Breaking News

සමන් ඒකනායක රිමාන්ඩ්…රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවතින විමර්ශන කටයුතු ඉදිරි මාසයක කාලය ඇතුළත අවසන් කර, එළැඹෙන මාර්තු මාසයේදී ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

මෙම නඩුකරය අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලදී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන සමයේදී සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකදී රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව මත මෙම නඩුකරය ගොනු කර තිබේ.

පොදු දේපොළ පනත යටතේ සිදුකරන මෙම විමර්ශනයට අදාළව ප්‍රධාන කරුණු කිහිපයක් අද දින අධිකරණයේදී මතු විය.

රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය පුද්ගලික සංචාරයක් බවට, අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින කරුණු වාර්තා කර ඇත. අද දින නඩු විභාගයේදී පළමු සැකකරු ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වූ අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නිතීඥවරු කිහිප දෙනෙකු පෙනී සිටියා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය අද දින අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඉතිරි පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට උපදෙස් දී ඇත.

මෙම සංචාරය සඳහා බ්‍රිතාන්‍යයේ වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාව පිළිබඳව CID නිලධාරීන් බ්‍රිතාන්‍යයට ගොස් විශේෂ විමර්ශනයක් සිදු කර ඇති බවත්, ඊට අදාළ සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් සඳහන් විය. එහිදී, CID නිලධාරීන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 13 දෙනෙකුගෙන් ලබා ගන්නා ලද ප්‍රකාශ වලින් රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය පුද්ගලික සංචාරයක් බව අනාවරණය වී ඇත.

තවද රනිල් වික්‍රමසිංහ මීට පෙර ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී ප්‍රශ්න කළේය.

මීට අමතරව මෙම නඩුවේ දෙවන සැක කරු ලෙස නම් කර තිබෙන රනිල් වික්‍රමසිංහගේ හිටපු ලේකම් සමන් ඒකනායක, අද දින, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මාර්ගයෙන් අධිකරණයට භාර විය. ඔහු සම්බන්ධයෙන්ද පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කර ඇති අතර විශේෂ කාරණයක් ඉදිරිපත් කර නොමැති බැවින් ඔහුව ලබන පෙබරවාරි 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ විදෙස් ගමන්ද මේ වන විටත් තහනම් කර තිබේ.

විමර්ශන වාර්තා සලකා බැලීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහට එරෙහිව මාර්තු මාසයේදී ඉහළ අධිකරණයක නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

whatnews

leave a reply