දාමරික අසරුවාගේ මුවට හුදෙකලා සැඳෑවක තණබිමක සරනකොට උණන කවි

නිමක් නැති හුදෙකලා තැනිබිමක
එකලාව සැරිසරන‍
අසරුවා මම,
රම් බිඳක උණුසුමේ
සසලවා සැඳෑකල සීතල.

දුර ඈත බොඳ – නොබොඳ දසුනක් ය,
වනය අද්දර
අඳුරු අහසින් කඩා හැලෙනා කළුවරට යටවෙමින් යන
ඔබ වෙසෙන කුඩා ගම

යෝදයෙක් සෙල්ලමට ගුලිකෙරූ
සිඟිති මැටි කැබලිති ගොඩක්
තණබිමේ මුල්ලකට විසිකෙරූ බඳු
ඔබ වෙසෙන කුඩා ගම

ලූණු ගෙඩියක් වගේ පල්ලියේ කොත පෙනෙන,
ඒකටම වහංවුණු මුරුග ගති ඇති පොලිස් කූඩුවෙ
ලකුණකුදු දුරට නොපෙනෙන,
ගමම හූරංකන අසමජ්ජාති ගම්පතියා
ජාතියයි ආගමයි යුද්දබටයොයි පෙන්නලා
රවට්ටං හරි, බයකරං හරි ඉන්න
ඔබ වෙසෙන කුඩා ගම

තැනින් තැන මතුවන දුම් වලාවකින්
ජීවිතේ සුවඳ මට සිහිකරන‍,
එක දෙකක් බොඳවගිය කණමැදිරි පහන් එළි
ම’හදවත උණුසුමක් දල්වන…
…මට එන්ඩ බැරි
ඔබ වෙසෙන කුඩා ගම.‍

වීරයෙක් කියා පදබැඳුණාට
දාමරිකයෙක් කියා නීතියෙන් හෙව්වාට
පවුකාරයෙක් කියා පල්ලියෙන් එළවලා දැම්මාට
………
ඔයවගේ මහ ගොඩක් කතන්දර තිබුණාට
මාත් පපුවක් තියෙන මිනිහෙක්,
ළද බොළඳ ගෑණුළමයෙකුට
පණදෙන්ඩ තරම් ආදරේ හිතේ පුරවං ඉන්න

පුංචි ගෑණුළමයෝ,
තාම නම් දන්නෙ නෑ උඹ ඒක…!

පාන්පැල රතුරෝස පොකුරකින් සරසලා
අත්තම්ම ඔරසමක් මුමුණනවා ඇති
අම්ම බිම්මල් එක්ක ඔසුපලා මුසුකර
දඩමසක් හරි රහට පිහනවා ඇති‍
අප්පුච්ච බීර ඔඩමක උඩුරැවුල පොඟවනවා ඇති
උඹ තාම
වීරයෙක්දැයි දාමරිකයෙක්දැයි නොදන්නා කෙනෙක් ගැන
හිත හිතා ගෙපිල මත විස්මපත් වෙනවා ඇති‍‍‍…!

මේ වීර – දාමරික කතන්දර යට ඉන්න
හුදෙකලා අසරුවාගේ පපුවෙ
උතුරන්ඩ ආදරේ තියෙන බව
දන්නෙ,
මේ අස්සයා විතරක්ම වෙන්ඩ ඇති‍‍…!

සනත් බාලසුරිය

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...