සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම වන මංකඩ සිංහරාජ වන රක්ෂිතයේ ඉළුබකන්ඳ ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වළංකන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩයි. එපමණක් නොව සිංහරාජ වනාන්තර පද්ධතිය එකිනෙක සම්බන්ධ කරන එක ම ප්‍රදේශය වන්නේ ද බෝටියතැන්න වන මංකඩයි. මේ වන විට මෙම වන මංකඩේ අක්කර 10 ක පමණ තෘණ භූමියක් බැකෝ යන්ත්‍ර භාවිත කරමින් එළිපෙහෙළි කිරීම හා ගිනි තැබීම සිදු කරනු ලැබේ.
සරත් මාකාවිට විසින් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බෝටියතැන්න ප්‍රදේශයේ සන්නන්දොළ මායිමේ මහ පරිමාණ යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් දැවැන්ත විනාශයකට එම ප්‍රදේශය ලක් කරමින් සිටින අතරතුර මෙම ඉඩම ද අත්පත් කර ගෙන සම්පූර්ණ වන මංකඩ ම විනාශ කිරීම සිදු කරමින් සිටී.
බෝටියතැන්න වන මංකඩ පළමු ව විනාශ කළ ගයාන් සංජීව ගුරුගේ
සිංහරාජ අඩවියේ වනාන්තර පද්ධති දෙක එකිනෙක හා සම්බන්ධ කරන නිම්නයක් ලෙස පිහිටන මෙම වන මංකඩ පළමු ව විනාශ කිරීම ආරම්භ කළේ කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසකි. ඔවුන් විසින් බෝටියතැන්න වන මංකඩේ නිවාස ඉදි කරන බව සඳහන් කරමින් වර්තමානය වන විට හෝටල් කිහිපයක් ඉදි කර මෙම වන මංකඩ විනාශ කර ඇත. එම විනාශය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන නිසි පරිදි මැදිහත් නොවීම නිසා අද වන විට මෙම වන මංකඩේ විනාශය වර්ධනීය මට්ටමකට පත් ව තිබේ. අද වන විට මෙම හෝටල්වලට පැමිණෙන සංචාරකයන් ව අනවසරයෙන් සිංහරාජ වන රක්ෂිතයට ඇතුළු කිරීම හා හඳපාන් ඇල්ල ප්‍රදේශයට බලපත්‍ර නොමැති ව නීති විරෝධී ව සංචාරකයන් රැගෙන යාම ද සිදු කරයි. මේ සියල්ලට ම මෙම හෝටල් නීති විරෝධීව ඉදි කරන අවස්ථාවේ දී ඊට එරෙහි ව ක්‍රියාත්මක නොවූ මධ්‍යම පරිසර අධිකාරිය සෘජු ව වගකිව යුතු ය.



මේ තත්ත්වයන් පමණක් නොව බෝටියතැන්න වන මංකඩ විනාශ කිරීම හේතුවෙන් දරුණු ජල අර්බුධයක් ද නිර්මාණය වී ඇත. නිම්නයක් ලෙස පිහිටන මෙම ප්‍රදේශයේ වනාන්තර හා තෘණ බිම් හෝටල් ඉදි කිරීමට, යාන්ත්‍රික මැණික් පතල් කැණීමට හා තේ වගාව ව්‍යාප්ත කිරීමට විනාශ කිරීම නිසා පසෙන් ජලය වාෂ්පීකරණය වේගවත් වී කඳුවැටිවල සිට පහළට ජලය ගලා ඒම ද වර්ධනය වී ඇත. එසේ ගලා එන ජලය විවෘත ප්‍රදේශවල දී අඛණ්ඩ ව වාෂ්පීකරණයට ලක් වීම කඳුවැටි දරුණු ජල හිඟයකට ලක් වීමට හේතු වී තිබේ. ඒ තත්ත්වය හේතුවෙන් කෙටි නියං සමයක් පැවතින මෙම කාල සීමාව තුළ හඳපාන් ඇල්ල සම්පූර්ණයෙන් ම ජලයෙන් සිදී යාමට ලක් ව ඇත.
මේ ආකාරයෙන් සිංහරාජ වනාන්තර පද්ධතිය දරුණු ඛණ්ඩනය වීමකට ලක් වීම හානි කර බලපෑම් බොහොමයකට හේතු සාදක වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වයට මුහුණ දී ඇත්තේ සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර පද්ධතිය වීම විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු කරුණකි.
උප කඳුකර වැසි වනාන්තරවල ජෛව ප්‍රජාව වැනසීම උප කඳුකර වැසි වනාන්තර සිංහරාජ වන රක්ෂිතයේ ඊසාන හා නැගෙනහිර කලාපයේ මීටර 900 ට වඩා ඉහළින් පිහිටි දෙල්ලව – වළංකන්ඳ, හඳපාන් ඇල්ල, මෝර්නිග් සයිඩ්, ගොංගල, කැරුලුගල ප්‍රදේශවල පමණක් ව්‍යාප්ත ව ඇත. එම වනාන්තර සිංහරාජ අඩවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 20% ක පමණ පැතිරී ඇති අතර එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 7212 ක් පමණ වේ.




2010 වසරේ ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාවට අනුව ඉතිරි වී ඇති උප කඳුකර වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. ඒ අනුව ලංකාවේ උප කඳුකර වැසි වනාන්තර අතුරෙන් 25% ක් නැතහොත් 1/4 ක් පමණ සිංහරාජ වන රක්ෂිතය තුළ පිහිටා තිබේ.
මෙම උප කඳුකර වැසි වනාන්තර ප්‍රදේශයේ පමණක් වාර්තා වන මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික උභයජීවීන් විශේෂ අටක් වෙයි. එම විශේෂ සියල්ල ජාතික රතු දත්ත ලේඛණයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වේ. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba), කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපීගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) යන විශේෂයන් ය. මුළු ලොවින් ම සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ අතුරෙන් වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් ව සිටින සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඩ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඩ් මහකැලෑ හූනා (Cyrtodactylus cresenes) යන විශේෂ වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තරවල පමණි.
මෙම විශේෂවල වාසස්ථාන සම්පූර්ණයෙන් ම දෙකඩ වීම බෝටියතැන්න වන මංකඩ විනාශ කිරීමෙන් සිදු වන අතර සිංහරාජයට ආවේණික මෙම විශේෂ ඉතා ම කෙටි කාලයක් තුළ වඳ වීමට ද එම තත්ත්වය බලපෑ හැකි ය.
බෝටියතැන්න වන මංකඩ රක්ෂිතයක් කිරීම
ජීවීන් ගේ වඳවීමට බලපාන අහිතකර ක්‍රියාකාරකම් 4 ක් පිළිබඳ ව ඇමරිකානු විද්‍යාඥයකු වන මහාචාර්ය ජාරෙඩ් ඩයමන්ඩ් (Jared Diamond) විසින් 1989 දී Overview of Recent Extinctions වාර්තාවෙන් පෙන්වා දී ඇත. එනම් වාසස්ථාන විනාශය හා ඛණ්ඩනය, අධි පරිභෝජනය, ආගන්තුක ජීවීන් හඳුන්වා දීම සහ සමාන්තර වඳවීම යන කරුණු ය.
ඒ අනුව බෝටියතැන්න වන මංකඩ විනාශ කිරීම හේතුවෙන් සිංහරාජයට ආවේණික ජීවී විශේෂ මුළු ලොවින් ම වඳවී යාමට හේතු සාදක ගොඩනැගෙනුයේ වාසස්ථාන ඛණ්ඩනය පදනම් කර ගෙන ය. ඒ අනුව සිංහරාජ වනාන්තර පද්ධතිය දෙකඩ කරන බෝටියතැන්න වන මංකඩ විනාශ කිරීම වැළැක්වීම සඳහා මෙම වන මංකඩ කඩිනමින් ආරක්ෂිත තත්ත්වයට පත් කළ යුතු ය. ඒ සඳහා 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ හා ඈ වගන්තිවලට අනුව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස හෝ 2022 අංක 7 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) උප වගන්තියට අනුව අභය භූමියක් ලෙස හෝ ප්‍රකාශයට පත් කළ යුතු ය. මෙම ප්‍රදේශය වන සංරක්ෂණ ආඥාපනත යටතේ රක්ෂිත තත්ත්වයට පත් කිරීම ප්‍රායෝගික නොවන්නේ මෙම වන මංකඩේ ඉඩම් අයිතිය ඉතා ම සංකීර්ණ තත්ත්වයක පැවතීම ය. මේ නිසා වන රක්ෂිතයක් බවට පත් කිරීමට අවධානය යොමු කිරීම පළ රහිත වෑයමකි. එම නිසා මේ පිළිබඳ ව මධ්‍යම පරිසර අධිකාරියේ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස හෝ අභය භූමියක් ලෙස කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බව අප අවධාරනය කරමු.






