Breaking News

ජනතාවගෙ හැසිරීම හොඳ නැහැ – හමුදාපති

සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකි හෙයින් ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට සිදුවන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ජනතාවගේ සංචරණ අවම කිරීමේ පියවරක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙලකට ඉදිරියේදී යොමු වීමට සිදු වනු ඇතැයිද යුද හමුදාපතිවරයා කියයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවස ආසන්නයේම වෙළෙඳ සලෙන් ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැම් පිරිස් අවභාවිතා කළ ආකාරයක් පෙනෙන්නට තිබූ බව පැවැසූ ශවේන්ද්‍ර සිල්වා මේ ආකාරයට ජනතාව අවිචාරවත් ලෙස කටයුතු කිරීම අවසන් ප්‍රතිඵලයට අහිතකර බලපෑම් ඇති කරනු ඇතැයි ද පවසා තිබේ.

ජනතාවගේ මෙවැනි නරක හැසිරීම් නිසා කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි යැයිද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට වෙනත් ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් ජනතාවට සිදුව ඇත්තේ නියමිත කරන දිනයක කොහේ හෝ වෙළඳ සැළකට ගොස් බඩු භාණ්ඩ ගැනීමයි. ජනතාව එක්රැස්වීම නිසා කොවිඩ් පැතිරීම වේගවත් වන බව දන්නා ආණ්ඩුව කළ යුත්තේ එය වළක්වා ඒ වෙනුවෙන් විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමයි. ඒ වෙනුවට කුමන අපහසුතාවයක් දරාගෙන හෝ කොවිඩ් අවදානම මැද බඩු ගැනීමට සලස්වා එම වගකීමෙන් නිදහස් වීමට ජනතාව තමයි වැරදි කීම ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ විවිධ ප්‍රකාශකයන්ගේ ජනප්‍රිය ප්‍රකාශයක් බවට පත්ව ඇත. අලුත් අවුරුදු සමයේදී ද සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොතකා ජනතාවට නිදහසේ සැරිසැරීමට අවස්ථාව සැලසීම හරහා මුළු රට පුරාම කොවිඩ් පැතිරීම වේගවත් විය. ඒ සෑම අවස්ථාවකම ආණ්ඩුවෙන් ජනතාව තමයි වැරදි යන ජනප්‍රිය ප්‍රකාශය සිදුකර තම වගකීමෙන් ගැලවීමට දරන උත්සාහය දැකිය හැක.

leave a reply