Breaking News

වැටුප්, රැකියා ඇතුළු කම්කරුවන්ගේ ප්‍රශ්න රැසකට ඇමැතිවරයාගේ එකඟතාව ගන්න කටයුතු කළා – දුමින්ද නාගමුව

වැටුප්, රැකියා ආදී රාජ්‍ය, පෞද්ගලික, වතු කම්කරුවන් මුහුණ දෙන ගැටලු රැසක් පිළිඳව කම්කරු ඇමැති දිනේෂ් ගුණවර්ධන සමග සාකච්ඡා කර එකඟතා ලබා ගැනීමට කටයුතු කළ බව එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

“බොහෝ ආයතන පෙබරවාරි, මාර් තු මාසවල අඩ වැටුප් ගෙවලා තියෙන්නේ, සමහර ආයතන ගෙවලා නැහැ, ඒ වගේම ඉදිරියේදී වැටුප් නොගෙවා ඉන්න සමහර ආයතන තීරණය කර තිබෙනවා. අපි මේ පිළිබඳව ඇමැතිවරයාගේ අවධානය යොමු කළා. ඔහු කිව්වා, සියලුම කම්කරුවන්ට වැටුප් ගෙවන්න හාම්පුතුන්ගේ සම්මේලනය සමග සාකච්ඡා කර තිබෙන බවත් ඊට දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් සම්බන්ධ කරන බවත්. වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියට අපි ඒ පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්නවා.

ඒ වගේම ඇතැම් ආයතන කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමේ සූදානමක් තිබෙනවා. එස්.එම්.එස්.වලින් රැකියා අහිමි කරමින් ඉන්නවා. අනියම් හෝ කොන්ත්‍රාත් සේවකයන්ගේවත් රැකියාව ඒ විදියට අහිමි කරන්න බෑ. මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඇමැතිවරයා පොරොන්දු වුණා.” යැයිද දුමින්ද නාගමුව පැවසීය.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කම්කරුවන්ට නිදහස් කිරීමට අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ බව ඔහු පැවසීය. මෙම යෝජනාවේ අරමුණු ආයෝජන අවස්ථා පුළුල් කිරීම නොවන බවත් මෙම මුදල නිදහස් කරන්නේ ලීසිං හා ණය වාරික අය කර ගැනීම හරහා මූල්‍ය ආයතන වෙත එම මුදල නැවත ලබා ගැනීමට බවත් එමෙන්ම වැටුප් නොගෙවන ආයතනවලට තවදුරටත් එසේ වැටුප් නොගෙවා සිටිමින් කම්කරුවන්ට අර්ථසාධක අරමුදලෙන් ජීවත් වන ලෙස දැනුම් දීමට බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම යෝජනාව හුදු පෞද්ගලික මතයක් පමණක් බවත් එය රජයේ තීරණයක් නොවන බවත් ඇමැතිවරයා දැනුම් දුන් බව කී දුමින්ද නාගමුව, අර්ථසාධක අරමුදලට අත තබනවාට කම්කරු අරගල මධ්‍යස්ථානය විරුද්ධ බව අවධාරණය කළේය.

කිසිදු සහනයක් නොලැබෙන වතු කම්කරුවන්ට සහනාධාරයක් ලබා දිය යුතු බවත් රැකියා ලැබීමට සුදුසුකම් ලබා සිටින උපාධිධාරීන්ගේ ගැටලුවට වහාම විසඳුම් අවශ්‍ය බවත් සාකච්ඡාවේදී අවධාරණය කළ බවත් ඊට මැදිහත් වීමට පියවර ගන්නා බවට ඇමැතිවරයා එකඟ වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

leave a reply