Breaking News

ලංකා ආණ්ඩුව මියන්මාර් හමුදා ආණ්ඩුවට BIMSTEC සමුළුවට ආරාධනා කිරීම ගැන එරට වැසියන්ගේ විරෝධය

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වන ලෙස මියන්මාර හමුදා ජුන්ටාවවේ විදේශ අමාත්‍යවරයාටත් ශ්‍රී ලංකා රජය ආරාධනා කිරීම පිළිබඳ එරට ජනතාවගේ කෝපය එල්ල වී තිබේ.

එම සංවිධානයේ සභාපතිත්වය සහ අමාත්‍ය රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන අතර, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන විසින් මෙම ආරාධනාව සිදුකරනු ලැබ තිබේ. ලොව කිසිම රටක් මියන්මාර හමුදා පාලනය පිළිගෙන නොමැති අවස්ථාවක ශ්‍රී ලංකාව මෙලෙස එම පාලනය පිළිගැනීම ලැජ්ජාසහගත බව මියන්මාර වැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය දක්වමින් පවසයි.

එම සමාජ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට ආරාධනා කළ බවයි.
බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තයටත් ආරාධනා කළ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. නමුත් එයින් මියන්මාර් හමුදා පාලනය නිල වශයෙන් පිළිගෙන ඇති චෝදනාව බැහැර නොවන බව සමාජ මාධ්‍ය ජාල හරහා අදහස් දක්වන්නන්ගේ අදහස වී තිබේ.

මියන්මාරයේ මේ වසරේ මුල සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට පාලන බලය හෙබවූ ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන්සාන් සුකී මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ රඳවා තබාගෙන සිටී. හමුදා පාලනයට එරෙහිව එරට වැසියන් උද්ඝෝෂණ පවත්වන අතර, එරට හමුදාව එම උද්ඝෝෂණවලට සිදුකළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් 50ට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. එමෙන්ම මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවට පළා ආ මියන්මාර පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ උද්ඝෝෂකයන්ට වෙඩි තබන ලෙස තමන් ඇතුළු නිලධාරීන්ට නියෝග ලැබුණු බවයි.

ශ්‍රී ලංකාව මියන්මාරයේ හමුදා පාලනය අනියමින් පිළිගෙන ඇති බවට මියන්මාර වැසියන් ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත මේ වන විට ප්‍රකාශ මුදාහැර තිබේ.

‘ෂේම් ඔන් යූ ශ්‍රී ලංකා’ යනුවෙන් හෑෂ් ටැගයක් මගින් ඔවුන් ට්විටර් සමාජ මාධ්‍ය වෙත සිය විරෝධය පළ කරමින් සිටියි.

මේ අතර, ඊයේ මියන්මාර ජනතා සහයෝගීතා කමිටුව විසින් මියන්මාර හමුදා පාලනයට විරෝධය පළ කරමින් කොළඹ – මල් පාරේ පිහිටි මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක් සංවිධාන කර තිබුණි.

 

leave a reply