Breaking News

තව ණය ගැනීමෙන් බංකලොත් ලේබලය ගැලවෙනවද?

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් කියන ලේබලය ඉවත් කිරීමට අවශ්‍ය තීරණාත්මක පියවර ගෙන ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

එහිදී රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් දැනුම් දුන් බවය.”මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා…” යැයිද පවසා ඇත.

අපේ රට ප්‍රධාන වශයෙන් බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත්වූවේ විදෙස් සංචිත සිඳී යාමත් අපට විදේශ සහ දේශීය ණය ගෙවා ගැනීමට නොහැකි වීමත් නිසයි. දැනට දේශීය ණය ගෙවීම යනුවෙන් කර ඇත්තේ වැඩකරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල්වලින් ලබාගත් ණය කපා හැරීමයි. විදේශ ණය ගෙවීම මෙතෙක් ආරම්භ කර නැත. එසේම සිදුව ඇත්තේ තිබෙන ණය ගොඩට අලුතින් ණය එකතු වීමයි. එසේ තිබියදී බංකොලොත් ලේබලයෙන් මිදුනා යයි පැවසීම අමූලික බොරුවකි.

ඊට අමතරව රටේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටි තිබේ. අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක හිඟයක් පවතියි. සෞඛ්‍ය සේවකයන් බොහෝ දෙනෙක් රට හැර ගොස් තිබේ. රෝහල්වල අවශ්‍ය විසේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතල හිඟයක් පවතියි.

ඊට අමතරව අධ්‍යාපන පද්ධතිය කඩා වැටෙමින් පවතියි. බොහෝ දෙමව්පියන්ට තම දරුවන් පාසල් එවීමට අවශ්‍ය බස් වියදම් හෝ පාසල් උපකරණ වියදම් දැරිය නොහැකිව ඇත. පාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා පාසල් සේවා ගාස්තු වැඩකිරීමට සිදුවීම තවත් බරපතල ගැටලුවකි.

රටේ ප්‍රධාන ආදායම් ලබාදෙන ආර්ථික වශයෙන් ඉතා වැදගත් ජනතා දේපොළ විකිණීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටියි. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව ඒ අතරින් ප්‍රමුඛ වේ. එහිදී ඉන්දියාවට මෙරට ආර්ථික මර්මස්ථාන මෙන්ම ඉඩම් ටික ලබාදීමේ සැලැස්ම වෙනුවෙන් ද වැඩකටයුතු ආරම්භ වෙමින් පවතියි.

එසේම ලබන වසරේ සිට වැට් බදු වැඩිකිරීමත් සමඟ අත්‍යවශ්‍ය සියලු භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. ජනතාවට කෑමට නොව ලෙව කෑමට සිදුවෙනු ඇත.

leave a reply