Breaking News

අදානි දුකෙන්ලු !

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තු වන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් අදානි සමාගම කනස්සල්ලට පත්ව ඇති බව සඳහන් පුවත විශේෂ අවධානයක් දිනාගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

හිටපු විදුලි බල මණ්ඩල සභාපතිවරයා පසුගියදා කෝප් කම්ටුව හරහා පැවසුවේ මන්නාරමේ ඉදිවන සුළං විදුලි බලාගාරයක ඉදිකිරීමේ කොන්ත්රාත්තුව ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බවත් මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ජනපති නරේන්ද්ර මෝඩි, ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බලපෑම් කර ඇති බවත්ය. දැන් ආණ්ඩුව පවසන්නේ සභාපතිගේ මෝඩ ප්‍රකාශය නිසා ලංකාවට ලැබීමට තිබූ ඉන්දියානු ණය ප්‍රමාදවීමට නියමිත බවයි.

ඒ අනුව ඉන්දියාව විසින් ණය සහ විවිධ ආධාර ලබාදීම හරහා ලංකාවට උදව් කරන මුවාවෙන් අපේ රටට සිදුකරන බලපෑම ගැන කතාව යට යනු පෙනේ. ඊට අමතරව මෝදී ආණ්ඩුව සහ ධනවතුන් අතර තිබෙන සහ සම්බන්ධය මෙන්ම රාජ්යයන්-රාජ්යයන් අතර ඇතිවන ව්යාපෘතිවල එකඟතාවලදී පවා ව්යාපාරික සාධකය කෙතරම් ප්රබල ද යන කාරණය යට යනු පෙනේ. ඒ වෙනුවට උලුප්පා දක්වන්නේ රටේ ජනතාවට කන්න බොන්න මුදල් අවශ්‍ය බවත් දැනට ඒ සඳහා උදව් කරමින් සිටින්නේ ඉන්දියාව බවයි. නැවත මතක් කර බැලුවහොත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ කතාවේදී ද මෙවැනි කතා බහක් මතුවී නැවත යට යන ලදී. එම ජැටිය ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබුනේ ද අදානි සමාගමටයි.

නමුත් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වූවා නම් අපේ රටේ ජනතාවට ලැබෙන වාසිය කුමක්ද යන්න විමසා බැලීම වටියි. මම සුළං විදුලි බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව විදුලි බල පනතක් පවා සම්මත කිරීමට ආණ්ඩුව කටයුතු කරන ලදී. එම නව විදුලි බල පනත හරහා තරඟකාරී ක්‍රමයක් යටතේ මිල ගණන් කැඳවීම සහ ටෙන්ඩර් කැඳවීමේ දී විදුලි ඒකකයක් සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කරන සමාගමට ටෙන්ඩර් එක ලබාදීම යන කරුණු ප්‍රධාන ලෙස වෙනසකට ලක් කරන ලදී. මේ අනුව අදානි සමාගම හරහා විදුලිය වැඩි මිලට මිලදී ගැනීමට සැරසෙන බවද හෙළිව ඇත. මේ සියල්ලෙහි බර දැරීමට සිදුවන්නේ රටේ ජනතාවටයි. මේ අනුව මෙවැනි ව්‍යාපෘති හරහා රටකට සිදුවන යහපතක් නැති බව ඉතා පැහැදිලිය. සිදුවන්නේ රට දිගු කාලීනව තව තවත් අගාධයකට ගමන් කිරීම පමණි.

රට ආගාධයකට ඇද දැමුවේ මේ රට මෙතෙක් පාලනය කර පාලකයන් විසිනි. එයට රටේ ජනතාව වගකිවයුතු නැත. එසේම දැනට මතුව ඇති ප්‍රශ්න විසඳා ගැනීමට තවදුරටත් රටේ ජනතාව උගසට තැබීමට ඉඩ නොදිය යුතුය. අදානිලා සතුටු කිරීමට ජනතාව දුකේ හෙළීමට අප තවදුරටත් ඉඩ දිය යුතු නැත.

leave a reply