Breaking News

ගාසාහි සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවට ඇමරිකාව නැවැතත් හරස් වෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වහා සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම අවහිර කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තවත් කෙටුම්පත් යෝජනාවකට එරෙහිව එක්සත් ජනපදය සිය නිෂේධ බලය භාවිතා කර ඇත.

ඇල්ජිරියාව විසින් ඉදිරිපත් කල නවතම කෙටුම්පත සඳහා රටවල් 13ක් පක්ෂව ඡන්දය ලබා දී තිබුණි. එක්සත් රාජධානිය ඡන්දය දීමෙන් වැළකී සිටි අතර එක්සත් ජනපදය පමණක් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇත. එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලය, එක්සත් ජාතීන්ගේ ක්‍රියාමාර්ගවලින් ආරක්ෂා කරන අතර යුද්ධය ආරම්භ වූ දා සිට ආරක්ෂක මණ්ඩල යෝජනා තුනක් සඳහා සිය නිෂේධ බලය යොදා ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවක් සම්මත කර ගැනීමට නම්, එයට අවම වශයෙන් පක්ෂව ඡන්ද නවයක්වත් අවශ්‍ය වන අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව හෝ චීනය යන ස්ථිර සාමාජිකයන් පස්දෙනාගෙන් කිසිවකු නිෂේධ බලය භාවිතා නොකළ යුතුය.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය නිසා මේ වන විට 29,000කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇත. එමෙන්ම පලස්තීන ජනගහණයෙන් 80% කට වඩා යුද්ධය නිසා අවතැන් වී ඇත.

මේ අතර යෝජනාව නිෂේධනය කිරීම සම්බන්ධයෙන් චීනය විසින් එක්සත් ජනපදය දැඩි ලෙස විවේචනය කරනු ලැබ තිබේ.

චීනය පැවසුවේ මෙම පියවර මගින් “වැරදි පණිවිඩයක්” යවන ලද අතර ඵලදායී ලෙස “ඝාතන අඛණ්ඩ සිදුකිරීම සඳහා කොළ එළියක්”ලබා දුන් බව ය.

හමාස් සංවිධානය මාර්තු 10 වැනිදා වන විට ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් රෆාහි ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරන බවට ඊශ්‍රායල් යුද කැබිනට් මණ්ඩලයේ සාමාජික බෙනී ගැන්ට්ස් අනතුරු අඟවා තිබේ.

රාමසාන් – ඉස්ලාමීය උපවාසයේ ශුද්ධ වූ මාසය – මාර්තු 10 වැනිදා දින ආරම්භ වේ.

ගාසා තීරයේ ජනාකීර්ණ දකුණු නගරයට තම හමුදා ඇතුළු වන්නේ කවදා දැයි ඊශ්‍රායලය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.

මිලියන 1.5ක් පමණ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින රෆාහි එවැනි ප්‍රහාරයකට එරෙහිව ගෝලීය විරෝධය වර්ධනය වෙමින් තිබේ.

ඊශ්‍රායල් හිටපු ආරක්ෂක අමාත්‍ය ගැන්ට්ස් මෙසේ පැවසීය: “ලෝකය දැනගත යුතුයි..හමාස් නායකයින් දැනගත යුතුයි – රාමසාන් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවෝ නිවසට නොපැමිණිය හොත් , රෆා ඇතුළුව සෑම තැනකම සටන් දිගටම පවතී”.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රෆා නගරයේ මහා පරිමාණ යුද්ධ මෙහෙයුමක් දියත් කරනු ලැබුවහොත් එහි ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ඊශ්‍රායලය පෙබරවාරි 11 වන දින රැයක් පුරා [රෆා] නගරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ අතර එයින් අවම වශයෙන් පුද්ගලයින් 67 දෙනෙක් මිය ගොස් තිබේ.

හමාස් සටන්කාමීන් සඳහා ඉතිරිව ඇති අවසාන බලකොටුව රෆා බව ඊශ්‍රායලය තර්ක කරයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වඩා ඒ වෙත පළා ගොස් ඇති අතර එය ආධාර මෙහෙයුම් ක්‍රියාත්මක වන ප්‍රධාන මධ්‍යස්ථානය බව ය.

leave a reply