Breaking News

සංදර්ශනීය රංගනයෙන් ඔබ්බේ සංස්කෘතික සුහදත්වය…

2000 නව සහස්‍රය උදා වූයේ “ධරණි තලය මත සාමය උදාවේවා!” යන ප්‍රාර්ථනය පෙරදැරිවය.එහෙත් ගතවූ දශක දෙකාහමාරක කාලය තුළ ලොව පුරා රාජ්‍යයන් අභ්‍යන්තරිකව හා අන්තර් රාජ්‍යය ගැටුම් හා යුධමය තත්වයන් නිසා මිලියන ගණනාවක ජනතාවක් ඝාතනයට ලක්වූ අතර බිලියන ගණනාවක් ජනයා අවතැන් වීම හා විවිධාකාර හිංසනයන්ට හා අවතැන් වීමට ලක්ව ඉමහත් පීඩනයකට මුහුණ පා සිටී.

ලොව මානවයන් මුහුණ පා ඇති මේ ඛේදනීය තත්වය තුළ මානවහිතවාදීන් අරගල කරනුයේ අන්තර් ජාතික වශයෙන් මානව හිමිකම් සුරක්ෂා කිරීමේ වැදගත්කම තහවුරු කිරීමටය. එය අනාගත ගෝලීය සමාජය හැඩ ගැස්වීමේ ප්‍රධානම හා අත්‍යවශ්‍යම සාධකයක් ලෙස දැක්වේ.

“අපගේ යහපැවැත්මට හා නිර්මාණශීලීත්වයට අත්‍යවශ්‍යයැයි අප සලකන මානව හිමිකම් රැක ගැනීම වෙනුවෙන් දරණ සෑම ප්‍රයත්නයක්ම ජනතාවගේ යහපත වෙනුවෙන් සමාජය සැකසීමට ඉවහල් වන ව්‍යායාමයක් වන අතර එමගින් සාමාන්‍ය ජනයා ආධිපත්‍යවාදීන්ගෙන් ආරක්ෂා කරනු ලබයි ” යනුවෙන් ආචාර්‍ය රොමේෂ් තාපර් සදහන් කරයි.

මානව හිමිකම් සදහා අරගලයේදී ඉතාම පැහැදිලි හා පුළුල් දැක්මක් අවශ්‍යය. මානව හිමිකම් සමාජ දේශපාලනිකව පූර්ණ ලෙස ස්ථාපිත කිරීමේදී “තමාට පමණක් හිමි අනෙකාට අහිමි යන ” ප්‍රාථමික සංකල්පය බැහැර කෙරෙන අතර එය සමස්ත දේශපාලන සමාජීය අයිතියක් ලෙස සංජානනය කෙරේ.
එක් මානව සමූහයක් තවත් මානව සමූහයක් මත ආධිපත්‍ය පැතිර වීම,වාරණය හෝ මර්දනය බල පැවැත්ම,හිංසා පීඩා ප්‍රචණ්ඩත්වය පමුණුවාලීම,විවිධාකාරයේ සම්බාධක් පැණවීම වර්තමාන දේශපාලනය තුළ අතිශයින් විවාදිත වන අතර කවර හේතු සාධක මත හෝ එවැනි ආධිපත්‍යයන් සාධාරණීකරණයට ලක් කළ නොහැකිය.

වත්මන් ඇමරිකානු හා ඊශ්‍රායල් ජන සංහාරක උමතු ප්‍රහාරක ප්‍රචණ්ඩත්වට එරෙහිව ලෝක රාජ්‍යය නායකයන්,බුද්ධිමතුන්
කලාකරුවන් හා ලෝක ප්‍රජාව විරෝධය පාමින් තවදුරටත් ලොවක් මත ආධිපත්‍යය පමුණුවාලීමට එක් පාර්ශ්වකට ඉඩ දිය යුතු නැත යනුවෙන් හඩ නගයි.

මානවහිමිකම් පිළිබද ජාත්‍යන්තර කතිකාවේදී ශ්‍රී ලංකාව පසු වනුයේ කවර තත්වයකද යන්න උරගා බැලීමට අද හොද අවස්ථාවක් අපට උදා වී ඇත.

පසුගිය දශක ගණනාවක් පැවැති යුධමය සංහාරයන් තුළ සිය දෙමළ වාර්ගිකත්වය සිංහල වාර්ගික දේශපාලන අධිකාරිය හා රාජ්‍යය ආරක්ෂක අංශ වෙතින් විදි පීඩනයේ ස්වරූපය ප්‍රති නිර්මාණය කර ප්‍රකාශ කිරීම නිසාවෙන් දීපචෙල්වන් ප්‍රතීපන් නම් ලේඛකයාගේ කෘති කිහිපයක් ඉංදියාවේ සිට මුද්‍රණය කර මෙරටට ගෙන්වීමේදී 2026 මාර්තු 27සිට මේ දක්වා රේගු අධිකාරියෙහි රදවා ගෙන සංස්කෘතික අමාත්‍යංශය හා ජාතික ආරක්ෂක අමාත්‍යංශය ඒකාබද්ධව ඔහුගේ ප්‍රකාශනයන් ජාතික ඒකාග්‍රතවට /ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙද්දැයි විමර්ශනය කරමින් සිටී.

රාජ්‍ය පාර්ශ්වයෙන් ක්‍රියාවට නංවා ඇති මේ මුග්ධ ක්‍රියාවලිය සම්බන්ධව කරුණු කිහිපයක් අවධාරණය කරනු කැමැත්තෙමි.

  1. දීපචෙල්වන් ට ඇති ප්‍රකාශනයේ මානවීය හිමිකම සංස්කෘතික අමාත්‍යවරයාට,ආරක්ෂක අමාත්‍යවරයාට හා ඔවුන් විසින් නම් කරන වෙනත් පාර්ශ්වයන්ට,රේගු අධිකාරියට හෝ වෙනත් කවර හෝ පාර්ශ්වයකට විනිශ්චය කිරීමට ,නීර්ණය කිරීමට ඇති නෛතික දේශපාලනික සහ සදාචාරාත්මක අයිතිය කුමක්ද..
  1. දීපචෙල්වන් විසින් ප්‍රති නිර්මාණය කරනු ලැබ ඇත්තේ ඔහු විසින් ගොඩ නැංවූ ප්‍රචණ්ඩත්වයක් නොව ඔහු හා ඔහුගේ ප්‍රජාව අත් විදි ලාංකික දේශපාලන අධිකාරිය හා ආරක්ෂක අධිකාරිත්වය විසින් පමුණුවනු ලැබූ ප්‍රචණ්ඩත්වයයි.එසේ පමුණුවාලූ ප්‍රචණ්ඩත්වයෙහි සාහසිකත්වය හා නග්නත්වය පිළිඹිඹු වන්නේ නම් එහි වරද හා එය ජාතික ඒකාග්‍රතාවට වාර්ගික සුහදත්වයට බාධා වූයේ නම් එසේ වූයේ එම ක්‍රියාවලිය මිස නිර්මාණකරුවාගේ ප්‍රකාශනය නොවන බව මේ සංස්කෘතික හා ආරක්ෂක විනිශ්චයකරුවන් වටහා ගත යුතුය..එසේ නම් අප බැහැර කළ යුත්තේ දීපචෙල්වන්ගේ ප්‍රකාශනය නොව එයට පාදක වූ සමාජ දේශපාලන ප්‍රචණ්ඩත්වය, මර්දනය හා වාරණයයි.
  1. කාලය හා අවකාශය ග්‍රහණය කර ගනිමින් නිර්මාණකරණයෙ යෙදීම නිර්මාණකරුවකු සතු අනුල්ලංඝනීය ස්වභාවික අයිතියක් බව අපේ දේශපාලන සංස්කෘතික දෘෂ්ටියට තවමත් ග්‍රහණය නොවීමේ අර්බූදය ශිෂ්ට සම්පන්නව විසදා ගැනීමට කාලය එළඹ ඇත.ඕනෑම නිර්මාණකරුවකුට සිය පීඩනයට එරෙහිව හා සිය විමුක්තිය පිළිබද අපේක්ෂාවන් පිළිබද සිතීමට හා අදහස් දැක්වීමට මානවීය අයිතියක් ඇත.එක් ජනවර්ගයකට හෝ එක් සංස්කෘතියකට තවත් ජනවර්ගයක් මත සිතීමේ හා අදහස් පළ කිරීම වාරණය කිරීමේ ආධිපත්‍යයක් බල පැවැත් විය නොහැක.
  2. නිර්මාණාත්මක හෝ දේශපාලනිකව අප එකග නොවන හා විරුද්ධ මත දරණ අනෙකාගේ අදහස් හා මතවාද වාරණය හා යටපත් කිරීම වෙනුවට ඒ සමග සංවාදයකට එළඹීමේ මානවීය සිතා බැලීම කරා අපගේ මතවාදී දෘෂ්ටිය පුළුල් පරාසයකට රැගෙන යා යුතුය. අප රාජ්‍යය තුළ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සාමකාමීව සමරන බව හා දෙමළ ජනයා සමග නව සහයෝගිතාවක් ගොඩ නගා ගන්නා බව වේදිකා හා මාධ්‍යය හරහා සංකේතීයව ප්‍රදර්ශනය කරන්නා සේම සිංහල හා දෙමල දේශපාලන හා සංස්කෘතික අයිතීන් නිදහසේ භුක්ති විදීමටද අවකාශ විවර කළ යුතුය.ඒ සදහා අපගේ සමාජ සංස්කෘතීන් දෙක දීර්ඝ කාලයක් පෙලූ අධිපතිවාදී සංස්කෘතික දේශපාලන මතවාදී දෘෂ්ටීන් බැහැර කර සමාජ දේශපාලන ආර්ථික පීඩනයන් හි මූලයන් අහෝසි කිරීමේ ක්‍රියාවලියකට අනුගතව ජනවාර්ගික සුහදත්වය සැබෑ ලෙස ගොඩ නැංවීමේ දේශපාලන සංස්කෘතික ක්‍රියාදාමයකට අවතීර්ණ විය යුතුය.
තිලිනා වීරසිංහ
තිලිනා වීරසිංහ


leave a reply