දාමරික අසරුවාගේ මුවට හුදෙකලා සැඳෑවක තණබිමක සරනකොට උණන කවි

නිමක් නැති හුදෙකලා තැනිබිමක
එකලාව සැරිසරන‍
අසරුවා මම,
රම් බිඳක උණුසුමේ
සසලවා සැඳෑකල සීතල.

දුර ඈත බොඳ – නොබොඳ දසුනක් ය,
වනය අද්දර
අඳුරු අහසින් කඩා හැලෙනා කළුවරට යටවෙමින් යන
ඔබ වෙසෙන කුඩා ගම

යෝදයෙක් සෙල්ලමට ගුලිකෙරූ
සිඟිති මැටි කැබලිති ගොඩක්
තණබිමේ මුල්ලකට විසිකෙරූ බඳු
ඔබ වෙසෙන කුඩා ගම

ලූණු ගෙඩියක් වගේ පල්ලියේ කොත පෙනෙන,
ඒකටම වහංවුණු මුරුග ගති ඇති පොලිස් කූඩුවෙ
ලකුණකුදු දුරට නොපෙනෙන,
ගමම හූරංකන අසමජ්ජාති ගම්පතියා
ජාතියයි ආගමයි යුද්දබටයොයි පෙන්නලා
රවට්ටං හරි, බයකරං හරි ඉන්න
ඔබ වෙසෙන කුඩා ගම

තැනින් තැන මතුවන දුම් වලාවකින්
ජීවිතේ සුවඳ මට සිහිකරන‍,
එක දෙකක් බොඳවගිය කණමැදිරි පහන් එළි
ම’හදවත උණුසුමක් දල්වන…
…මට එන්ඩ බැරි
ඔබ වෙසෙන කුඩා ගම.‍

වීරයෙක් කියා පදබැඳුණාට
දාමරිකයෙක් කියා නීතියෙන් හෙව්වාට
පවුකාරයෙක් කියා පල්ලියෙන් එළවලා දැම්මාට
………
ඔයවගේ මහ ගොඩක් කතන්දර තිබුණාට
මාත් පපුවක් තියෙන මිනිහෙක්,
ළද බොළඳ ගෑණුළමයෙකුට
පණදෙන්ඩ තරම් ආදරේ හිතේ පුරවං ඉන්න

පුංචි ගෑණුළමයෝ,
තාම නම් දන්නෙ නෑ උඹ ඒක…!

පාන්පැල රතුරෝස පොකුරකින් සරසලා
අත්තම්ම ඔරසමක් මුමුණනවා ඇති
අම්ම බිම්මල් එක්ක ඔසුපලා මුසුකර
දඩමසක් හරි රහට පිහනවා ඇති‍
අප්පුච්ච බීර ඔඩමක උඩුරැවුල පොඟවනවා ඇති
උඹ තාම
වීරයෙක්දැයි දාමරිකයෙක්දැයි නොදන්නා කෙනෙක් ගැන
හිත හිතා ගෙපිල මත විස්මපත් වෙනවා ඇති‍‍‍…!

මේ වීර – දාමරික කතන්දර යට ඉන්න
හුදෙකලා අසරුවාගේ පපුවෙ
උතුරන්ඩ ආදරේ තියෙන බව
දන්නෙ,
මේ අස්සයා විතරක්ම වෙන්ඩ ඇති‍‍…!

සනත් බාලසුරිය

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...