Breaking News

රනිල්ට ජනාධිපතිවරණය බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණය

රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම අතර මතවාදී ගැටුමක් නිර්මාණය වී ඇති බවට තොරතුරු දැනගන්නට තිබේ. මේ ගැටුම නිර්මාණය වී තිබෙන්නේ කලින් පවත්වන්නේ කිනම් මැතිවරණයද යන්න පිළිබඳවයි.

රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය වී තිබෙන අතර බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට අවශ්‍ය වී තිබෙන්නේ මහ මැතිවරණයක් සඳහා යෑමේ උවමනාවයි. මේ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ ජනාධිපතිවරණයකට ගියහොත් පොහොට්ටුවට සිදුවිය හැකි හානිය වැඩි බව ඔවුන්ගේ තක්සේරුව වී තිබීමයි. පොහොට්ටුවේ අභ්‍යන්තර ගණන් බැලීම් වලට අනුව ජනාධිපතිවරණයට තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් ජයග්‍රහණය අත්කර ගැනීමට තම අපේක්ෂකයා අපොහොසත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ හේතුවෙන් මුලින්ම ජනාධිපතිවරණය පවත්වා පරාජයන් අත්කරගෙන මහ මැතිවරණයකට ගියොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැවැන්ත සෝදාපාළුවකට ලක්වීම වළක්වා ගැනීමට බැසිල් පාර්ශවය යෝජනා කරන්නේ කලින් මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි. එපමණක් ද නොව මහ මැතිවරණයකදී ජාතික ජන බලවේගයට තනි පක්ෂයක් ලෙස ආසන 113 ක් ලබා ගැනීමට නොහැකි බවද බැසිල් පාර්ශ්වයේ විශ්වාසය වී තිබේ. එහෙයින් බැසිල් පාර්ශවය විශ්වාස කරන්නේ මහ මැතිවරණයක් තුළ අනෙකුත් කණ්ඩායම් ලබාගන්නා ආසන සංඛ්‍යාව අනුව හවුල් ආණ්ඩුවක් පිහිටවීමට හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එහි වැඩි බලයක් සහිත අවස්ථාව ලබා ගැනීමට හැකි බවයි. කෙසේ වුවත් මේ යෝජනාවට රනිල් ප්‍රතිචාර නොදක්වා සිටි.

මහ මැතිවරණයක් තුළ තම පක්‍ෂයට ජයග්‍රහණ අත් කර ගැනීමට නොහැකි බව රනිල් විශ්වාසයෙන්ම දැන සිටියි. එවන් තත්ත්වයක් තුළ අත්වන ඉරණම පිළිබඳව ද රනිල්ට මනා අවබෝධයක් පවතී. ඒ නිසා රනිල් පෙනී සිටින්නේ ජනාධිපතිවරණය කලින් පවත්වා සිටීම වෙනුවෙනි. ඒ අතරම ජනාධිපතිවරණය වුවද නොපවත්වා සිටීමට යම් ප්‍රතිපාදනයක් හෝ උප්පරවැට්ටියක් යොදන්නට හැකිනම් ඒ වෙනුවෙන්ද රනිල් ක්‍රියාත්මක වෙමින් සිටින බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් තනිවම එක්සත් ජාතික පක්ෂය සමඟ ජනාධිපතිවරණයට පෙනී සිටියොත් නියත පරාජයක් අත්වෙන බව වර්තමාන දේශපාලන වටපිටාව තුළ තහවුරු වී තිබෙන අතර රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොටස් තමන් වෙත නම්මවා ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අඩපන කර සහාය තමා වෙත යොමු කර ගැනීමේ උපක්‍රමයද ක්‍රියාවට නගමින් සිටි.

කෙසේ වුවද මේ දෙපාර්ශ්වයම මේ මැතිවරණ දෙක කෙරෙහි දක්වන්නේ බියකි. පවතින සමාජ ආර්ථික පීඩනය හමුවේ ජනතාව තමන්ව ප්‍රතික්ෂේප කරාවී යන නියත බිය ඔවුන් තුළ පවතී.

ඒ හෙයින් මේ දෙපාර්ශ්වයම මැතිවරණ නොපවත්වා සිටීමට හැකි නම් මැතිවරණ නොපවත්වා සිටීමට කැමතිය.

leave a reply