Breaking News

තරුණයින් 11ක් පැහැරගත් නඩුවෙන් වසන්ත කරන්නාගොඩගේ නම ඉවත් කිරීමේ උත්සාහයක්

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, මැයි 09 වෙනිදා කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් සිදු කළා. ඒ, 2008දී නාවික හමුදාවේ කප්පං කල්ලියක් පුද්ගලයින් 11දෙනෙකු පැහැරගෙන අතුරුදහන්කළ නඩුවේ 14වන චූදිතයා වූ, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා දරන උත්සාහයට එරෙහිවයි.

වසන්ත කරන්නාගොඩ විසින් තමා මේ නඩුවෙන් ඉවත් කරන ලෙස අතුරු නියෝගයක් ඉල්ලා රිට් පෙත්සමක් ගොණු කළේ 2020දී. පුද්ගලයන් 11දෙනා පැහරගෙන අතුරුදහන් කරවීම සම්බන්ධ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයට යොමු කළේද එම වසරේදීමයි. මේ නඩුවේ චූදිතයින් 14 දෙනාට එරෙහිව චෝදනා 667ක් ඉදිරිපත්කර තිබෙන අතර සාක්ෂිකරුවන් 200ක් සිටිනවා. නමුත් මේ නඩුව මෙතෙක් විභාගයට ගෙන නැත්තේ වසන්ත කරන්නාගොඩගේ රිට් පෙත්සම විභාග කරනවාද? නැද්ද? යන තීන්දුව ලබාදිම අවුරුදු 4ක් තිස්සේ කල් ඇදෙමින් තිබෙන නිසා. අතුරුදහන්වූවන්ගේ පවුල්වල මවු පියවරුන් අත්පත්‍රිකා බෙදා හරිමින් මේ පිළිබදව ජනතාව දැනුවත් කළේ මෙලෙසින්;

“ඔබ පෙනී සිටින්නේ නීතිය වෙනුවෙන්ද? දේශපාලනය වෙනුවෙන්ද?

නාවික හමුදාවේ නිලධාරින් විසින්, කප්පම් ලබා ගැනීම සදහාම 11දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීමට විරුද්ධව නඩුවක් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවතිනවා. 2008දි තමයි මේ අපරාදය සිද්ධ වෙන්නේ. තමන්ගේ ආරක්ෂකයා (බඩී) LTTEයට සම්බන්ධයි කියලා පළවෙනි පැමිණිල්ල කරන්නේ 2008දී, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩමයි. කොහොමහරි ඒ ආර්ක්ෂකයාගේ (නේවි සම්පත්) ලාච්චුවේ තිබිලා හම්බවෙන හැදුනුම්පත් කිහිපයක් පිළිබදව කරන පරීක්ෂණවලදී මේ අතුරුදහන්කළ 11දෙනා ගැන තොරතුරු එළියට ඇවිල්ලා නාවික හමුදාපති කරන්නාගොඩ ඇතුළු නාවික හමුදාවේ 14කට විරුද්ධව නඩු පැවරෙන්නේ.

2008දී විතර පටන් අරන්, මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කරලා නීතිපතිට යොමුවෙලා, විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට යොමු කරනවා. 2008දී විතර හිටපු නීතිපති යටතේ (දැන් අගවිනිසුරු) වසන්ත කරන්නාගොඩ 14වන විත්තිකරු ලෙස නම් කරලා ඔහුත් ඇතුළුව නාවික හමුදාවේ 14කට විරුද්ධව නඩු පවරනවා. එදා ඉදලා කරන්නාගොඩ, චෝදනා පත්‍රය බාරගන්න උසාවියට එන්නේ නෑ (අපි එහෙම කළොත් වරෙන්තු – හිරේ). ඔහු රිට් අයදුම්පතක් ඉදිරිපත් කරනවා ඔහුව නම් කරන්න එපා කියලා. ඒ ඉල්ලුම් පත්‍රය සම්බන්ධව, හිටපු නීතිපති තදින් පෙනී සිටිනවා. කරන්නාගොඩ 14වැනි විත්තිකරු කළ යුතුමයි කියලා. ඊට පසුව පත්වන සංජය රාජරත්නම් වර්තමාන නීතිපති දැන් කියනවා, කරන්නාගොඩට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා.

අපි අහන්නේ?

හිටපු නීතිපති (වර්තමාන අගවිනිසුරු) යටතේ කරන්නාගොඩට එල්ල කරපු චෝදනා වැරදිද? ඒ චෝදනාවලින් කරන්නාගොඩව නිදහස් කරන්න, වර්තමාන නීතිපතිය තියෙන සාක්ෂි මොනවාද? උන් විත්ති කරුවකු කරන්න එපා කියලා කරන්නාගොඩ ඉදිරිපත් කරපු රිට් පෙත්සම නැවත මැයි 13 වනදා කැදවනවා. එදාම නඩු විභාගයට ගන්නවා කියලා මීටපෙර නඩු දිනයකදී කියවුණා. මේ රිට් ඉල්ලුම් පත්‍රය අවුරුදු 4කට ආසන්නව (කැදවනවා, කල් දානවා) විභාගයට අරන් නැහැ. මේ රිට් එකේ තීන්දුව එනකල් ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව අහන්නේ නෑ (කැදවනවා, කල්දානවා). රිට් එක කල් යන්න කල් යන්න මහාධිකරණ නඩුවත් කල් යනවා. මේ නඩුවේ අම්මලා දෙන්නෙක් දැනටම මියැදිලා. එම අතුරුදහන්වූවන්ගේ අම්මලා කීයක් තව මැරෙන්න ඕනද, මේ නඩුව ඉවර කරන්න. වසන්ත කරන්නාගොඩව අයින් කිරීමට නීතිපති යෝජනා කිරීම, දේශපාලන බලපෑමක් මත සිදුවන්නක් බවයි ඒ පවුල්වල අයගේ චෝදනාව.

යුද්ධයෙන් පසුව කරන්නාගොඩ

රණශූර පදක්කම ලබා ගන්නවා. 2009 අමාත්‍යංශයක ලේකම් වෙනවා, 2011-2015 දක්වා ජපානයේ තානාපති, 2021-2023 – වයඹ ආණ්ඩුකාරයා, 2023 – අරගලයේදී (2022) හමුදාවල ක්‍රියාකාරිත්වය සොයන්න පත් කරපු කමිටුවේ සභාපති වෙනවා. මේ සියල්ල සිදු වන්නේ කරන්නාගොඩට තිබෙන දේශපාලන සම්බන්ධතාව මත බව පැහැදිළියි. අපේ චෝදනාව, මේ දේශපාලන බලයට නීතිපති නගුට වනන්න පටන් අරන්ද කියලයි? හිටපු නීතිපති පෙනී හිටපු කාරණා, උඩු යටිකුරු කරමින් කරන්නාගොඩව චෝදනාවලින් නිදහස් කරන්න තරම් නීතිපති බලු වෙලාද?

අපි ඉල්ලන්නේ, කරන්නාගොඩව, හිටපු නීතිපති චෝදනා කළ ආකාරයට විත්තිකරුවෙක් කරලා මේ නඩුව අහන්න පටන්ගන්න. කරන්නාගොඩව එල්ලා මරන්න, දඩුවම් කරන්න, හෝ නිදහස් කරන්න නීතියට ඇති අයිතියට ඉඩ දෙන්න දේශපාලන බලපෑම්වලින් තොරව. වසන්ත කරන්නාගොඩ මේ නඩුවෙන් ඉවත් කරන්න නීතිපති ගන්න උත්සාහය අනීතිකයි, අයුක්තිසහගතයි, නීති විරෝධීයි. අපේ වචනයෙන් කිවුවොත් නීතිපති කරන්න හදන්නෙ හෙන ගහන අපරාදයක්. මේ නඩුවට අදාළව මානව හිමිකම් කඩ කරන්නෙකු ලෙස සලකා, කරන්නාගොඩට ඇමෙරිකාවට ඇතුළු වීම ඒ රටේ ආණ්ඩුවෙන් තහනම් කරලා. එයාගේ බිරිදටත් එහේ යන්න බැහැ තහනම්.

අප වෙනුවෙන්, නීතියේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු නීතිපති දේශපාලන බලපෑම්වලට නගුට වනලා යටත්වෙලා, අපවත්, නීතියත් පාවා දෙනවානම්, මෙවැනි අපරාද කරනවානම්, නීතියේ සාධාරණත්වය පිළිබදව තවදුරටත් අපි කිශ්වාසය තැබිය යුතුද? තැබිය හැකිද?”

සටහන – අසංක අබේරත්න

leave a reply