Breaking News

20 සංශෝධනයට කොරෝනා ආණ්ඩුවට ලබා දුන්නේ වාසි සහගත තත්ත්වයකි

සමන්සිරි හේරත්

කොරෝනා වසංගත තත්ත්වය හිස එසවීම හේතුකරගෙන 20  වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තිබුණු උනන්දුව සමාජයෙන් පහව ගියා. 20  වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 40 කට ආසන්න ප්‍රමාණයක් ගොනු වෙලා තිබුණා.   පෙත්සම් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය  20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තීන්දුව මේ වන විට කථානායකවරයාටත් , ජනාධිපතිවරයාටත් ලබාදී ඇති බව වාර්ථාවෙනවා. ලබන 20  වෙනිදා  කතානායකවරයා මේ  තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතරතුර ආණ්ඩු  පාර්ශවය නියෝජනය කරන  මන්ත්‍රීවරු  සහ රාජපක්ෂවරුන්ගේ බලය වෙනුවෙන්  වෙහෙසුණු   පිරිස් වෙතින් ද  20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මත ගොඩනැගෙමින් එනවා. විශේෂයෙන්ම  විමල් වීරවංශ මේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. වාසුදේව නානායක්කාර වැනි දේශපාලන අනාතයින් 20  වන ව්‍යවස්ථා සංශෝධනය හොඳ නැහැ නමුත් ඡන්දෙ දෙනවා වගේ ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා.

දැනට නිල නොලත් ආකාරයට හෙළිදරව් වී තිබෙන කරුණු වලට අනුව සමහරවිට ගෝඨාභය ඇතුළු පාර්ශව ජනමත විචාරණයකට ලක් කළ යුතුයි කියන වගන්ති ඉවත් කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන සහිතව සම්මත කරගැනීමට ඉඩ තියෙනවා.  මොකද මේ වන විට  ගෝඨාභය යනු මාර කශේරුකාවක් තියෙන මිනිහෙක්ය කියා ජනගත කරලා තිබුණු  අධි මතවාදය  ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ඔස්සේ කඩා වැටෙමින් පවතිනවා. මෙය ගෝඨාභයගේ දේශපාලන පෞරුෂයට දැඩි බලපෑම් එල්ල කරන කරුණක් බවට පත්වෙලා තිබෙනවා. බල බිඳුනු ව්‍යවස්ථා සංශෝදනයක් හෝ විසිවන ව්‍යවස්ථා සංසෝධනය ලෙස සම්මත කර ගැනීම මේ දේශපාලන පෞරුෂය කෙසේ හෝ රැක ගැනීමේ උපක්‍රමයක් හැටියට ඔවුන් පාවිච්චි කරන්න ඉඩ තියෙනවා.

ඒ විතරක් නෙවෙයි මැතිවරණ වලට කලින් විදෙස් බලපෑම්වලට එරෙහිව ක්‍රියාත්මක කරනවා යැයි කියමින් කළ සිංහනාද ගොළු වෙමින් පවතින බව දැන් සමාජයට වැටෙනවා. ජපානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට තිබුණු සැහැල්ලු දුම්රිය වැඩපිළිවෙළ නවතා දැමීම සහ  චීන රජයේ ඉහල පෙළ නියෝජිතයන්  හිටිහැටියේම ලංකාවට පැමිණම ඒ පැමිණීම හරහා තවත් ණයකට හිර කිරීම,  මේ අතර ඇමරිකානු නියෝජිතයෙක් හදිසියේම ලංකාවට පැමිණීමට තිබීම විසින්  ගෝඨාභය ගේ  තනි පුද්ගල ප්‍රතිරූපයටත් දේශමාමක රාජපක්ෂ ආණ්ඩුවට  එරෙහිව ජනතා අප්‍රසාදය මතුවෙන්න හේතු  නිර්මාණය වී තිබෙනවා .

ගෝඨාභය ජනාධිපති සහ මහින්දගේ ආණ්ඩුව කෙරෙහි තිබුන  සිංහල බෞද්ධ ජනතා ආගමික සංස්ථාවේ විශ්වාසයද පළුදු වෙමින් පවතිනවා. එනිසා මේ ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් එරෙහිව  විරෝධයේ හීන් කෙඳිරි  බෞද්ධ ආගමික මුවගින් එළියට පනින්න පටන් අරන් තිබෙනවා. මීට හොඳම උදාහරණය තමයි  ඔක්තෝම්බර් 12 වැනිදා ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ  20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ප්‍රකාශය .

ආණ්ඩු පාර්ශ්වයේ 20  වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මත ප්‍රකාශ කරන්නන් මට්ටු කිරීමේ වැඩපිළිවෙලක්   ක්‍රියාත්මක වෙන බවට නැගෙන චෝදනා මෙන්ම  20 වන සංශෝධනය කෙසේ හෝ  සම්මත කර ගැනීම ජනාධිපතිවරයා ගේ අභිලාෂය වී ඇති බව    පෙනේ.   කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරයා සහ  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර මතභේදාත්මක පොරයක් පවතින බව සමාජ ගත වී හමාරය.

පාස්කු ප්‍රහාරයට  සම්බන්ධ පුද්ගලයන් හා  ළඟ ඇසුරක් තිබුනු බවට ඇති බව පවසමින් අත්අඩංගුවට ගත් බදුර්දීන්ගේ සොහොයුරා නිදහස් කිරීමේ කතාව ද මේ 20  වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කැර ගැනීම හා බැඳී පැවතුණි. කෙසේ වෙතත් මේ වන විට නැවතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්න අවශ්‍ය උපදෙස් නීතිපති වරයා  පොලීසියට ලබා දී ඇති බව වාර්තා වෙනවා.  මේ සියලු කරුණු  20 වන  ව්‍යවස්ථා සංශෝධනය හා බැඳී පවතින බවට  සැක මතුකර ගත හැකියි .

මේ අතර   අද වන විට ඔක්තෝම්බර් 12 වැනිදා ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ  හිමිවරුන් පැවැත්වූ මාධ්‍ය හමුවට  වෙනස් ආකාරයේ අදහසක්  ම සඟ සභාවල මහා නායක හිමිවරුන් අද ප්‍රකාශ කිරීම හරහා  මතුවන්නේ  සියලු පාර්ශවයන්ගේ  ගැටුම්  උත්සන්න වෙමින් පවතින බවයි.

සේවෙතත් මේ 20  වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්ථිර අදහසක් ප්‍රකාශ කිරීමට තවමත් හැකියාවක් නැහැ. මෙය  කුමන පැත්තකට  පෙරළේවිද යන්න තියෙන්නේ  නිශ්චිත නැති  තැනකය .  නමුත් මේ මොහොතේ පවතින තත්වය හමුවේ  ආණ්ඩුවට යම් වාසියක් ලැබී තිබේ . කොරෝනා වසංගතයට මුවා වී ජනතා විරෝධය හීන කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබීමයි. මේ තීරණාත්මක  අවස්ථාවේදී කොරෝනා වසංගතය හිස වීමේ වාසිය  ලැබෙන්නේ ආණ්ඩුවට සහ  20 වන ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍යයෙන්ම සම්මත කරගත යුතු පුද්ගලයන්ටය.

leave a reply