Breaking News

බාල බෙහෙත් ගැන හෙළිකරන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක

කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්ණ තොරතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කෙරේ.

බාල බෙහෙත්, හදිසි ඖෂධ මිලදී ගැනීම් ඇතුළු කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් සකස් කෙරුණු විගණන වාර්තාවෙන් මෙම ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කිරීම කෙරෙන බව ජාතික විගණන කාර්යාලය පැවසීය.

මෙම විශේෂ විගණන වාර්තාව දැනටමත් සකස් කර අවසන්වී ඇත.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න ගේ විශේෂ උපදෙස් මත ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් වසරකට ආසන්න කාලයක් තිස්සේ මේ පිළිබඳව දීර්ඝව විමර්ශන පවත්වා මෙම වාර්තාව සකස් කළහ.

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචි කිරීම සම්බන්ධ කරුණු රැසක්ද මෙම වාර්තාවෙන් හෙළිදරව් කෙරෙන බව දැන ගන්නට ඇත.

මෙම විගණන වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු පදනම් කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ද ඉදිරි දිනවල වෙන වෙනම විමර්ශන පැවැත්වීමට නියමිතය.

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීහු පිරිසක් මේවනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබියුලින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරිමේ සිද්ධිය පිළිබඳ නඩුව මාලිගාකන්ද අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. මෙම වංචාවෙන් රජයට සිදුවී ඇතැයි පැවසෙන පාඩුව කෝටි 110 කි.

ඊට අමතරව බාල බෙහෙත් හේතුවෙන් රෝගීන් විශාල ප්‍රමාණයකට අතුරු අබාධ ඇතිවූ අතර තවත් රෝගීන් ප්‍රමාණයක් ආසාදන හේතුවෙන් මියගොස් තිබුණි.

leave a reply