Breaking News

අති දුර්ලභ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත සමාගමට ලබාදීමට සැරසෙයි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී හමුවූ ලංකාවට ආවේනික අතිදුර්ලභ ශාකයක් වූ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත ප්‍රොපර්ටි පුද්ගලික සමාගමට ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගම යනු මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකරමින් එම පරිසර පද්ධතිය විනාශ කිරීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල වී ඇති සමාගමකි.

දැනට එක් ශාකයක් පමණක් හඳුනගෙන ඇති මෙම දුර්ලභ ශාකය ගලවා නැවත සිටුවීම සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ මැල්වත්ත සමාගමට අදාළ කාර්ය ඉටුකිරීම සඳහා ලබාදීම ගැන තම ආයතනයේ විරුද්ධත්වයක් නැති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන පරිසරවේදීන් පවසන්නේ මෙවැනි කාර්යක් ඉටුකිරීමට අවශ්‍ය දැනුම සහිත රාජ්‍ය ආයතන තිබියදී පරිසර විනාශයකට මාන බලමින් සිටින පෞද්ගලික සමාගමකට මෙය ලබාදීමට උත්සාහ කිරීම ගැටලු සහගත බවයි. එසේම මෙය යම් ආකාරයකින් තමන්ගේ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් මැල්වත්ත සමාගම රජයේ පරිසරය සම්බන්ධ ආයතන වෙත ලබාදෙන කප්පමක් විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අගවයි.

Crudia zeylanica ශාකය
ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික Crudia zeylanica ශාකය අධිවේගී මාර්ගයකට බිලි වීමට ආසන්නයේ තිබියදී සොයා ගැනීමට හැකි වී තිබුණි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා වෙන කර ඇති ප්‍රදේශයෙන් මෙම ශාකය හමුව තිබුණි. මෙය පිහිටා ඇත්තේ ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ යි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියට යොමුකළ ලිපිය පහත දැක්වේ.

leave a reply