IMF කොන්දේසි අනුව සිදුවූ අසාධාරණ ජල ගාස්තු සංශෝධනය ගැන විගණන වාර්තාවක්

2022 වසරේ සිට 2024 දක්වා අවස්ථා කිහිපයකදී ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටි ජල පාරිභෝගිකයින් මහත් අපහසුතාවයකට පත්වන ආකාරයෙන් පැවති ගාස්තුවලට සාපේක්ෂව විශාල ප්‍රතිශතයකින් ගාස්තු වැඩිකර ඇතැයි හෙළිව තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෙහෙයුම් සහ නඩත්තු පිරිවැය ආවරණය කර ගැනීමේ අරමුණින් එම ආයතනය පිහිටුවා ඇති පනත ප්‍රකාරව ගාස්තු වැඩි කිරීමේ බලයක් පවතියි.

ඒ අනුව 1990 වර්ෂයේ සිට, 2005, 2009, 2012, 2022, 2023 සහ 2024 වසරවලදී ගාස්තු සංශෝධනයක් සිදු කර තිබිණි.

මෙම ගාස්තු වැඩි කිරීමේදී 2022 සැප්තැම්බර් 01 සහ 2023 අගෝස්තු 01 සිට ක්‍රියාත්මක වූ ජල ගාස්තු 2012 සංශෝධනයේ සිට පැවති මිල ගණන්වලට සාපේක්ෂව පිළිවෙලින් 70%ක් සහ 100%ක් දක්වා ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් සිදු කළ විගණනයේ පෙන්වා දී තිබේ.

මෙලෙස ගාස්තු ඉහළ දැමීමට හේතු වූ කරුණු ලෙස, බැංකු පොළී අනුපාත ඉහළ යාම, විදුලි ගාස්තු, ඉන්ධන සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීම ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇතැයි වාර්තාව සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මණ්ඩලයේ මිනිස්බල පිරිවැය ඉහළ යාම, ව්‍යාපෘති ප්‍රමාදය මත ජල සැපයුම් ඉලක්කගත කාලය තුළ සිදුකර ගත නොහැකි වීම නිසා ඉලක්කගත ආදායම් අහිමි වීම මෙන් ම ව්‍යාපෘති පිරිවැය ඉහළ යාම, බලශක්ති පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රමාදවීම වැනි කළමනාකරණ දුර්වලතා ද ඉහළ ප්‍රතිශතයකින් ජල ගාස්තු වැඩි කිරීමට හේතු වූ කරුණු ලෙස විගණනයෙන් හඳුනාගෙන තිබේ.

මේ සඳහා ඍජුව බලපා ඇත්තේ බලශක්ති පිරිවැය සහ මූල්‍ය පිරිවැය කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි.

බලශක්තිය සඳහා වැය වූ මුළු පිරිවැයෙන් 98%ක්ම ජලය පොම්ප කිරීම සඳහා වැය වූ විදුලි ගාස්තු වන බව ද වාර්තාවේ සඳහන් වේ.

2019 සිට 2023 වසර දක්වා විදුලි ගාස්තුවල ක්‍රමානුකූල ඉහළ යාමක් සිදුව තිබුණ ද, 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී එම ගාස්තු 97%කින්, එනම් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාම, ජල ඒකකයක නිෂ්පාදන පිරිවැය වැඩිවීමට සෘජුවම බලපා ඇති බව මෙම විගණන වාර්තාව පෙන්වා දෙයි.

මේ අනුව පෙනී යන කරුණක් වන්නේ විදුලි බිලේ වැඩිවීම සියලු අංශවලට මෙන්ම ජල සම්පාදනය සඳහාද බලපා ඇති බවයි. එසේම මෙම විගණන වාර්තාව නොකියන කතාව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පිරිවැය ගැලපුම් ගාස්තු ක්‍රමවේදය අනුව මෙම වැඩිවීම ක්‍රියාත්මක වූ බවයි. එනම් ජල නිෂ්පාදනය සඳහා වැයවෙන සියලු වියදම්වල බර ජනතාවට දැරීමට සිදුවිය.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...