Breaking News

තමන් වෙනුවෙන් පෙනී සිට මිය ගියායැයි සලකන මිනිසුන් සිහි කිරීමට උතුරේ ජනතාවටද අයිතියක් තිබේ – අන්තරේ

යාපනය විශ්වවිද්‍යාලයේ මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීම හෙළා දකිමින් අ.වි.ශි.බ.ම අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.

මළවුන් සිහි කිරීම අයිතියක්! යාපනය විශ්වවිද්‍යාලයේ “මළවුන්ගේ ස්මාරකය” විනාශ කිරීමට එරෙහි වෙමු!
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මළවුන්ගෙන් ස්මාරකය කඩා බිඳ දමා බලහත්කාරීව ඉවත් කර තිබේ. 08 දින රාත්‍රියේ මෙය ඉවත් කිරීමට සැරසෙන විට සිසුන් සහ ප්‍රාදේශීය ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලයට සන්නද්ධ හමුදා කැඳවා තිබේ. දශක ගණනක් පුරා පැවති ජනඝාතක යුද්ධයෙන් දහස් ගණන් මිනිසුන් මරණයට පත්විය. ආබාධිත විය. දේපල විනාශ විය. කොටින්ම කිවහොත් මනුෂ්‍යත්වය මරණයට පත්විය. විශ්වවිද්‍යාලයේ සිසුන් ස්මාරකයක් ඉදිකර තිබුණේ එම ජනඝාතක යුද්ධයෙන් මිය ගිය සිය ඤාතීන්, හිතවතුන් ඇතුළු සමීපතමයන් සිහි කිරීම සඳහාය.
පොදු සමාජීය අරමුණු වෙනුවෙන් මියගිය මිනිසුන් දකුණේද සමරනු ලබයි. ඒ සඳහා ස්මාරක ඉදිකර තිබේ. තිස් වසරක යුද්ධයෙන් මියගිය හමුදා සෙබළුන් සිහි කෙරෙන ස්මාරක දකුණේ ඕනෑතරම් තිබේ. ඔවුන් සමරන උත්සව පවත්වනු ලැබේ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන අරගලයෙදී රජය විසින් ඝාතනය කෙරුණු සිසුන් සිහි කෙරෙන විරුසිසු ස්මාරක විශ්වවිද්‍යාලවල සිසුන් විසින් ඉදිකර තිබේ. සෑම වසරකම ජූනි මස 20 දින අරගලයේදී මියගිය මිනිසුන් සිහිකිරීම සඳහා විශ්වවිද්‍යාලවල විරුසිසු දිනය සමරනු ලැබේ. එලෙසම 71 අරගලයේදී, 88/89 භීෂණ සමයේදී මරාදැමුණු මිනිසුන් සිහිපත් කෙරෙන සැමරුම් උත්සව දකුණේ සංවිධානය කරනු ලැබේ. මියගියවුන් සිහිකිරීමේ එම අයිතිය උතුරේ ජනතාවටද එලෙසින්ම තිබිය යුතුය. ඔවුන් විසින් සිදු කළ අරගලය සාධාරණද අසාධාරණද යන්න වෙනම සාකච්ඡාවකි. දේශපාලන මතවාද කුමක් වූවක් තමන් වෙනුවෙන් පෙනී සිට මිය ගියායැයි සලකන මිනිසුන් සිහි කිරීමට උතුරේ ජනතාවටද අයිතියක් තිබේ.
මෙය ජනවාරි 08 දින සිදු වූ හුදෙකලා සිදුවීමක් නොවේ. මින් පෙර රජය විසින් උතුරේ මියගියවුන් සිහිකෙරෙන සැමරුම් උත්සව තහනම් කරන ලදී. සන්නද්ධ මැදිහත්වීම්වලින් ඒවා වළක්වන ලදී. දැන් මියගියවුන් වෙනුවෙන් ඉදි කළ ස්මාරක කඩා බිඳ දමමින් තිබේ. මෙය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිදු කළ ක්‍රියාවක් බව කියමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, ආණ්ඩුවත් අතපිසදමා ගැනීමට සැරසෙයි. නමුත් මෙය ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙයි.
උතුරේ මළවුන් සමරන දින තහනම් කළ යුතු බව, ස්මාරක ඉවත් කළ යුතු බව කියන්නේ අන්තවාදයන් බිහිවීම වැළැක්වීමටය. නමුත් පාලකයන් ඉතා දැනුවත්ව මේ සිදුකරමින් සිටින්නේ අන්තවාදයන් පැලවීමට නැවතත් බිම් සකස් කිරීමයි. අන්තවාදයන් බිහිවන්නේ සැමරුම් ස්මාරක ඉදිකිරීමෙන් හෝ සැමරුම් දින පැවැත්වීමෙන් නොවේ, ඒවා පාගා තලා පෙළා දැමීමෙනි. එබැවින් දකුණට සේම උතුරටද මියගියවුන් සැමරීමට අයිතියක් ඇති බව පිළිගත යුතුය. මියගිවුන් සිහි කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මනුෂ්‍යත්වයට ආදරය කරන ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක පිළිගැනෙන අයිතියකි. එම අයිතිය උදුරාගනිමින් මේ සිදු කරන්නේ තුවාල වූ උතුරේ හදවත යළි යළිත් පාරා රුධිරය වැගිරෙන්නට සැලැස්වීමයි. එහෙයින් යාපනය විශ්වවිද්‍යාලයේ මළවුන්ගේ ස්මාරකය කඩා බිඳ දැමීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප තරයේ හෙළා දකින අතර මෙම අත්තනෝමතික මැදිහත්වීමට එරෙහි වන මෙන් ප්‍රජාතන්ත්‍රවාදයට, මනුෂ්‍යත්වයට ගරු කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

leave a reply