Breaking News

නාමල් රාජපක්ෂ එන්නත්කරණ වැඩසටහන ගැන රාජ්‍ය ඇමතිවරුන්ට උපදෙස් දෙයි

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පෙරේදා (03) අරලියගහ මන්දිරයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇතැයි වාර්තා වේ.

කොළඹ නගර සීමාව තුළ එන්නත මඟහැරෙන පුද්ගලයින් සඳහා අලුතින් එන්නත් මධ්‍යස්ථාන පහක් පිහිටුවීමටත් එම මධ්‍යස්ථාන රාත්‍රී 10.00 තෙක් විවෘතව තැබීමටත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහිදී යෝජනා කර තිබේ.

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේදී උද්ගතවූ තත්වයන් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරුන්ට කරුණු පැහැදිලි කළ  නාමල් රාජපක්ෂ ජුනි 08 වනදා සිට සයිනොෆාම් දෙවැනි මාත්‍රාව ලබාදෙන බවත් පළමු වතාවේ ඇතිවූ අඩුපාඩු සකස් කරගනිමින් මෙය ක්‍රියාත්මක කළයුතු අතර ඒ සඳහා රාජ්‍ය සහ දේශපාලන යාන්ත්‍රණයට සහයෝගය දැක්වීම සඳහා ක්‍රියාකළ යුත්තේ කෙසේදැයි රාජ්‍ය අමාත්‍යවරුන් සාකච්ඡා කළයුතු බවත් පෙන්වා දී ඇත.

එන්නත් ලබාගැනීමට එන පිරිස් කළමනාකරණය සඳහා යෞවන සමාජ සාමාජිකයින් යොදවාගත හැකි බවත් ජනතාවට එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණ කෙටි වේලාවකින් එන්නත ලබාගත හැකි අයුරින් කෙටි පණිවිඩ හරහා පැමිණීමේ ක්‍රියාවලිය විධිමත්ව සැලසුම් කළයුතු බවත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත හැකි දිනයන් මාධ්‍ය මගින් දැනුම් දීමට කටයුතු කළයුතු බවත් නාමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර තිබේ.

නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දේශපාලනඥයින් මැදිහත්වී එන ඇති තීරණ හේතුවෙන් විශාල ගැටළු ප්‍රමාණයක් නිර්මාණය වී ඇති පසුබිමක වීම විශේෂත්වයකි. සෞඛ්‍ය විශේෂඥයන් ගත යුතු තීරණ සහ ලබාදිය යුතු තීරණ එන්නත්කරණය ගැන මෙලෝහසරක් නොදන්නා දේශපාලනඥයන් ගැනීම නිසා ජනතාව විශාල පිරිසක් ජීවිත අවධානමකට මුහුණ දී සිටියි.

leave a reply