Breaking News

පවිත්‍රාගේ මරණ මංචකය ???

සුභාෂිණී චතුරිකා

මේ දිනවල රූපවාහිනි වැඩසටහනකට සහභාගී වුනු පවිත්‍රා කොරෝනා වැළඳීමෙන් අනතුරුව තමන් මුහුණ දුන් මරණීය අත්දැකීම විස්තර කෙරෙන වීඩියෝවක් ශෙයාර් වෙනවා.

ඇය එහිදී බොහොම කම්පනයට පත්ව, ඉතාමත් හැඟීම්බර, බැරූරුම් කටහඬකින් තමන් මරණය මංචකයට ලංවුණු හැටි විස්තර කරනවා. මට නම් ඇත්තටම ඇයගේ මරණීය අත්දැකීම ගැන කතා කරද්දී ඇය ගැන අප්‍රසන්නකමක් හැරෙන්න යන්තම්වත් දුක හිතුණේ නැහැ. ඒත් සතුටු වෙන්න තරම් මම නරුම වෙන්නෙත් නැහැ.

ඒත් ඇය කියන දේවල් මම අහගෙන ඉන්නැද්දි මට මතක් වුනේම, මට හිතුණේම, විශේෂ සැලකිළි නොලබන දුප්පත් අසරණ ගැහැණු මිනිසුන් කී දෙනක් ඇය කියන ඔය බිහිසුණු අත්දැකීම විඳිමින් තම ආදරණීයන් සිහියට නඟමින්, ඔවුන්ව අවසන් වරට දකින්නවත් න‍ොහැකිව දුක්බර ලෙස අවසන් ගමන් යන්න ඇද්ද කියන එකයි.
මට හිතුනේම ඇයගේ මුට්ට් දැමිල්ල, පැණි ප්‍රමෝෂන් වගේ අමන වැඩ නිසා සමාජයක් කොයි තරම් නොමඟ ගියාද, මුළු ලෝකෙම වැක්සීන් ගැන කතා කරද්දි, ලංකාවේ ජනතාව පැණි පෝලිමේ පොරකාලා තව තවත් කොරෝනා වලට ගොදුරු වෙලා කී දෙනෙක් ඔය අත්දැකීමම ලබලා මියැදෙන්න ඇතිද කියන එක.
ඇය බොහොම හැඟීම බරව කියනවා, ඇයට ජීවිතේ අවසාන මොහොතේ මතක් වුනේ ඇයගේ දියණියන් දෙදෙනාලු. ඔවුන් කසාද බැඳලා නැති නිසා ඔවුන්ට මොනවා වෙයිද කියන බයට ඔවුන්ව දාලා යන්න දුක හිතුණලු.

ඉතින් මට මතක් වුනේ මිත්‍යාවෙන් රටම ඇන්දූ ඇයත් අතුලු මගෝඩි රැළ නිසා ජීවිත වලින් වන්දි ගෙවූ අම්මලාට, තාත්තලාට, දූවරුන්ට පුතුන්ට තමන්ගේ ආදරණීයන්ව හදිසියේ අත්හැර දමා යන්න සිද්ධ වෙද්දි ඔවුන්ට මොන මොනවා හිතෙන්න ඇද්ද? ඔවුනටත් තමන්ගෙන් යැපෙන තමන්ගෙන් රැකවරණය පතන පවුලේ අය ගැන මතක් වෙන්න ඇති. ඔවුන්ටත් ජීවිතේ ලස්සන හීන තියෙන්න ඇති. මරණ මංචකයෙදී ඔවුන්ටත් ඒ දේවල් මතක් වෙන්න ඇති. එත් ඒ දුක්බරිත අදෝනා ඇහුනේ කාටද?

පවිත්‍රාට වගේ අමාරුවෙන් හුස්ම ගනිමින් ජිවිතය යදිද්දී ඔවුන් වටේ ‍ රෝහල් කාර්යමණ්ඩලය වට වෙලා කඳුළු නොසලන්න ඇති. ඔවුන් තනිවම සුසුම් ලමින් අකමැත්තෙන් ජීවිතයට සමු දෙන්න ඇති. ඒ හැඟීම් කිසිවෙක් නොදැන ඔවුන් එක්කම වාතලයට මුසු වෙන්න ඇති.

මට පවිත්‍රා කියන දේ අහන් ඉන්නැද්දි මගේ ආත්මයම සලිත වෙන තරම් වේදනාවක් දැනුනේ ඒ හින්දයි. ඉතින් කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා ඉතාමත් කම්පිත මනෝභාවයකින් යුතුව මරණය ගැන කතා කරන පවිත්‍රා, පාලකායෝ විදියට තමන් කිසිදු ආකරයකින් වගවීමක් නොකළ ඒ ජනතාවගේ ජීවිතද කාට හෝ වටින බව, ඔවුන්ද තමන්ගේ ජිවිතයට ආදරය බව, පවිත්‍රාට දැනුණු කම්පනය ඔවුන්ටත් ඒ මොහොතේ ඒ විදියෙන්ම දැනෙන බව පවිත්‍රාට කවදානම් තේරුම් යයිද??

සුභාෂිණී චතුරිකා

leave a reply