Breaking News

කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි

ගල්අඟුරු ආනයනය සහ ඒ ආශ්‍රිත විදුලි උත්පාදන ක්‍රියාවලියේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන කටයුතුවල ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් බව පවසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා (17) පස්වරුවේ සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, මෙම පරීක්ෂණ ක්‍රියාවලියට උපරිම සහයෝගය දැක්වීම සහ එහි අපක්ෂපාතීත්වය තහවුරු කිරීම තමන්ගේ අරමුණ බවයි.

දූෂණයට එරෙහිව සහ ජනවරමට කැපවෙමින් ජනාධිපතිවරයා ගනු ලැබූ මෙම නිර්භීත තීරණය තමන් අගය කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය ලිපිය මගින් පවසා තිබේ.

විශේෂයෙන්ම 2009 වසරේ සිට සිදුවූ ගල්අඟුරු ආනයනයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම දූෂණ විරෝධී ගමනේ වැදගත් පියවරක් බව ඔහු පෙන්වා දී ඇත.

විමර්ශන සිදුවන අතරතුර තමන් අමාත්‍ය ධුරයේ රැඳී සිටීම එම ක්‍රියාවලියේ ස්වාධීනත්වයට බාධාවක් විය හැකි බැවින්, හෘද සාක්ෂියට එකඟව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ද පෙන්වා දී ඇත්තේ, ඉදිරියේදී ආරම්භ වීමට නියමිත පරීක්ෂණවලට කිසිදු අවහිරයකින් තොරව පහසුකම් සැලසීම සඳහා තමන් ලේකම් ධුරයෙන් ඉවත් වීම වඩාත් යෝග්‍ය බවයි.

සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන ඇතැම් පිරිස් පවසන්නේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය මීට පෙර ගැනීමට තිබූ එකක් බවයි.

leave a reply