Breaking News

අන්තරේට Online දේශන අරහං ද?

Online දේශන අරහං ද? ඇත්ත ප‍්‍රශ්නය කොතැනද? යන ශීර්ෂය සහිතව අන්තර්ජාලය හරහා කරන ඉගැන්වීම් සම්බන්ධව පැහැදිලි කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පළකර තිබූ සටහනක් පහත දැක්වේ.

විශ්වවිද්‍යාල හා පාසල් කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් වසා දමා මේ වෙද්දි මාස 02කට අධික කාලයක් ගත වෙනවා. වසා දමා ඇති පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම් ක‍්‍රියාවලිය සඳහා Online දේශන පැවැත්වීමට බලධාරීන් තීරණය කර යම් මට්ටමකින් එය ක‍්‍රියත්මක වෙමින් තියෙන්නෙ. මෙම වැඩසටහන් ආරම්භ කිරීමට මත්තෙන් එමඟින් පැන නගින ගැටළු සම්බන්ධව විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් විසින් උපකුලපතිවරුන් හා අදාළ බලධාරීන් නිරන්තර දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

නමුත් ඇතැම් විශ්වවිද්‍යාලවල හා පාසල්වල මෙම ඉගැන්වීම් ක‍්‍රියාවලිය Online ක‍්‍රමයට පවත්වාගෙන යාම මේ වන විටත් සිදු වෙනවා. මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ද සාකච්ඡාවක් මතුවෙලා තියෙනවා.

පහත දැක්වෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ සිසුන් ඉලක්ක කරගනිමින් සිදු කළ පර්යේෂණයක ප‍්‍රතිඵල වේ. එම සමීක්ෂණය සිදු කරන්නෙ LMS, Email, Whatsapp, Facebook කියන මාධ්‍ය හරහා. මේකෙන් ප‍්‍රතිචාර දක්වලා තියෙන්නේ ශිෂ්‍යයෝ 5000ට ආසන්න පිරිසක් ඉන්න කළමනාකරණ පීඨයෙන් ශිෂ්‍යයෝ 3545 ක් විතරයි.

මේ සමීක්ෂණයට අනුව Desktop Computer/Laptop Computer හෝ Smart phone ති⁣යෙන ප‍්‍රමාණය 99%යි. නමුත් Desktop Computer/Laptop Computer තියෙන්නේ 68% කට. සම්පුර්ණ ඉගැන්වීම් ක‍්‍රියාවලියක් Online ක‍්‍රමයට පවත්වාගෙන යනව නම්, දේශනයට සම්බන්ධ වීම පමණක් නෙවෙයි, අමතර සටහන් ගබඩා කරගැනීම, දේශකයා විසින් යොමු කරන අමතර කියවීම් ආදිය පරිහරණය කරන්න නම් පරිගණකයක් වගේ දෙයක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. නමුත් මේ දත්ත අනුව සැලකිය යුතු ප‍්‍රමාණයකට එහෙම පහසුකම් නෑ. ඒ කියන්නේ Online ඉගැන්වීම අමතර ඉගැන්වීම් ක‍්‍රමයක් ලෙස යොදා ගත්තත් ප‍්‍රධාන ඉගැන්වීමක් ලෙස යොදා ගත්ත ගමන් සැලකිය යුතු පිරිසකට සාර්ථකව අඛණ්ඩව අධ්‍යාපන කටයුත්තට සම්බන්ධ වෙන්න බැරි වෙනව.

ඊළඟ ප‍්‍රධාන කාරණයක් තමයි උපකරණ තිබුණත් අන්තර්ජාල පහසුකම් සම්බන්ධ ගැටලූව. මේ සමීක්ෂණය අනුව ඉතා හොඳ මට්ටමේ ආවරණයක් තියෙන්නේ 26% කට විතරයි. එතකොට අන්තර්ජාල සැපයුම අඛණ්ඩව සපයා ගත නොහැකි පිරිස හෝ ආවරණ කලාපයක නොමැති අය ප‍්‍රමාණය වැඩි. ඒ කියන්නේ අවශ්‍ය උපකරණ තිබුණත් අන්තර්ජාල පහසුකම්වල ආවරණ කලාප සම්බන්ධ ගැටලූව නිසාත් අඛණ්ඩව දේශනවලට සම්බන්ධ වෙන්න බැරි වෙනවා වගේම පිරිසකට කිසිසේත්ම සම්බන්ධ වෙන්න බැරි තත්ත්වයක් තියනවා.

තවත් කාරණයක් තමයි මාසිකව අන්තර්ජාල data සඳහා 34%ක්ම වියදම් කරන්නේ රු 400 ට අඩුවෙන්. රු 1600 ට වැඩියෙන් වියදම් කරන්නේ 6% ක් වගේ ප‍්‍රමාණයක්. අපි හොඳටම දන්නා කාරණය තමයි මේ වසංගත තත්ත්වය ඇතුළේ එදිනෙදා ජීවිකාව අහිමි වෙච්ච දහස් ගානක් ඉන්නවා. ඒ කියන්නේ කිසිම අදායම් මාර්ගයක් නැති අය. එහෙනම් අන්තර්ජාල පහසුකම්වලට මේ වගේ වියදම් කරන්න සිදු වෙන එක අමතර වැය බරක් වෙනව. මොකද දේශනයට විතරක් සම්බන්ධ වීමෙන් අධ්‍යයන කටයුත්ත සම්පූර්ණ වෙන්නේ නෑ. ඊට අදාළ අමතර කියවීම්, අභ්‍යාස කරන්න අවශ්‍යයි. හැබැයි ගෙදර කියන්නේ එවැනි අමතර කියවීම්වලට පහසුකම් ආදිය තියන තැනක් නෙවෙයි. දේශනයට අදාළ අමතර සටහන් බාගත කිරීම්, අමතර සෙවීම් කරන්නත් data වැය වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ සිසුන් සම්බන්ධ කරගෙන කරපු සමීක්ෂණයෙ ප‍්‍රතිඵල බැලූවමත් හොඳටම පැහැදිලි වන කාරණය තමයි ආවරණ කලාප ගැටලූව නිසා බොහෝ දෙනෙකුට අඛණ්ඩව මේ ක‍්‍රියාවලියට සම්බන්ධ වෙන්න බෑ කියන එක.
ඒ අනුව අඛණ්ඩ අන්තර්ජාල සැපයුමක් තියෙන්නේ 9% කට විතරයි. 42% කට තරමක් හොඳ සම්බන්ධතාවක් තියනවා. හැබැයි 49% කටම අඛණ්ඩ අන්තර්ජාල සැපයුමක් නෑ.

ඒ වගේම ළමයි 1349 කින් ලැප්ටොප් එකක් පාවිච්චි කරන්නේ 376 දෙනෙක් විතරයි. ස්මාර්ට් ජංගම දුරකථනයක් විතරක් තියන අය ඉන්නවා 1009 ක්. කරන්න ඕන දේශනයක් අහන එක විතරක් නම් ඔය ජංගම දුරකථනය ඇතිවෙයි. හැබැයි අමතර දේවල් හොයන්න, පැවරුම් කරන්න ගියාම?
මතු කළ යුතු තවත් කරුණක් තමයි 80%. පහුගිය කාලේ දේශනවලට සම්බන්ධ වීම 80% ක් නැති අයට විභාග ලියන්න දුන්නේ නෑ. මහපොළ කපලා දැම්මා. දැන් කිසිම දේශනයකට සම්බන්ධ වෙන්න බැරි ළමයි ඉද්දි ඒක නොසලකා දේශන කරනවා. එතකොට කලින් තර්කය දැන් අදාළ නැති වෙන්න හේතුව නම් හරිම අපැහැදිලියි.

ගැටලූව තියෙන්නේ ඉගැන්වීමේ අමතර ක‍්‍රමයක් විදිහට Online ක‍්‍රමවේදය පාවිච්චි කිරීම නෙවෙයි. මෙතරම් පහසුකම්වල හිඟකමක් තිබියදී Online ඉගැන්වීම ප‍්‍රධාන ක‍්‍රියාමාර්ගය කරලා තියන එකයි. අඩුම තරමේ දැනට දේශනවලට සම්බන්ධ වෙන්න හැකියාවක් නැති අයට එම විෂය කොටස ආවරණය කිරීමේ ක‍්‍රමවේදයක් හෝ සඳහන් නොකිරීමයි.

මේ සමීක්ෂණවලදි පවා සැලකිල්ලට නොගත් තවත් ප‍්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි අධ්‍යයන කටයුත්තක් කිරීමට තරම් නිවෙස්වල හෝ නවාතැන් ගෙන සිටින ස්ථානවල පවතින අධ්‍යයන පරිසරයකට සුදුසු වටපිටාව කියන කාරණය. ඒ කාරණය අනිවාර්යෙන්ම සැලකිල්ලට ගත යුතු කාරණයක්. උදාහරණයක් ගත්තොත් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශය නිරෝධායනය කරලා තිබුණේ. ඒ ප‍්‍රදේශයේ කොරෝනා අසාදනය වැඩි වීමට ප‍්‍රධාන හේතුවක් වුණේ පර්චස් 20 ක වගේ කුඩා ඉඩක පවුල් 61 ක පුද්ගලයින් 230 ක් ජීවත් වීම. දැන් මේ වගේ ප‍්‍රදේශවල ජීවත් වෙන, ලයිම් කාමරවල ජීවත් වෙන අයට මේ අධ්‍යාපන ක‍්‍රියාවලියට සම්බන්ධ වෙන්න සුදුසු පරිසරයක් තියනවද? පවුල් ප‍්‍රශ්න, ආර්ථික ප‍්‍රශ්න අදාළම නැද්ද එතකොට?

තවත් බරපතල කාරණයක් තියනවා අවධාරණය කරන්න. ඒ තමයි අධ්‍යාපන මනෝවිද්‍යාවේ කියවෙන කාරණය. Online ක‍්‍රමවේදය හරහා ඉගැන්වීම් කරද්දී ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ගොඩනැගෙන්නේ ඉතා දුරස් සම්බන්ධයක්. හැබැයි අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව නම් හොඳ ඉගැන්වීම් ක‍්‍රියාවලියකට ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සමීප සම්බන්ධයක් ගොඩනැගිය යුතුයි. ගුරු පුහුණු වැඩසටහන්වලදී එහෙම මේවා ගුරුවරුන්ට කියලත් දෙනවා. එහෙනම් විශේෂයෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන කරන එක අසාර්ථකයි. විශ්වවිද්‍යාලවල පාඨමාලා සකස් කරන්නෙත් සම්පූර්ණ නේවාසික පාඨමාලා විදියට. එහෙම එකක් සම්පුර්ණයෙන් Online අවසන් කිරීමෙන් අධ්‍යාපනය ලැබීමේ ඇත්ත අරමුණට හානි වෙන එක නවත්වන්න බෑ.

මේක පටලවා ගන්න එපා. මේ වෙලාවෙදිත් අමතර ඉගැන්වීම් ක‍්‍රියාවලියක් විදියට Online අධ්‍යයන ක‍්‍රියාවලියක් පවත්වාගෙන යාමේ කිසිම ගැටළුවක් නෑ. නමුත් විශ්වවිද්‍යාලවල පාඨමාලා, පාසල්වල විෂයයන් සම්පූර්ණයෙන්ම Online සිදු කරනවා කියන එක සාමන්‍ය තත්ත්වයක් යටතේවත් පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි.

මේ කරුණු ගැන පූර්වයෙන් සිදු කළ කිසිඳු සොයා බැලීමකින් තොරව තමයි අද වෙද්දි ක‍්‍රියාවලිය පවත්වාගෙන යන්නේ. මේකෙන් වෙන්න නියමිත එක තමයි

ඇත්තටම තවදුරටත් සිසුන්ට, ආචාර්යවරුන්ට විතරක් නෙවෙයි දෙමාපියන්ටත් මේ අධ්‍යයන ක‍්‍රියාවලිය බරපතල පීඩාවක් බවට පත් වීම.

 

 

 

leave a reply