ලෙනින් මිය ගොසිනි. ලේ නහරවල ක්‍රියාකාරීත්වය පාලනය කරනු ලබන්නාවූ අප්‍රකට නියාමයන් මෙම දිවිය අවසානයකට පමුණුවා ඇත. දස ලක්ෂ සංඛ්‍යාත මිනිස් හදවත් විසින් ඒ සා හැඟුම්බරව ඉල්ලා සිටියා වූ දෙය මස්තකප්‍රාප්ත කිරීමට වෛද්‍ය විද්‍යාව බෙලහීන විය. ශ්‍රේෂ්ඨ නායකයාණන්ගේ, ලෙනින්ගේ, ඉලිච්ගේ, අති සුවිශේෂී පුද්ගලයාගේ, අසහායයාගේ රුධිර වාහිනීන් යළිපණ ගැන්වීමට, ප්‍රතිෂ්ඨාපනය කිරීමට බොහෝ දෙනා තමන්ගේ රුධිරය අන්තිම බිඳුව දක්වා ම නොපැකිළ ලබා දෙන්නට තිබිණ. විද්‍යාව අසරණ බැව් සනාත වූ තන්හි දී කිසිදු ප්‍රාතිහාර්යයක් සිදු නොවිනි. ලෙනින් තදුරටත් නොමැත. මෙම වදන් අප ගේ මනස මත පතිත වන්නේ යෝධ පර්වතයක් මුහුදට කඩ වැටෙන්නාක් පරිද්දෙනි. යමකුට එය ඇදහිය හැකිද? යමකුට මෙය සමඟින් සිත එකලස් කර ගත හැකි ද?
සතුරා තවමහ් දරුණු ලෙසකින් සවිබලවත් වන හෙයින්, මාවත තවමත් දිගු ව ඇති හෙයින්, දැවැන්ත , ඉතිහාසයේ දැවැන්තම කර්තව්‍යය තවමත් සම්පූර්ණ කර නොමැති හෙයින්, සමස්ත ලෝකවාසී කම්කරු පංතිය මෙම සත්‍ය කරුණට ගැලැප්පීම ප්‍රතික්ෂේප කරනවා ඇහ.
පළමුවැන්නට වඩා දරුණු වූ අසනීපයේ දෙවැනි ප්‍රහාරය දස මසකට වඩා පැවතුණි.ධමනි පද්ධතිය , වෛද්‍යවරුන්ගේ අමිහිරි ප්‍රකාශනයට අනුව,, “සෙල්ලම් කරමින් ” සිටියේ ය. ලෙනින්ගේ ජීවිතය සමඟින් වූ කෙවන් සෙල්ලම් කිරීමක් ද? තත්ත්වයේ සුව අතට හැරීමක් , පූර්ණ සුවවීමක් පවා යමකුට අපේක්ෂා කළ හැකිව තිබිණ. එනමුදු ව්‍යසනය ද අපේක්ෂා කළ හැකිව තිබිණ. අපි සියල්ලෝම සුවවීම අපේක්ෂා කරමින් සිටියෙමු. ඒ වෙනුවට ව්‍යසනය පැමිණියේ ය. හුස්ම ගැනීම පාලනය කළා වූ මොළයේ ස්නායු ක්‍රියාත්මක වීම ප්‍රතික්ෂේප කළේ ය. විස්මයජනක අසහාය චින්තනය වනසා දමනු ලැබිණ.
ලෙනින් තවදුරටත් නැත. පක්ෂය අනාථ වී ඇත. කම්කරු පංතිය ද එසේ ම ය .අප ගුරුවරයාණන්ගේ, අප නායකයණන්ගේ අභාවය පිළිබඳ පුවතත් සමඟ අන් සියල්ලටමත් පෙර පැමිණියේ එම හැඟීම ය.
අප ඉදිරියට යන්නේ කෙලෙස ද? අප එම මාවතේ ම යනු ඇද්ද? අප නන්නත්තාර නොවනු ඇද්ද? මන්ද යත්, සහෝදරවරුනි, ලෙනින් තවදුරටත් අප සමඟ නැති නිසා ය.
ලෙනින් තවදුරටත් නැත. එනමුදු ලෙනින්වාදය පවතියි. ලෙනින් තුළ වූ අමරණීයත්වය – ඔහුගේ ඉගන්වීම, ඔහුගේ කාර්යය, ඔහුගේ විධික්‍රමය, ඔහුගේ ආදර්ශවත්බව – අප තුළ, ඔහු පිහිටු වූ පක්ෂය තුළ, ඔහු නායකත්වය දුන් සහ මඟ පෙන් වූ ප්‍රථම කම්කරු රාජ්‍යය තුළ ජීවත් වෙයි.
අපේ හදවත් සොවින් ඒ සා අභිබවනු ලැබ සිටියි. මක්නිසාද යත්,ලෙනින්ගේ සමකාලීනයන් බවට ඉතිහාසය මඟින් අප ව වරප්‍රසාදිත කරනු ලැබ තිබූ හෙයිනි.අපි ඔහු හා පසෙකින් සිටියෙමු .ඔහු විසින් අපට උගන්වනු ලැබී ය. අප පක්ෂය ක්‍රියාවේ දී ලෙනින්වාදය නියෝජනය කරයි. අප පක්ෂය සාමූහිකව කමකරු ජනතාව මෙහෙයවයි.අප හැම දෙනා තුළ ම ලෙනින්ගේ කුඩා කොටසක් ජීවත් වෙයි. ඒ වනාහී අප එක් එක් අයගේ විශිෂ්ටතම කොටස ය.
අප ඉදිරියට යන්නේ කෙලෙස ද? ලෙනින්වාදයේ ගිනිසිළුව අතැතිව ය.
අප මාවත සොයා ගනියි ද? අප පක්ෂයේ සාමූහික මනස සමඟින්, අප පක්ෂයේ සාමූහික අධිෂ්ඨානය සමඟින් අපි මාවත සොයා ගන්නෙමු.
හෙට, අනිද්දා සහ සතියක දී සහ මාසයක දී අපි තවදුරටත් මෙසේ අසනු ඇත:ලෙනින් තවදුරටත් නැද්ද? මක්නිසාද යත්,ඔහුගේ මරණය සිදු විය නොහැක්කක් ලෙස, විශ්වාස නොකළහැක්කක් ලෙස, සොබා දමේ අතිශය හත්තනෝමතික ක්‍රියාවක් ලෙස දිගු කලක් යන තුරා පෙනී යනු ඇති නිසා ය.
ලෙනින් තවදුරටත් නැත යන සිතුවිල්ලත් සමඟින් අපට හැඟෙන , අපේ හදවතට හැඟෙන මෙම දරුණු පිහිපාර අප හැම අයකුට මතක්කිරීමක් බවට, අනතුරු හැඟවීමක් බවට, කැඳවීමක් බවට පත් කර ගනිමු.: ඔබට දැන් වඩා වැඩි වගකීමක් ඇත; ඔබට ඉගැන් වූ නායකයාට සරිලන්නකු වන්න.
ශෝක වීම තුළ දී, ශෝකය පළ කිරීම තුළ දී අපි අපේ ශ්‍රේණීන් සහ හදවත් ඉදිරියේ ඇති නව සටන් උදෙසා සම්ප කරවමු; වඩ වඩාත් දැඩි ලෙස එක් රොක් කරමු.
සහෝදරවරුණි , ලෙනින් තවදුරටත් අප සමඟ නැත .සුබ ගමන්, අප නායකයාණනි.
තිෆ්ලිස් දුම්‍රිය ස්ථානයේදී, 1924 ජනවාරි 22
පරිවර්තනය – අන්ද්‍රාදි






