514&id=100000675350791 – චම්මිගෙ ඒ පෝස්ටුව සඳහා ලින්ක් එක)
ඇත්තටම ලංකාවේ සිංහලෙන් ලියැවෙන ළමා ප්‍රබන්ධ සංකල්පීය වශයෙන් එක තැනක සිරවෙලා කියන දේ මටත් දැනෙමින් තිබුනු දෙයක්. දැන් වසර කිහිපයක් තිස්සේ, කුඩා දරුවෙකුට ගැලපෙන පොත්වල සැළකිය යුතු නියැදියක් අපේ ගෙදරට එනවා. ඒ පොත් නිසා පසුගිය කාලයේ ළමා පොත් ගැන මට අහන්න දකින්න වැඩිපුර අවස්ථාව ලැබුණා. ඒ නිසා ළමා පොත් වල ගුණාත්මක බව ගැන හිතන්න, වඩාත් සංකල්පීය වශයෙන් දියුණු පොත් සොයාගන්න උත්සාහ කරන නිසා මමත් ඒ ගැන වැඩියෙන් සිතන්න පෙළඹුනා.
මම මේ අදහස් දැක්වීම කරන්නෙ, ඇත්තටම ළමා පොත් සම්බන්දයෙන් බරපතල අධ්‍යයනයක් කරලා නම් නෙමෙයි, පුංචි දියණියට කියවන්න ගෙනෙන පොත් ප්‍රමාණය නියැදියක් ලෙස සලකලා, ඒ පොත් තුළින් මට දැනුනු දේවල් ටිකක් විතරයි මේ. මට ඇත්තටම ඕනෙ කරන්නෙ මම දැකපු ළමා පොත් අතරින් ගුණාත්මකයි කියලා මට දැනෙන කෘති කිහිපයක ඇති විවිධ සාධනීය ලක්ෂණ ගැන කතා කරන්නයි.
මම චම්මි කියන දේ ගැන සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් එකඟයි. අපේ ළමා කතාවලට යොදා ගන්නා සංකල්ප දැන් යල් පැන ගිය ඒවා. බොහොමයක් කෘති උත්සාහ කරන්නේම උපදෙස් දෙන්නම තමයි, ඒ නිසාම එම කෘති තුළ පරිකල්පනය සහ කතා රසය හරි අඩුයි. ළමයෙකුට විචිත්‍ර චිත්ත රූප මවා ගැනිමේ ඉඩක් නැහැ. ඒ කෘති වලින් මවන ලෝකය ඉතාම කුඩයි, පටුයි. ඒ නිසා ඇත්තටම වඩාත් සාධනීය ලක්ෂණ බහුල ළමා කෘති විදියට අපට එතකොට ඉතිරි වෙන්නෙ පරිවර්තන ළමා කෘති තමයි.
අපි නිකමට ගනිමු දැන් අපේ රටේ පරම්පරා ගණනාවක් රස විඳින, මේ මොහොත්දීත් දරුවෙකුට දුන්නොත් මුල්ලක් අල්ලගෙන නොනවත්වා කියවගෙන යන්න හිතෙන ‘ලස්සන වසීලිස්සා’ පොතේ කතන්දර ගොන්න. ඒ පොතේත් ආදර්ශ සහ උපදෙස් දීම නැතිව නෙමෙයි. නිතරම අවසානයේ යහපත ජය ගන්නවා. අයහපත පරදිනවා. ඒ වගේම සමාජයේ කොන් කරපු, වෙනස් කොට සැළකුනු චරිත අවසානයේ ජයගන්නවා. ඒ වගේම ඒ කතා පුරමා තියෙන්නෙ, සාමාන්‍යයෙන් සුරංගනා කතාවල පොදු ලක්ෂණයක් වන ගතානුගතික රාමුවක ක්‍රියා කරන චරිත. ඒත් ඒ අතර ජීවිතයේ යථාර්තයත් පෙන්නලා දෙනවා. නපුර, දුෂ්ඨකම්, මරණය, විනාසය, රැවටීම එක්ක අපිට හැප්පෙන්න සිදු වෙනවා කියන එක තේරුම්කරනවා. ඒ සේරටම වැඩිය මම ඒ කෘතියෙ වඩාත් අගය කරන ලක්ෂණය තමයි ඒ පොත කියවද්දි දරුවන්ට නිමක් නැති අවකාශයක් තුළ චිත්ත රූප මවන්න ඉඩ සලසලා දෙන එක. ඒ පොතේ චිත්‍රත් ගොඩක් නැහැ. ඒත් කුඩා දරුවන්ට පවා එපා නොවෙන, දිර්ඝ විස්තර විසින් කරන්නේම දරුවන්ගේ චිත්ත රූප මවා ගැනීමේ හැකියාව වැඩි කරන එක. මම කුඩා දරුවෙකුව සිටියදී මමත් ‘ලස්සන වසීලිස්සා’ කෘතිය කියවන විට මගේ මනසේ මැවුනු චිත්ත රූප මට තාම මතකයි. මට තාම එතරම්ම පොහොසත් චිත්ත රූප මැවෙන අපේ රටේ ලේඛකයෙක් හෝ ලේඛිකාවක් ලියපු ළමා කෘතියක් කියවන්න ලැබිලා නැහැ. මහාචාර්ය කුසුමා කරුණාරත්න විසින් රචිත ‘උචි’ පොත් මාලාව දරුවාගේ චිත්ත රූප මවාගැනීමෙ හැකියාවට සෑහෙන තරමේ පිටිවහලක් වෙන සිංහල ළමා කතා මාලාවක් කියලා හඳුවන්වන්න පුලුවන්.
මේ මොහෙතේ මම තවත් මතක් කරන්න කැමතියි, මම දුටුව සංකල්පීය වශයෙන් නැවුම් ළමා කෘති කිහිපයක්.
එකක් තමයි ‘එක ලපයා’(එවලින් ෆන් දොර්ත්/එරංගා පෙරේරා) නම් කෘතිය. එක සමාන බහුතරයට වඩා වෙනස් සුළුතරයට අප සමානයින් ලෙස සැළකිය යුත්තේ ඇයි කියන එක කියා පාන ඉතාමත් ආකර්ෂණිය, නොනවත්වා කියවාගෙන ගිය හැකි රසවත් කතාවක්ද තියෙන ළමා කෘතියක්.
තවත් මම කැමති කෘතියක් තමයි, ‘ගල් වඩුවා’ නම් රුසියානු කතාන්දරය( අනුවාදය දැදිගම වී රුද්‍රගු). ඉපදුණ දා ඉඳලා හතර වටේටම නැමී නැමී වඳින්න හුරු කරන සමාජයක් ඇතුලේ, අනික් අය ඉදිරියේ දණින් නොවැටී ඉන්න, තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති කරන, තමන්ගේ ශක්තිය ගැන විශ්වාසයක් ඇති කරන කතාවක්.
ඉහත කෘති දෙකම ගත්තොත් රසවත් කතාවක් ද තියෙන එහෙත් අප සමාජය තුළ උඩු දුවා ඇති අගතිගාමී ආකල්පයන් වලට අභියෝග කරන කතා දෙකක්.
මට ඉන් පස්සේ ඇස ගැටුනා මීට තරමක් සමාන දේශපාලනික සංකල්ප දැකිය හැකි අපේ ලේඛිකාවන් දෙදෙනෙකුගේ කෘති දෙකක්.
එක ලපයා කෘතියට ගොඩක් සමාන නොවුනත්, චම්මි ලියපු බෝනික්කා ගේ යාළුවෝ කෘතිය කියන්නෙත් සංකල්පීය වශයෙන් වැදගත් කෘතියක්.මම වරක් ඒ කෘතිය ගැන විශේෂයෙන් මගේ මුහුණු පොතේත් ලිව්වා.එකිනෙකාට වෙනස් විවිධ ජාතින් වෙච්චි අපි, සාමයෙන් ඉමු කියනවාට වඩා චම්මිගේ ආකෘතිය ඉතාමත් නැවුම්. අපි එකිනෙකා විවිධයි, ඒ නිසා ඒ එකමුතුවෙන් හැදෙන අපි ගොඩක් ලස්සනයි වගේ දෙයක් චම්මි ඒ කෘතියෙන් මතු කරනවා. ඒ වගේම ශ්‍රී ලාංකීය ජාතියක් විදියට හිතද්දි, ළමා පොත් වලට ඒ වගේ සංකල්ප තව තවත් ඇතුළත් වෙන්න ඕනෙ. ඒ අතින් චම්මිගේ උත්සාහය හරිම ප්‍රගතිශීලියි.
අනෙක් පොත තමයි ගල්වඩුවා ළමා කෘතියේ සංකල්පයම යොදාගෙන අපේ රටට ගැලපෙන රසවත් කතාවක් ඇති සිබිල් නැන්දා ගේ ‘බළල් දෝණි’ කෘතිය. කුඩා දරුවා ඉතාමත් විනෝදෙන් කියවන පොතක් ඒක. සංකල්පය එක ගල් වඩුවා කෘතියට සමාන වුනත් අන්තිමේදි සිබිල් නැන්දා, තමුන්ගේ තරමට හිතන්න ඕනෑ වගේ රාමුගත උපදේශයකට කොටු වෙන එක තමයි නරක. එහෙත් ගල්වඩුවා කෘතියේ එම සංකල්පයම යොදාගෙන අවසානෙදි දරුවාට කියන්නෙ අනික් අය බලවත් කියලා තමන්ට හිතුනට, තමනුත් ඒ වගේම බලවත් කියන දේ විශ්වාස කරන්න කියන එක. එහෙම බලාගෙන ගියාම සිබිල් නැන්දාට වැඩිය රුසියානු ලේඛකයා බය නැතිව එහි තියෙන දේශපාලනය කතා කරනවා.
මම හිතන්නෙ අපේ ලේඛක ලේඛිකාවන්ගේ අඩුවක් ඒක. අපේ අය කුණු වෙලා ඕජස් ගලනවා වුනත් රැක ගන්න දඟලන සදාචාරයක් නිසා දරුවන් වෙනුවෙන් ලියන්න ආසාවෙන් ඉන්න අපේ ලේඛක ලේඛිකාවන් නිදහසේ ලියන්න බයයි. අපේ ලේඛක ලේඛිකාවන් අතින් දරුවන්ට නිදහසේ හිතන්න පොළඹවන කෘති අඩුවෙන් බිහිවෙන්නෙ ඒ නිසයි. ඇත්තටම ඒ හැඟීම මටත් පෞද්ගලිකවම දැනිලා තියෙනවා. ප්‍රංශ යොවුන් කතාවක් වන ‘මගේ තැන ඉඳන් හිතලා බලන්න’ කෘතිය පරිවර්තනය කරද්දි එහි තිබුණු එක් කාරණයක් සම්බන්ධයෙන් මටත් දෙගිඩියාවක් තිබුණා. ඒ කාරණයට කුමන හෝ සිවිල් බලයක් තියෙන ආයතනයක් රෙද්ද උස්සන් ඇවිත් සදාචාරය මතක් කරයි ද කියලා බයක් තිබුනා. ඉතින් අපේ රටේ ඒක එහෙමයි.
මම ඉහතින් සඳහන් කරපු කෘති හතරම දරුවන්ගේ චින්තන රටාව වෙනස් කරන්න, රාමුවෙන් පිටත හිතන්න අඩු වැඩි වශයෙන් පිටිවහලක් වෙන සිංහලෙන් කියවන්න තියෙන කෘති කිහිපයකට මම දුටුව හොඳ උදාහරණ.
චම්මි මතු කරන තව කාරණාවක් ගැන එනම්, ළමා කෘති වලින් නිතරම පණිවුඩයක් ලබා දිය යුතුද, එහෙම නොවෙන පොත්, හොඳ ළමා පොත් නොවෙයිද කියන කාරණය ගැන සංවාද කරන්න මට අනුව, එක් කදිම උදාහරණයක් තමයි(මා දැක ඇති පොත් අතරින්) ‘පුංචි ඉවන්කා සහ වැහි කුමරිය’( මිලේනෝ ලුකසෝවා- යාන් කුද්ලාචෙක්/ දේවිකා වඩිංගමංගාව) නම් අනුවර්තිත ළමා කෘතිය. එය ඉතාමත් ආකර්ෂණීය නිමාවක් ඇති ළමා කෘතියක්. එහි බැලු බැලූමට එවැනි කිසිදු උපදේශනාත්මක ස්වරූපයක් නැහැ. එහෙත් එහි චිත්‍ර සහ පෙළ මඟින් ඉතාමත් පරිකල්පනීය වශයෙන් පොහොසත් ලෝකයකට කුඩා දරුවාව රැගෙන යනවා. සොබා දහම තුළ නිදහසේ සැරිසරන දැරියක් හරහා සොබා සෞන්දර්යයෙ ඇති අපූරුවත්වය අප ඉදිරියට ගෙන එනවා. කුඩා දරුවන්ට කිසිදු කොන්දේසියකින් තොරව සොබා දහම හා බද්ධ විය හැකි බව සහ එහි ආශ්චර්යයන් විඳි ගත හැකි බව කියා පානවා. ඉතින් ඇත්තටම වැඩිහිටි අපිටත් ඒ පොත කියෙව්වාම හිතෙනවා වැස්සට පැනලා ටිකක් නටන්න!
සෘජු උපදේශනාත්මක නොවන තවත් කෘතියකට මා දුටු හොඳම උදාහරණයක් තමයි රුසියානු අනුවර්තිත කෘතියක් වන ‘වීර කුහුඹියා’ නම් කෘතිය( තත්යානා මකරවා/ දැදිගම වී. රුද්‍රිගු). එහි බැලූ බැල්මට උපදෙසක්, අනුශාසනාවක් ලබා දෙන්නේ නැහැ. එහෙත් එම කෘතියත් දරුවෝ ඉතා ආශාවෙන් කියවන කෘතියක්. එහි කියැවෙන්නෙ කුහුඹුවන්ව සාහිත්‍ය ලෝකයේ හඳුන්වා දෙන ආකාරයෙන්ම වීරියවන්ත, පසු නොබසින, අභියෝග වලට බය නැති කුහුඹු තාත්තෙක් තම පවුල උපද්‍රව වලින් බේරගෙන, ඔවුන්ට ගැලපෙන නිවසක් සොයා ගන්නා ආකාරයයි. ඒත් එහි මම දකින ඉතාමත් විශේෂිත ලක්ෂණය නම්, දරුවන්ගේ දෑස් එක පිටුවක් පුරා බොහෝ වෙලාවක් අලවා ගෙන ඉන්න සලස්වන එහි අසිරිමත් සිතුවම් පෙළ. පොතේ සෑම පිටුවක් පුරාම ඇති විවිධ වර්ණයන්ගෙන් විචිත්‍ර වුණු, සියුම් රේඛා යොදා ගනිමින් එතරම් විස්තරාත්මක ඇඳි ළමා සිතුවම් විශේෂයක් මම කිසිම කෘතියක දැක නැහැ. මමත් කුඩා කල කියවූ ඒ කෘතිය නැවත අතට ගත් විට, කතන්දරය නොව එහි පින්තූර දෙස නොදැනීම ටික වෙලාවක් දෑස අලවා ගෙන සිටිම දැනටත් මා අතින් සිදු වන්නේ එහි ඇති චිත්‍රවල ඇති විශ්වාස කළ නොහැකි තරමේ විචිත්‍රත්වය නිසයි.
ඉතින් ඇත්තටම කිව්වොත් ළමා කෘතියක් නිතරම උපදේශනාත්මක විය යුතු නැහැ. නමුත් ඉහත දැක්වූවාක් වැනි විවිධ ක්‍රම මඟින් නිර්මාණකරුවාට දරුවාගේ මනස පෝෂණය කළ හැකියි.
ඒ වගේම මම හිතන්නේ ඕනෑම ගුණාත්මකයි කිව හැකි ළමා කෘතියකින් කුමක් හෝ පණිවුඩයක්, ඔය කියන ජාතියේ උපදේශයක් උකහා ගත හැකියි. නමුත් ළමා සාහිත්‍යකරුවන්/කාරියන් ඔය කියන පණිවුඩය මතම යැපීම නිසා ළමා කෘතියේ නිර්මාණශීලිබවත්, රසවත් බව සහ පරිකල්පනයේ නිදහස් බව අහිමි කරගන්නවා වගේ දෙයක් අපේ රට තුළ සිදුවෙනවා කියලයි මට හිතෙන්නෙ.
එහෙත් මේ මොහොතෙ විශ්ව ළමා සාහිත්‍යයට ටිකක් එබී බැලුවොත් ගතානුගතික චරිත නිර්මාණයට අභියෝග කරන කතන්දර මෙන්ම, ලිංගික කාරණා, ළමා අපචාර, මත්කුඩු වලට ඇබ්බැහිවීම්, දික්කසාද වගේම සමරිසි විවාහ ගැන පවා නිදහසේ කතා කරන ළමා කෘති බිහිවෙමින් තිබෙනවා. බටහිර රටවල පමණක් නොව අපේ අසල්වැසි ඉන්දියාවේ ද එවැනි ප්‍රවණතා දකින්න පුළුවන්. ඉන්දියාවේ තුලිකා ළමා පොත් ප්‍රකාශකයෝ එයට හොඳම උදාහරණයක්. ඉතින් අපි එවැනි ප්‍රවණතා ළමා සාහිත්‍ය තුළ බිහිකිරිමට කෙතරම් සුදානම් ද යන්න ගැන මට තියෙන්නෙ දෙගිඩියාවක්.
අනික් කාරණය තමයි ළමා සාහිත්‍යයට පිටිවහලක් වන මොනම ආකාරයක විචාර කලාවක්වත් අපේ රට තුළ නැති කම. ඒකත් හරියට, ඉතාමත් පරිස්සමින් කළ යුතු ළමා අධ්‍යාපන අවධිය වන, පෙරපාසල් අධ්‍යාපනය අපේ රටේ මොනම ආකාරයක අධික්ෂණයක් නොවෙනවා සේම, ළමා සාහිත්‍යටත් කිසිදු ආකාරයක ඇගයීමක්, ගුණ දොස් විවේචනයක් ගුණාත්මක ආකාරයෙන් ලැබෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් අපේ සාහිත්‍ය විචාරකයින් ළමා සාහිත්‍යය මුළුමනින්ම නොතක හැරලා කිව්වොත් මම වැරදි නැහැ. ළමා සාහිත්‍යයට ආදරයක් තියෙන අය මහන්සිවෙලා තමන්ට හැකි උපරිමයෙන් නිර්මාණ කළත් ඒ නිර්මාණ, ළමා ලෝකය කෙසේ බාරගන්නේද, එම කෘති වල ඇති ප්‍රගතිශීලි හෝ අගතිකාමී ලක්ෂණ මොනවද කියන දේ ගැන වත් නැවත සාකච්ඡාවක් ළමා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා ඇත්තටම ළමා සාහිත්‍යවේදින්ට තම දුර්වල කම් හඳුනාගෙන හොඳ නිර්මාණ තව තවත් කරන්න ඇති අවකාශය ඇහිරිලා යනවා. ඇත්තටම ළමා සාහිත්‍ය නිර්මාණකරුවන් රකින, ශක්තියක් ලබා දෙන එහෙම විචාර කලාවක් තිබුණා නම්, අපේ රටේ ළමා සාහිත්‍යකරුවන්ට මීට වඩා නිදහසේ සහ නොබියව තම නිර්මාණ කරන්න පුළුවන් අවකාශයක් බිහිවෙන්න ඉඩ තිබුනා.
මම හිතන්නේ ළමා සාහිත්‍ය පිළිබඳ අවධානයක් ඇති අය, ඒ පිළිබඳ ක්‍රියාකාරීව වැඩ කරන පිරිස සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ළමා කෘති අගයන සහ විචාරණ සාධනීය විචාරක කලාවක් ගොඩ නඟා ගත යුතු වීම ළමා සාහිත්‍යයේ ප්‍රගතියට අනිවාර්යයක්.