Breaking News

ආනයනික ආහාර රැසක ප්‍රමිතිය පරික්ෂා කර නැහැ- විගණන වාර්තාවකින් හෙළිවෙයි

ශ්‍රී ලංකා ප්‍රමිති සහතික නොලත් (SLS) ආයතන 31කින් 2019 සිට 2021 ජුනි දක්වා ඇමරිකන් ඩොලර් මිලියන කෝටි 9.2ක් වැය කරමින් ආනයනය කළ ටින්මාලු බහාලුම් ලක්ෂ 44 ක් කිසිදු නියැදි පරික්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

කිරිපිටි, ධාන්‍යමය ආහාර නිෂ්පාදන, විදුලි උපකරණ හා උපාංග ඇතුලු ආනයනික භාණ්ඩ රැසක් ආනයනය කරන ආයතන ශ්‍රී ලංකා ප්‍රමිත සහතික ලබාගෙන නැති බවද එහි සඳහන් වේ.

එසේම ආනයනික භාණ්ඩ වල නියැදි පරීක්ෂාවට ගත කරන කාලය අනවශ්‍ය තරමට දිර්ඝ වීම නිසා ගුදම් ගාස්තු අධික වීම වළක්වා ගැනිමට ඒවා ආනයනකරුවන්ගේ ගුදම් වෙත මාරු කිරිමට රේගුවෙන් අවසර ලබාදි ඇති බවද එවැනි බොහොමයක් භාණ්ඩවලින් නැවත ඉල්ලා සිටි නියැදි සාම්පල් ලැබි නැති බවද එම භාණ්ඩ ප්‍රමිති ආයතනයේ අවසර ලැබෙන්නට පෙර රේගුවෙන් පිටතට ගෙන ගොස් ඇති බවට තහවුරු වි ඇති බවද එම වාර්තාවේ සඳාහන් වේ. එවැනි භාණ්ඩ සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රමිති ආයතනය කටයුතු කර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ආනයනික කිසිදු ආහාර ද්‍රව්‍යයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිෂ්පාදන සහතිකය ලබාගැනිම අනිවාර්ය කර නැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඇතැම් අවස්ථාවල නියැදි පරික්ෂා කර අදාල භාණ්ඩ ප්‍රතික්ෂේප කිරිමේ ලිපි රේගුව වෙත යොමු කර තිබුණද රේගුවේදි සිදුවන ප්‍රමාද දෝෂයන් නිසාද ඒවා අදාල ආයතන වෙත ලැබි තිබුණේ මාස ගණනාවක් ප්‍රමාදයකින් බවද අනාවරණය වේ. එම ලිපිවලට අදාල ආයතනවලින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අවස්ථා බොහොමයක් තිබු බවද වාර්තාවේ සඳහන් වේ.

ඉහත කරුණු නිසා ප්‍රමිතියෙන් තොර භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව වෙළඳපොලට නිකුත් කෙරෙන බව පැහැදිලිය .

විගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකරන නියැදි පරික්ෂා කිරිමේ කාර්යයන් සඳහා අවශ්‍ය රසායනාගාර සේවා නිසි පහසුකම් සහිත නොවිමේ ගැටලුවක් පවතින බවද වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට අනුමත කාර්ය මණ්ඩලය 393ක් වුවද එයින් 106ක්ම 2021 වසරේදිත් පුරප්පාඩු වී තිබේ.

එසේම නව රසායනාගාරයක් ඉදිකිරිම සඳහා ඉඩමක් මිලදි ගෙන ආරක්ෂිත වැටක් ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නාගරික සංවර්දන අධිකාරිය රුපියල් කෝටි 17කට ආසන්න මුදලත් 2018 දි ගෙවා තිබුණද 2021 වසර අවසන් වන විටත් එම ඉඩටෙම් අයිතිය ආයතනය වෙත පවරා ගැනිමට අසමත්ව තිබේ. ඒ නිසා වාර්ෂිකව එක්කෝටි දාහතර ලක්ෂ්‍යක් වැය කරමින් පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගෙන රසායනාගාර කටයුතු කරගෙන යාමට ප්‍රමිති ආයතනයට සිදුව ඇත.

පසුගිය කාලයේ විවිධ අවස්ථාවල පොල්තෙල්, ගෑස්, තිරිඟු පිටි, ත්‍රිපෝෂ යනාදී බොහොමයක් ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු උද්ගත විය. ඒ අවස්ථාවලදී ද ප්‍රමිති ආයතනයේ කාර්ය භාරය සම්බන්ධ ගැටළු මතුවිය.

leave a reply